ඔලිම්පික් විනිසුරුවරියක් විදිහට තේරුණා කියන පණිවිඩේ ලැබුණේ තාත්තගේ මිනිය ඉස්සරහදී
“මම විනිශ්චය කළ එක ඔලිම්පික් බොක්සිං තරඟයක් නරඹන්න ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැච් ඇවිල්ලා තියෙනවා. ඔහු තරඟය නරඹන බව මම දැනගෙන හිටියේ නැහැ. තරඟය අවසාන වුණාට පස්සේ සංගමයේ කිහිපදෙනෙක් මගේ ළඟට ඇවිල්ලා ‘නෙල්කා, ඔයා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතිගේත් පැසසුමට ලක්වුණා’ කියලා මට සුබ පැතුවා. ඒ වගේම මගේ දක්ෂතා දැකලා මීළඟ ඔලිම්පික් තරඟාවලියේ බොක්සිං ඉසව්වේ කාන්තා විනිසුරු නියෝජනය වැඩි කරන බවත් ඔහු ඒ වෙලාවේ පවසලා තිබුණා.”
අද ‘ධරණී’ කවරය දරා සිටින්නේ එවන් දැවැන්තයෙකුගෙන් විවරණ ලද සුවිශේෂී තැනැත්තියකි.
බොක්සිං තරඟ විනිසුරු, තරඟ තීරක ලෙස 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වූ ඇය එම තනතුර සඳහා ඔලිම්පික් නියෝජනය කළ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාවයි.
මේ ශ්‍රී ලංකා ඔලිම්පික් ඉතිසාහයේ නව පිටුවක් පෙරලූ නෙල්කා ශිරෝමාලා නම් ඇය ‘ධරණී’ට කියූ කතාවයි.
නෙල්කා ශිරෝමාලා රජරට බොක්සිං ශූරයා ලෙස විරුදාවලී ලත් තම්පු සම්පත් මහතාගේ වැඩිමහල් දියණියයි.
“මගේ තාත්තා පිට පිට හත්වතාවක් බොක්සිං බර පංතියේ ජාතික ශූරයා වුණු කෙනෙක්. බොක්සිංවලට දැක්වූ දක්ෂතා නිසාම පසුව ඔහු නාවික හමුදාවට බඳවාගෙන තියෙනවා.”
නෙල්කාගේ පියා රගර්, පාපන්දු ඇතුළු ක්‍රීඩා රැසකට දස්කම් දැක්වූ, ක්‍රීඩා ජයග්‍රහණ රැසකින් නාවික හමුදාවට ගෞරවාදරය හිමිකර දුන් විශිෂ්ඨයෙකි. එසේම ඔහු වසර ගණනාවක් නාවික හමුදා බොක්සිං පුහුණුකරු තනතුර පවා දැරූ අයෙක් බව ඇය කියන්නේ නිහතමානීවය.
“මට තව නංගිලා තුන්දෙනෙක් ඉන්නවා. ඒ කාලේ බොක්සිං ක්‍රීඩාව කාන්තාවන්ට විවෘත නැහැ. ඉතින් තාත්තගේ අඩි පාරේ යන්න පවුලට පිරිමි ළමයෙක් නැති එක ගැන තාත්තගේ හිතේ පොඩි දුකකුත් නොතිබුණාම නෙවෙයි.”
ආදරණීය පියාණන්ගේ සිහින කෙසේ හෝ සැබෑ කළ යුතු යැයි සිතටගත් පවුලේ වැඩිමල් දෝණී නෙල්කා, කුඩා කල සිටම වෙනත් ක්‍රීඩාවල නිරත වන්නට වූවාය.
“තාත්තා නාවික හමුදාවේ සේවය කළ නිසා අපිට ස්ථිර පදිංචියට නිවසක් තිබුණේ නැහැ. ඉතින් කාලෙන් කාලෙට තාත්තා සේවය කළ පළාත්වල නිල නිවාසවල පදිංචි වෙන්න අපිට සිද්ධ වුණා. ඒ නිසා මම පාසල් කිහිපයකම ඉගෙනගෙන තියෙනවා.”
වරින් වර පාසල් මාරු කිරීම තම දියණියගේ අධ්‍යාපනයට බාධාවක් වෙතැයි සිතූ නෙල්කාගේ මාපියන් ඇයව ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ නේවාසික සිසුවියක බවට පත් කරන්නේ ඉන් අනතුරුවය.
“රිපන් බාලිකාවේ ඉගෙනගන්න කාලේ මම දැල්පන්දු, අත්පන්දු, බැඩ්මින්ටන්, මළල ක්‍රීඩා වගේ තරඟ රැසකටම සහභාගී වුණා. ඒ කාලෙත් මම ක්‍රීඩාවලින් ජයග්‍රහණ රාශියක්ම ලබාගෙන තියෙනවා.”
මේ අතරතුර 1997 වසරේදී නෙල්කා ශිරෝමාලා උප පොලිස් පරීක්ෂිකාවක් ලෙසින් ශ්‍රී ලංකා පොලිසියේ සේවයට එක්වන්නීය.
“මගේ තාත්තා ද්‍රවිඩ ජාතිකයෙක්. ඒ නිසා යුද්ධයෙන් වගේම ජේ.වී.පී.කලබල කාලෙත් අපේ පවුලට ගොඩක් ප්‍රශ්න ඇති වුණා. තාත්තා නාවික හමුදාවේ නිසා අපිට නිතර නිතර මරණ තර්ජන ආවා. මේ ප්‍රශ්නවලින් ආරක්ෂා වෙන්න තියෙන හොඳම ක්‍රමය පොලිසියට බැඳෙන එක කියලා සිතුවිල්ලක් මගේ හිතේ තිබුණා. ඒ නිසා තමයි මම පොලිසියට බැඳුණේ.”
මාස හයක පුහුණුවකින් පසුව නෙල්කාගේ පළමු පත්වීම ලැබෙන්නේද වව්නියාව ප්‍රදේශයටයි.
“ඒක හොඳටම යුද්ධෙ තිබුණු කාලයක්. වව්නියාවට දැම්මා කියලා දැනගත්තම මගෙත් එක්ක හිටපු අනිත් පොලිස් නිලධාරිනියන් හොඳටම අඬන්න, වැළපෙන්න පටන් ගත්තා. යුද්ධෙ බිහිසුණු බව තදටම විඳලා තිබුණු නිසා මට නම් ඒක ඒ හැටි අරුමයක් වුණේ නැහැ. යුද්ධෙ ඉදිරි ආරක්ෂක වළල්ලේ නොහිටියත් ඒ කාලේ අපිත් රට වෙනුවෙන් ලොකු සේවයක් කළා.”
වව්නියාව පොලිසියේ කටයුතු තිතටම ඉටුකළ මේ ශක්තිමත් ගැහැනියගේ ඊළඟ නැවතුම වන්නේ ඇමති ආරක්ෂක කොට්ඨාසයයි.
“මට හොඳට කරාටේ පුළුවන්. මාව ඇමති ආරක්ෂක එකට තෝරගත්තේ ඒ නිසයි. සේවයට ගියාට පස්සෙ මම ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් ලබාදෙන හැම සටන් ශිල්පයක්ම වගේ ඉගෙනගත්තා. මට ඉලක්කයට වෙඩි තියන්න වගේම දුනු විදින්න එහෙමත් පුළුවන්. 1999 වසරේදී මම ශ්‍රී ලංකා පොලිසියේ දක්ෂතම වෙඩි තබන්නිය බවටත් පත්වුණා.”
පොලිස් සේවයේදී සියලුම ක්‍රීඩාවල නිරත වූ ඇය ක්‍රීඩා රැසක් සඳහා පොලිස් වර්ණ ලබාගැනීමට සමත් වී ඇත.
“ඔන්න ඒ අතරේ 2001 වසරේදී බොක්සිං ක්‍රීඩාව කාන්තාවන් සඳහා විවෘත වුණා. ඉතින් මගේ තාත්තට හරි සතුටුයි. තාත්තා ඔහුගේ බොක්සිං අත් ආවරණ මට පළඳලා ‘ඔයා කවදහරි ඔලිම්පික් ක්‍රීඩිකාවක් වෙලා මේ අත් ආවරණ ගලවන්න මගේ පුතේ’ කියලා කිව්වා. තාත්තගේ ඒ වචන අදටත් මගේ කන්වල රැව්දෙනවා.”
2001 වසරේ පැවති බොක්සිං ශූරතාවලියට සහභාගී වූ ඇයට ඉන් ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැකි වන්නේ පුහුණුවීම් සඳහා නිසි කාලවේලාවක් නොතිබුණු බැවිනි.
“තාත්තා මාව සති දෙකක් පුහුණු කළා. එදා මම තරඟ කළේ මාස හයක් පමණ පුහුණුවීම් කළ තරඟකාරියක් සමඟ. ඉතින් ඒ තරඟය දිනන්න මට බැරි වුණා. ඒ නිසා අනිත් සියලුම ක්‍රීඩාවලට සමුදීලා පූර්ණකාලීනව බොක්සිං ක්‍රීඩාව විතරක් තෝරගන්න මම තීරණය කළා.”
පූර්ණ අවධානය බොක්සිං ක්‍රීඩාවට යොමු කිරීම සමඟ තරඟ ජයග්‍රහණ රැසක් ලබාගැනීමට ඇය සමත් විනි. එසේම ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම බොක්සිං ක්‍රීඩිකාව වන්නේද ඇයයි.
“ලංකාවේ පළමු කාන්තා බොක්සිං කණ්ඩායම නියෝජනය කරන්නත් මට අවස්ථාව ලැබුණා. බොක්සිං ක්‍රීඩාවේ හොඳම ජයග්‍රාහකයා වගේම දක්ෂතම පරාජිතයත් තෝරනවා. ජයග්‍රහණය වෙනුවෙන් දක්ෂතම ලෙස තරඟ කරලා පරාජය වෙන කෙනාට තමයි ඒ සම්මානය හිමිවෙන්නේ. ජාතික බොක්සිං ශූරතා තරඟවලදී පස්වතාවක් ඒ සම්මානය දිනාගන්න මට පුළුවන් වුණා.”
ජාතික ශූරිය ලෙස අභිසෙස් ලබන්නට ඈ වරම් නොලද්දේ පුහණුවීම් කටයුතුවලට ලද කාලය ප්‍රමාණවත් නොවීම නිසාය. ජාතික ශූරතාවලිය ජය නොගත්තද වෙනත් බොක්සිං තරඟ රැසක ශූරතාව ලබාගැනීමට ඈ සමත් වී ඇත.
“2006 වසරේදී මම එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සාම නිලධාරිනියක් විදිහට තේරී පත්වුණා. ඉතින් ඒ නිසා බොක්සිං ක්‍රීඩාවට තාවකාලික විරාමයක් ලබාදීලා නැගෙනහිර ටිමෝරයට යන්න සිද්ධ වුණා. ඒ රාජකාරි අවසන් කරලා 2008 වසරේදී තමයි නැවතත් මම ලංකාවට ආවේ.”.
නෙල්කාගේ බොක්සිං විනිසුරු ගමනට මං විවර වන්නේත් ඔය අතරය. ඒ එවකට ලෝක බොක්සිං සංගමයේ සභාපතිනිය වන පිලිපීන ජාතික නීවා ඇඹුල්දෙණිය මහත්මියගේ ලංකා ගමනත් සමඟයි.
“ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් බොක්සිං විනිසුරු තරඟ විභාගයක් පැවැත්වූයේ ඇයයි. එහිදී විනිසුරුවරියන් විදිහට කාන්තාවන් හතරදෙනෙකු තෝරාගත්තා. මමත් ඉන් එක් අයෙක්. ඊටපස්සේ ලංකාව පුරාම පැවති තරඟවල විනිසුරුවරියක් විදිහට මම කටයුතු කළා.”
පළමු පෙළ තරග විනිසුරුවරියක ලෙස තේරී පත්වන නෙල්කා, 2011දීම ජාත්‍යන්තර තරඟ විනිශ්චය කිරීමටද භාග්‍යය ලබන්නීය.
“තරඟ විභාගය කෙටි කාලසීමාවකින් සමත් වුණු නිසා ආසියානු බොක්සිං සංගමය, ඉන්දුනීසියාවේ ජනාධිපති කුසලතා බොක්සිං ශූරතාවලිය විනිශ්චය කරන්න මට ආරාධනා කළා. ඒ තරඟාවලියටම හිටපු එකම කාන්තා විනිසුරුවරිය මමයි.”
ප්‍රථම ජාත්‍යන්තර තරඟාවලිය අතරතුර ඇය මුහුණදුන් දුක්බර අත්දැකීමක් ගැනත් ඇය මෙසේ සිහිපත් කළාය.
“ඒ තරඟාවලිය සඳහා දවස් දහයක් විතර මට ඉන්දුනීසියාවේ ඉන්න වුණා. එතකොට මගේ දුවට මාස නවයයි. තරඟ විනිශ්චය කරද්දිත් කිරි ගල්ගැහිලා මම ලොකු වේදනාවකින් හිටියේ. ඒත් බොක්සිංවලට තියෙන ආදරය, ආශාව නිසා මම ඒ වේදනාව විඳදරා ගත්තා. තරඟාවලිය අවසාන කරලා ගෙදර එනකොට මම නැතුව සංකාව හැදිලා දරුවව රෝහල්ගත කරලා තිබුණා. මගේ ගමනට ඒක බාධාවක් වෙයි කියලා මගේ සැමියා මම ගෙදර එනකල්ම ඒක කිව්වේ නැහැ.”
ඈ කියන්නේ සංවේදීවය. පළමු ජාත්‍යන්තර තරඟාවලියේදී තරඟ තීරකවරියක සහ විනිසුරුවරියක ලෙස ඇය දැක්වූ දක්ෂතා නිසා දෙවැනි පෙළ විනිසුරුවරියක ලෙස උසස් වන ඇය, ඒ සමඟම ලන්ඩන්හි පැවති පූර්ව ඔලිම්පික් තේරීම් තරඟාවලියේ විනිසුරුවරියක ලෙසද තේරී පත් වී ඇත.
“2013 වසරේ ඉතාලියේ තිබුණු තරඟ තීරක සහ විනිසුරු තරඟ විභාගයත් සමත්වෙලා තෙවැනි පෙළ විනිසුරුවරියක වෙන්න මට පුළුවන් වුණා. දකුණු සහ අග්නිදිග ආසියාවේම තුන්වෙනි පෙළ විනිසුරු පදවිය ලද ප්‍රථම කාන්තාව මමයි.”
ඉන්පසු කාන්තා සහ පිරිමි ලෝක ශූරතා තරඟාවලි, යොවුන් ලෝක ශූරතා තරඟාවලි, පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලි, ආසියානු ශූරතා තරඟාවලි ඇතුළු සියලුම මට්ටමේ ජාත්‍යන්තර බොක්සිං තරඟාවලිවල තරඟ තීරක සහ විනිසුරු ලෙස ඇය කටයුතු කර ඇත.
“දේශීය තරඟ පන්දහසකට අධික ප්‍රමාණයක තරඟ තීරක, විනිසුරු විදිහට කටයුතු කරලා තියෙනවා. ජාත්‍යන්තර තරඟාවලි නම් දහසකට ආසන්න ප්‍රමාණයකට සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම වරක් ආසියාවේ දක්ෂතම බොක්සිං තරඟ විනිසුරු සම්මානය දිනාගන්නත් මම සමත් වුණා. ආසියාතික රටක කාන්තාවකට ඒ සම්මානය හිමි වුණෙත් ප්‍රථම වතාවටයි.”
ක්‍රීඩාවේ වැඩ කටයුතුවලට සමගාමීව රාජකාරී කටයුතුත් නීතියටම ඉටු කළ නෙල්කා කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට පත්වන්නේ ඔය අතරතුරය.
“බොක්සිං තරඟයක විනිසුරුවරයාත් ක්‍රීඩකයා හා සමානවම ක්‍රියා කරන කෙනෙක්. ක්‍රීඩාවේ තීන්දු තීරණ ගන්න ඔහුට තිබෙන අවස්ථාව වැඩියි. 2016 රියෝ ඔලිම්පික් උළලේදී සිදුවුණු දූෂිත ක්‍රියා නිසා ඒ වසරේ බොක්සිං තරඟ විනිසුරුවන් 36 දෙනෙකු තරඟ තහනමට ලක්වුණා. ඒ නිසාම දැඩි නිතිරීති යටතේ 2021 ටෝකියෝ ඔලිම්පික් සඳහා නව විනිසුරුවරුන් පත් කරන්න වෙනම ජාත්‍යන්තර කමිටුවක් පත් කළා.”
ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන බොක්සිං තරඟ තීරක සහ විනිසුරු තෝරාගැනීමේ තරඟ පැවැත්වූයේ පැරිස් නුවරයි. ඒ සඳහා රටවල් ගණනාවකින් විනිසුරුවරුන් දාහකට අධික ප්‍රමාණයක් සහභාගී වූ අතර, ඒ අතරට එක්වීමට අපේ පුංචි රටේ මේ දිරිය ගැහැනියද වාසනාවන්ත වූවාය.
“මේ තරඟයට සහභාගී වෙන්න ලැබුණු එකම මට ලොකු දෙයක් වුණා. තරඟ විනිසුරුවරියක් විදිහට හරි ඔලිම්පික් ගිහිල්ලා තාත්තගේ හීනේ සැබෑ කරන්න තමයි මට ඕන වුණේ. විනිසුරුවන් විශාල ප්‍රමාණයකින් තෝරාගැනුණේ තිස් හයදෙනෙක් විතරයි. ඉතින් දීර්ඝ ක්‍රියාපටිපාටියකට අනුව තමයි අපිට ලකුණු ලබාදුන්නේ. තරඟය අවසාන දිනයේදී ඔවුන් අපිව කැඳවලා ඔලිම්පික් විනිසුරුවන් විදිහට අපිව තේරිලාද කියන එක පසුව දැනුම්දෙන්නම් කියලා කිව්වා. ලංකාවට එන්න කලින් දවසේ සැමියා මට දුරකතන ඇමතුමක් ලබාදුන්නා මගේ තාත්තා නැතිවුණා කියලා. ඒ වෙලාවේ මගේ පපුව ගිනිගන්න පටන්ගත්තා. ඒ ගින්දර හිතේ තදකරන් මම එහේ රැස්වීම්වලට පවා සහභාගී වුණා. පහුවෙනිදා ලංකාවට ඇවිල්ලා තාත්තගේ මිනිය ගාවට ඇවිදගෙන යද්දි ඔලිම්පික් තරඟ විනිසුරුවරියක් විදිහට මාව තේරිලා කියන පණිවිඩේ මට ලැබුණා. ඇත්තම කිව්වොත් ඒ වෙලාවේ මට දැනුණේ සතුටක් නෙවෙයි දරාගන්න බැරි දුකක්. මගේ තාත්තාට දකින්න නැති ඔලිම්පික් එකක් මට මොකටද කියලා මම කෑගහලා ඇඬුවා. ඔලිම්පික් සංගමයට පවා මම ඒ ගැන දැනුම් දුන්නා. තාත්තගේ හීනේ සැබෑ කරන්න නම් ඒ අවස්ථාවට මුහුණ දෙන්නම ඕනේ කියලා ඔවුන් මාව දිරිමත් කළා. තාත්තා නැති වුණ පීඩනේ හිතේ තදකරගෙන තමයි මම ඔලිම්පික් තරඟාවලියේ විනිසුරුවරියක් විදිහට කටයුතු කළේ.”
නෙල්කා ඒ වදන් පැවසුයේ කඳුළු සලමින්ය. ඒ ලෝකය ජයගත් පොලිස් නිලධාරිනියක් වුවත් ඇයටත් ඇත්තේ සංවේදී ගැහැනු හදවතක් නිසාය.
ඔලිම්පික් බොක්සිං තරඟ ඉසව් නියෝජනයට තේරුණු විනිසුරු 36 දෙනාටම වූයේ කාන්තාවන් හයදෙනෙකු පමණකි. බොක්සිං ක්‍රීඩකයන් ඔලිම්පික් නියෝජනය නොකරන රටක විනිසුරුවරියක ලෙස ඔලිම්පික් තරඟයට සහභාගී වූ එකම විනිසුරුවරිය ද ඇය පමණි.
“එක් විනිසුරුවරයෙක්ට තරඟ කීයක් ලබාදෙනවද කියන එක තීරණය වෙන්නේ ඔහු දක්වන දක්ෂතා සහ ලබාගන්නා ලකුණු අනුවයි. මම ඔලිම්පික් තරඟ 11ක් විනිශ්චය කළා. ඒ වගේම තරඟ වාර 33ක තරඟ තීරක විදිහට කටයුතු කළා. මගේ රටේ කොඩිය 44 වාරයක් ඔලිම්පික් තිරයේ දිස්වුණා. ඇත්තටම ඒක මට ලොකු ආඩම්බරයක්.”
ඇයට පමණක් නොව ඇය ලබාදුන් ඒ ගෞරවය ශ්‍රී ලාංකික අප සැමට ආඩම්බරයක්ය.
ඔලිම්පික් තරඟාවලිය තුළ සිදුවූ අමතක නොවන මතක කිහිපයක් ගැන ඇය මතක් කළේ මෙසේය.
“අවසාන තරඟ වට කිහිපය ලබාදෙන්නේ ලෝකයේ ඉන්න හොඳම විනිසුරුවරුන් හතරදෙනාට කියලා ඔවුන් කිව්වා. ඉතින් අවසාන තරඟ වට මට ලැබෙයි කියලා මම බලාපොරොත්තු වුණේ නැහැ. ඒත් මම නොහිතුව විදිහට අවසාන දිනයේ පළමු තරඟය මට ලැබුණේ. ඒක මට ලොකු ගෞරවයක්. ඒ වගේම පෙර ඔලිම්පික් තරඟවල ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩාකාවන් තරඟ කළ තරඟ වට පවා මම විනිශ්චය කළා. ඉතින් ඒ මතක මට ඉතා විශේෂයි.”
ඇය පැමිණි මාවත සංකා, දුක්, කම්කටොලු පිරි මඟක් වුවත් ඒ සැමවිටම ඇයගේ ආදරණීය සැමියා ඇයට හෙවණැල්ලක් වූ බව නොකියාම බැරිය.
“මගේ සැමියා පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන වික්‍රමනායක. ඔහු නැතිනම් මට මේ තරම් දුරක් එන්න ලැබෙන්නෙ නැහැ. ඔහුගේ සහෝදරිය තමයි මගේ දුවව බලාගන්නේ, අපිට ශක්තියක් වෙන්නේ. ඒ වගේම නීවා ඇඹුල්දෙණිය මහත්මියටත්, පොලිස්පතිතුමා ඇතුළු මට උපකාර කරන පොලිසියේ සියලුදෙනාටත්, ශ්‍රී ලංකාවේ සියලුම බොක්සිං විනිසුරුවරුන්ට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, ශ්‍රී ලංකා බොක්සිං සංගමයටත් මගේ ස්තූතිය පුද කරන්න මේක මම අවස්ථාවක් කරගන්නවා.”
ඇය මේ වනවිට ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ සයිබර් ක්‍රයිම් ඒකකයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරන්නීය.
“තාත්තගේ හීනේ සැබෑ වුණු නිසා තරඟ විනිසුරු වෘත්තියට සමුදෙන්න මම තීරණය කළා. ඒත් ජාත්‍යන්තර බොක්සිං සංගමය, බොක්සිංවල මහා මංගල්‍යය වන බොක්සිං පිරිමි ලෝක ශූරතාව විනිශ්චය කරන්න මට ආරාධනා කළා. ඔවුන් තවදුරටත් මගේ සේවය බලාපොරොත්තු වෙන බව හැඟෙන නිසා තවත් වසර කිහිපයක් තරඟ තීරක සහ විනිසුරු ලෙස කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා.”
නෙල්කා ශිරෝමාලා නම් මේ සුවිශේෂී ගැහැනියගේ කතාව ඇසූ මට සිහිවූයේ ඉන්දියාවේ වැඩිම ආදායම ඉපැයූ චිත්‍රපටයක් වන ‘දංගල්’ චිත්‍රපටයට පාදක වූ මල්ලවපොර ශූරී ගීතා බාලිගේ කතාන්දරයයි.
ඒ හා සමාන සුවිශේෂී කතාවකට උරුමකම් කියන නෙල්කා නමින් චිත්‍රපට තනන්නට නොහැකි වුවද ඇයව ඇගයීම ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් අප සතු යුතුකමක් නොවේද?
සෙව්වන්දි හෙට්ටිආරච්චි
ඡායාරූප – මදුසංක සිරිවර්ධන