මේ ලෝකේ මොන ගෑනිද තමන් ඉස්සරහ තමන්ගේ මනුස්සයට අත තියනකල් බලන් ඉන්නෙ?
“ඇත්තටම එදා බැදිගම අධිවේගී පිවිසුමේදී ඇතිවුණ ප්‍රශ්නෙ නිසා මේ රටේ මාධ්‍යයයි, සමාජ මාධ්‍යයි එකතු වෙලා මාව එක රැයින් සුපිරි තරුවක් කරා. අඩුම තරමේ ඒ වෙනකල් නෙත්මි වෙදආරච්චි කියන්නේ කාගේ කවුද කියලවත් කවුරුවත් දැනගෙන හිටියේ නෑ.”
පසුගිය ජූනි පළවනදා (01) දකුණු අධිවේගී මාර්ගයේදී පොලිස් රාජකාරී කටයුතුවලට බාධාවන අයුරින් හැසිරුණා යැයි චෝදනා ලැබ පොලිස් අත්අඩංගුවට පත්වූ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුතා සහ ලේලිය ගැන මුළු රටේම ඇතිවුණේ ආන්දෝලනාත්මක කතාබහක්. ඒ නිසා ඒ දේවල්වල ඇත්ත නැත්ත දැනගන්නත් එක්කම දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයාගේ ලේලිය වන නෙත්මි වෙදආරච්චි සමඟ ටිකක් කතාබහ කරන්න ඕන කියලා අපි හිතුවා. ඒ සංවාදයේ සටහනයි මේ.
*නෙත්මි ඔබේ සැමියාගේ පියා, ඒ කියන්නේ ඔබේ මාමණ්ඩිය වන දිලිප් වෙදආරච්චි නිරන්තරයෙන්ම දේශපාලන කරළියේ පුවත් මවන චරිතයක්. මේ දවස්වල ගොඩක් අය ඔබටත් කියනවා ලේලිටත් මාමණ්ඩිගේ රස්නේ වැදිලා කියලා. ඒක ඇත්තද?
අනේ මොන බොරුද… මමත් අනිත් සාමාන්‍ය කෙල්ලෝ වගේම මගේ පාඩුවේ මගේ වැඩක් බලාගෙන ජීවත්වෙන කෙල්ලෙක්. විවාහයෙන් පස්සෙ මහත්තයාගේ දේශපාලන වැඩවලට එයාට සහයෝගය දුන්නට, මහත්තයාගේ පවුලේ තියෙන දේශපාලන පසුබිමට අනුව හැඩගැහුනට මම පුද්ගලිකව දේශපාලනයට පවා අකමැති කෙනෙක්. අඩුමතරමේ අදටත් ගොඩක් අය දන්නේ නෑ මම බැඳලා ඉන්නේ දිලිප් වෙදආරච්චිගෙ පුතා කියලවත්.
*කොහොමද ඔබ දෙදෙනා මුණගැහුනේ? ඒ ගැනත් ටිකක් මතක් කරමුද?
ඇත්තටම අපේ පවුල් දෙක ඒ කාලේ ඉඳලම බොහොම හිතවත්. මගේ පවුලේ ගෑනු ළමයින්ම පස්දෙනෙක්. මහත්තයටත් තව නංගි කෙනෙකුයි, මල්ලිලා දෙන්නෙකුයි ඉන්නවා. ඉතින් අපි පුංචි කාලේ ඉස්කෝලේ නිවාඩුවටත් ගමන් බිමන් ගියේ එකට. ඉතින් පස්සෙ කාලෙ අපේ ඒ යාළුකම අපිටත් නොදැනීම ආදරයකට පෙරලුණා.
*දිලිප් වෙදආරච්චිගේ පුතා ලොකුවට වියදම් කරලා ග්‍රෑන්ඩ් වෙඩින් එකක් එහෙමත් ගත්තා කියලා ආරංචියක් තිබුණා?
මෙහෙමයි. අපේ හැමදේකටම මිනිස්සු දේශපාලනය ඈදගන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නෑ. අපි දෙන්නා කොළඹයි තංගල්ලෙයි දෙකේම වෙඩින් එක ගත්තා තමයි. ඉතින් අපිත් ආස නැද්ද අපේ ජීවිතේ ලස්සනම දවස දන්න කියන හැමෝටම කියලා ලස්සනට සමරන්න? අනික සාමාන්‍ය පවුල්වල කෙල්ලො කොල්ලො කොයිතරම් ලොකුවට ග්‍රෑන්ඩ් වෙඩින් ගන්නවද? මේ මිනිස්සුට ඒවා පේන්නේ නෑ. අපි විතරක් මොනවා කරත් ඒකට දේශපාලනය ගාවගෙන මඩ ගහනවා.
*විවාහයෙන් පස්සෙ කොහෙද පදිංචි වුණේ?
අපි විවාහ වෙලා මහත්තයාගේ තංගල්ලේ මහගෙදරමයි පදිංචි වුණේ. අදටත් අපි ඉන්නේ එහේ.
*ඔබේ සැමියා රවිඳු වෙදආරච්චි තංගල්ල නගරසභාවේ හිටපු නගරාධිපතිවරයෙක්. ඒ වගේම අපේ රටේ නගරාධිපති ධුරයකට පත්වුණ ළාබාලතම පුද්ගලයාත් ඔහුයි. ඒ නිසාම තාත්තගේ බලය පාවිච්චි කරලා තනතුරු ගත්තා කියලා ගොඩක් අය ඔහුට චෝදනා කරා. ඒ කතාවල ඇත්ත නැත්ත මොකද්ද?
මෙහෙමයි. අපි විවාහ වෙන්නත් කලින් ඉඳලම එයා තාත්තගේ දේශපාලන වැඩවලට උදව් කරා. ඒ වගේම ගමේ පොදු වැඩකටයුතුවලදිත් කැපවෙලා රැයක් දවාලක් නැතුව වැඩ කරපු කෙනෙක්. ඒ නිසාම ගමේ අය හැමෝම ලොකු පොඩි බේදයකින් තොරව එයාට අදටත් ආදරෙයි. ඒක නිසා මේක එයාගේ උත්සාහයෙන්, කැපවීමෙන් ආපු ගමනක් කියලා මම බය නැතුව කියනවා. මොකද තාත්තගේ කර පිටින් දේශපාලනයට ආවනම් නගරසභාව වගේ පොඩි තැනින් පටන්ගන්නේ නැතුව කෙළින්ම ඇවිත් පාර්ලිමේන්තුවේ පුටුවක වාඩිවෙන්න තිබුණනේ. අනික ඔය ඕනතරම් එහෙම කරන අය ඉන්නේ.
*දේශපාලනය කරන අතරතුරදී ඔහුට පවුලත් එක්ක ඉන්න වෙලාවක් තියෙනවද?
ඇත්තටම එයාට පොඩ්ඩක්වත් වෙලාව නෑ. ඒත් එයා කොහොම හරි ඒකට වෙලාව හදාගන්නවා. හැබැයි බැඳපු අලුත නම් මට ඒක පුරුදු නැති ගතියක් තිබුණා. ඒත් ඒ වගේ වෙලාවට එයාගෙ අම්මා තාත්තාගේ වැඩවලට උදව් කරන විදිහ බලලා මමත් ඒවා ඉගෙනගත්තා. අනික එයාගේ අම්මගෙන් මම ඒ දේවල් ගැන ගොඩක් අත්දැකීම් ලැබුවා.
*ඔබත් රැකියාවක් කරනවද?
අනේ නෑ. මේ වෙනකොට මම මගේ නීතිවේදී උපාධිය අවසන් කරලා (LLB) නීති ශිෂ්‍යාවක් විදියට නීති විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හදාරමින් ඉන්නවා.
*ඒ කියන්නේ අපිට ඉස්සරහට කට සැර නීතිඥවරියක් දැක බලාගන්නත් පුළුවන් වෙයි?
අනිවාර්යයෙන්ම ඔව්. මම කවදාවත් වැරදි දැක දැක අහක බලාගෙන කට වහගෙන හිටපු කෙනෙක් නෙවෙයි. මම අනිවාර්යයෙන්ම අසාධාරණයට විරුද්ධව ඉස්සරහට ඇවිත් කතා කරනවා.
*පහුගිය දවස්වල අරගලේටත් බැහැලම වැඩ කළේ ඒක නිසාද?
අනිවාර්යයෙන්ම. මං එදා වගේම තාමත් කියන්නේ අරගලයට ජයවේවා කියලා. මොකද මෙච්චර කාලෙකට අපේ මිනිස්සු කොයිදේටත් කට වහගෙන උඩ බලන් හිටියා. ඒක නිසා දේශපාලනය කරන මිනිස්සු ඒ අයව දිගින් දිගටම රැවැට්ටුවා. ඉතින් දැන්වත් මේ මිනිස්සුන්ට ඇස් ඇරුණ එකට අපි සතුටු වෙන්න ඕන.
*ඔබේ සැමියා සජබයේ නිසාද ඔහොම කියන්නේ?
අනේ නෑ. වැරැද්ද කවුරු කරත් ඒක මූණටම කියලා පෙන්නන කෙනෙක් මං. අනික එතකොට පහුගිය දවස්වල පාරට බැහැලා අරගල කරපු මිනිස්සු සේරම සජබයේ ද? එතැන මේ ආණ්ඩුවට ඡන්දේ දීපු හැටනව ලක්ෂෙන් එක්කෙනෙක්වත් ඉඳලා නැද්ද?
*ඔහොම කිව්වට ඔබේ සැමියටත් ඇමතිකමක් දීලා ඔබටත් ඇමති ආර්යාවක් වෙන්න ලැබුණොත් ඔය කියන දාර්ශනික කතාවලින් වැඩක් වෙයිද?
මම පැහැදිලිව එකක් කියනවා. මමවත් මගේ සැමියවත්, අපි දෙන්නගෙම පවුල්වල අයවත් කවදාවත් දේශපාලන බලපුළුවන්කාරකම් පෙන්නලා එක එක්කෙනාගෙ කර පිටින් ගිහින් තනතුරු තානාන්තර අරගෙන නෑ.
*එහෙනම් එදා බැදිගම අධිවේගී පිවිසුමේදි පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරියට හරියට කරන්න නොදුන්නේ ඇයි?
මෙහෙමයි. ඒ සිදුවීම ගැන දැනට ගරු අධිකරණයේ නඩු කටයුත්තක් සිදුවෙමින් තියෙන නිසා මම ඒ ගැන මොකුත් කියන්න කැමති නෑ. හැබයි මට එක දෙයක් කියන්න පුළුවන්. මගේ හිතට ඒ වෙලාවේ ආවේ මගේ මහත්තයට කරදරයක් වෙන්න නොදී බේරගන්න ඕන කියන හැඟීම විතරයි. අනික මට කියන්න මේ ලෝකේ මොන ගෑනිද තමන් ඉස්සරහ තමන්ගේ මනුස්සයට ගහනකල් බලන් ඉන්නෙ? ඒ වගේම මමයි මහත්තයයි වාහනේ ඇතුළේ කුඩු දාගෙන ගිහින් නෙවෙයිනෙ මෙහෙම ප්‍රශ්නයක් වුණේ. පොඩි ෆ්‍රිජ් එකක් අපි අරගෙන ගියේ. ඉතින් ඒකට වුණ බහින්බස් වීමක් තමයි මේ විදියට ටිකක් දුරදිග ගියේ. මම කියන්නේ මම පරුෂ වචන කියපු එක හරි කියලා නෙවෙයි. ඒ වෙලාවේ මගේ මහත්තයාගේ ආරක්ෂාව ඇරෙන්න වෙන දෙයක් ගැන මට හිතුණේ නෑ. අනික ඉතින් පොලිසිය ඉන්නේ සාමය ආරක්ෂා කරන්නනේ.
*මේ සිද්ධියෙන් පස්සේ කිසිම උගත්කමක් නැති වැල්ලේ කෙල්ල කියලා ගොඩක් අය සමාජ මාධ්‍ය හරහා ඔබට චෝදනා කරලා තිබුණා?
ඔව්. මමත් ඒවා දැක්කා. හැබැයි එහෙම කියන අයගෙන් මම අහනවා ඒ අයගේ ඉස්සරහා තමන්ගේ බිරිඳට හෝ සැමියට කවුරු හරි කෙනෙක් පහර දුන්නොත් ඒ අය අත කට බැඳගෙන බලාගෙන ඉන්නවද කියලා? කවුරු හරි කෙනෙක් ඒකට ඔව් කියනවා නම් ඉතින් ඒ අය පවුල් ජීවිත ගෙවන අය වෙන්න විදිහක් නෑ.
*ඔබ නීතිය දන්න කෙනෙක් වෙලත් ඒ ප්‍රශ්නෙ විසඳගන්න ඊට වඩා වැදගත් ක්‍රමයක් මතක් වුණේම නැද්ද?
මෙහෙමයි. මම කලිනුත් කිව්වා වගේ ගරු අධිකරණයේ නඩුවක් ඇහෙන නිසා මට දැනට ඒ ගැන මොකුත් කියන්න බෑ. නමුත් ඒ වෙලාවෙ මටත් මගේ මනුස්සයාගේ පැත්ත අරගන්නේ නැතුව මනමේ කුමාරියෙක් වෙන්න බෑ. ඉතින් ඔහුගේ ආරක්ෂාව ඇරෙන්න මටත් ඒ වෙලාවෙ වෙන ක්‍රම හොය හොයා ඉන්න සිහියක් තිබුණෙ නෑ. අනික ඔය කවුරුත් කියන තරම් දෙයක් එතැන සිදුවුණෙත් නෑ. මම දන්න විදියට, මට පේන විදියට නම් එක්තරා ක්‍රියාවකට ප්‍රතික්‍රියා දැක්වීමක් විතරයි සිදුවුණේ. අනික මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි මේ ප්‍රශ්නෙ ලොකු කරලා පෙන්නුවේ මාධ්‍යවලින්.
*අවසාන වශෙයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නේ?
විශේෂයෙන්ම මම වගේ අනිත් ගෑනු ළමයින්ටත් මම කියන්නේ අසාධාරණයක් වෙනකොට බයේ පස්සට යන්න එපා. ඉස්සරහට ඇවිත් කතා කරන්න. මම කියන්නේ නෑ මම පාවිච්චි කරපු වචන ටිකම කියපල්ලා කියලා. නමුත් අපි ගෑනු කියලා කට පියාගෙන ඉන්න එපා. අනික කෙල්ලෙකුට ප්‍රශ්නයක් වුණාම මේ රටේ සමාජ මාධ්‍ය වගේම මාධ්‍යත් දිගට හරහට ඒ කෙල්ලට මඩ ගහනවා. හැබැයි මම කියන්නේ තමන් හරිනම් බයවෙන්නත් එපා. ඒවට මානසිකව වැටෙන්නත් එපා. ඒවාම ආයුධයක් කරගෙන හිතට හයිය අරන් ඉස්සරහට යන්න.
ලිහිණි මධුෂිකා