ලබා උපන් හැටි කියලා හිටියොත් මේ අවුරුද්දත් කපෝති!
අතීත මුතුන් මිත්තන් දවස පටන් ගත්තේ හිරුට වන්දනාමාන කරමින්ය. මනුෂ්‍ය සංහතියේ සහ සොබාදහමේ පැවැත්ම රඳාපවතින්නේ හිරුගෙන් ලැබෙන ශක්තිය මත බව ඔවුහු දැන සිටි නිසා ඊට කෘතඥ වීම සඳහායි ඔවුන් හිරුට වඳිමින් දවස පටන් ගත්තේ.
කුසට අහර දෙන ගහකොළට සේම බත සරිකරන කුඹුරටත් හිස නමා ස්තූති කළ ඒ ඇත්තන් වතුර පොදක් තොළගෑමට පෙර ඇළදොළට පවා සිය ආදරය පෙන්වූහ.
නමුත් ඒ කෘතවේදීවීම පිළිබඳ වගේවගක් නැති මෙකල උදවිය ‘‘ඉස්සර ඉඳල තියෙන්නේ ගහකොළටත් වඳින මෝඩ මිනිස්සු’’ යැයි කියමින් පාරම්බානු අප අසා ඇත. ඒ බොහෝදෙනා උදෑසන නිදි ඇඳෙන් නැගිටින්නේ ‘‘මේ මම ලබා උපන් හැටි, මට කිසි වාසනාවක් නෑ, අපොයි! මගේ කරුමෙක මහත’’ යනුවෙන් නැතිවාදගම් දොඩවමින්ය.
ලද දේට කෘතඥ නොවී උදේ හවා ජීවිතයට දෙස් දෙවොල් තියන මිනිස්සු ගහණ රටක්, ජාතියක් ආපස්සට මිස කවදාවත් ඉදිරියට නම් ගමන් කිරීමක් නැත. ලැබුවා වූ අලුත් අවුරුද්දේවත් තමා තුළ ආකල්පමය වෙනසක් ඇති කරගත යුත්තේ ඒ නිසාය. පුද්ගල සංවර්ධන උපදේශිකා, අභිප්‍රේරක නීතීඥ නදීපා රණසිංහ මහත්මියගේ මේ පැහදිලි කිරීම එහි මූලික පියවර වන ස්තූතිවන්තවීම ජීවිතයට බලපාන ආකාරය පිළිබඳවය.
ජීවිතේ වෙනස් කරගන්න එක හරි සරල දෙයක්. ඒක පටන් ගන්න තියන පළමුවැනි පියවර තමයි තමන්ට ලැබිලා තියෙන දේ ගැන සතුටු වෙන එක. ඒවට ස්තූතිවන්ත වෙන එක.
ජපානය කියන්නේ ලෝකයේ දියුණුම රටක්. පුංචි ජපන් දියණියන් කිහිපදෙනෙක් කහඉරෙන් පාර මාරුවෙලා තමන්ට යන්න ඉඩදීපු වාහනයට හිස නවා ස්තූතිවන්ත වෙන වීඩියෝ එකක් පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල හුවමරු වුණා. ජපානයේ මිනිසුන් මේ සංකල්පය තදින්ම පිළිපදිනවා. මුදල් භාවිතා කරන හැම වෙලාවකම ‘අරිගතෝ මනී’ කියලා ඔවුන් මුදල්වලට ස්තූතිවන්ත වෙනවා.
හැබැයි අපේ රටේ බහුතරයක් දෙනා කඩේකට ගිහින් තමන් කැමති දෙයක් කාලා එන බිල දැක්කට පස්සේ ඒකට හූල්ලනවා. ඊටපස්සේ ඉතින් අර කාපු බීපු දේවල් ඇඟට හරියට පත්තියම් වෙන්නෙත් නැහැ. ඔයා ඒ මුදල් දෙන්නේ නිකන් නෙවෙයි, තමන් කාපු බීපු දේ වෙනුවෙන්. ඒ නිසා මුදලක් වැය වුණාට පස්සේ ඒකට හුල්ලනවා වෙනුවට ‘මම මේ මුදලෙන් මට අවශ්‍ය දේවල් ලබාගත්තා, ස්තූතියි’ කියලා හදවතින්ම සතුටු වෙන්න.
හිතන්නකෝ ඔයා ලස්සන වාහනයක නැගලා පාරේ යනවා. යන්න බැරි තරමට පාර තදබදයෙන් පිරිලා. එතකොට ගොඩක් අය කරන්නේ ඒ ගැන හිතලා හිතට තරහක්, කලබලයක් ඇති කරගන්න එකනේ. එහෙම නෙවෙයි ‘ට්‍රැෆික් එකේ වුණත් මට යන්න වාහනයක් තියෙනවනේ’ කියලා හිතලා ඒ වෙනුවෙන් ස්තූතිවන්න වෙන්න. එතකොට ත්‍රීවීලර් එකක යන කෙනෙක් නම් ‘අනේ මට රෝද හතරේ වාහනයක් නෑනේ’ කියලා දුක්වෙන්න එපා. තියෙන වාහනය වෙනුවෙන් ස්තූතිවන්ත වෙන්න. බයික් එකක යන කෙනෙක් නම් බයික් එකේ යනකොට ‘මට අනිත් වාහනවලට වඩා ඉක්මනින් යන්න පුළුවන්’ කියලා හිතන්න. එතකොට බස් එකක යන අය? බස් එකේ යනකොට අයිනේ සීට් එකේ ඉඳගෙන සිංදුවක් අහන ගමන් යන එක වෙනම සතුටක්. ඉතින් ඒ ගැන සතුටු වෙන්න. බස් එකේ යන්න හරි ඔබේ අතේ මුදල් තියෙන එක ගැන හිතන්න.
දැන් පයින් යන කෙනෙක් ‘අපිට බස් එකක යන්නවත් සල්ලි නැහැ’ කියලා හිතන්න එපා. ඇවිදින්න ඇවිදින්න අපේ ඇඟේ කැලරි දහනය වෙලා අපි නිරෝගීමත් වෙනවා. අනික ඇවිදගෙන යන්න තරම් නිරෝගී දෙපා යුගළක් තියෙන එක ගැන ස්තූතිවන්ත වෙන්න. සතුට දකින්න පුළුවන් නම් මේ ඕනම විදියකට සතුට හොයාගන්න පුළුවන්.
මට මතකයි අපි පුංචි කාලේ සතුට හොයන සෙල්ලම කියලා සෙල්ලමක් කළා. ඒක හරි ගැඹුරු තේරුමක් තියෙන දෙයක් කියන එක මට දැන් තේරෙනවා. හරියට හොයනවා නම් ඕනම නරක දේක හොඳක් තියෙනවාමයි. ඉතින් ඒක හොයාගෙන ඒකට ස්තූතිවන්ත වෙන එක තමයි අපේ ජීවිතේ වෙනස් කරන මැජික් එක.
හරි ස්තූතිවන්ත වීම හරියටම කරන්නේ කොහොමද කියන එක අපි දැන් බලමු.
කෙනෙක්ගේ ජීවිතේ තීරණය වෙන්නේ ඒ කෙනා නින්දට පෙර සහ උදෑසන අවධි වූ පසු හිතන දේ අනුවයි කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒවා ස්තූතිවන්ත වෙන්න හොඳම වේලාවන් විදියට හඳුන්වන්න පුළුවන්.
රාත්‍රියට නින්දට යන හැමකෙනාම පහුවෙනිදට ඒ විදියටම නැගිටින්නේ නැහැ. යම් යම් රෝග තත්ත්වයන් නිසා ලෝකයේ බොහෝදෙනා නිදි ඇඳේදිම මිය යනවා. ඉතින් උදෑසනම අවදි වුණු හැටියේ නිරෝගී මිනිසෙක් විදියට අලුත් දවසක් ලැබුණු එක ගැන මුලින්ම ස්තූතිවන්ත වෙන්න.
ඊටපස්සේ තමන් සුව නින්දක් ලැබුව එකට ස්තූතිවන්ත වෙන්න. නිදාගන්න කොට්ටයක්, ඇඳක්, නැත්නම් පැදුරක් තියෙන එක ගැන ස්තුතිවන්ත වෙන්න. ඒ වගේ තමන්ට තියෙන දේවල් පහක් ගැන හිතලා ස්තතුිවන්ත වෙන්න.
ස්තූතිවන්ත වෙනවා කිව්වම ඒක මේ කටවචනයට කියලා වැඩක් නැහැ. මුළු හදවතින්ම ඒ ගැන සතුටක් ඇති කරගෙන ‘ස්තූතියි’ කියන වචනය විශ්වයටම මුදාහරින්න ඕනේ.
ඊටපස්සේ අපි උදේ බොන වතුර වීදුරුවට ස්තූතිවන්ත වෙන්න. ලේසියට අපේ අතට මේ වතුර ටික ලැබුණට සොබාදහමේ සිද්ධවෙන ලොකු ක්‍රියාවලියකට පස්සේ තමයි අපිට වතුර ලැබෙන්නේ. වතුර නැත්නම් අපිට ජීවත්වෙන්න බැහැ. ඒ නිසා පුළුවන් නම් බොන වාරයක් පාසා වතුරට ස්තූතිවන්ත වෙන්න.
ඊටපස්සේ කන කෑම එකට. අපි කන කෑමවල මේ මහපොළොවේ, ගොවියන්ගේ, වෙළෙන්දන්ගේ මේ කී කාණ්ඩයක ශ්‍රමය කැපවෙලා තියෙනවද? මහපොළොවත් ඒ අයත් නැත්නම් අපිට මේ බත්පත ලැබෙන්නේ නැහැ. ලෝකයේ බොහෝදෙනා සාගින්නේ මියයද්දී අඩුවක් නැතුව හෝ වේලක් නොකා වේලක් හෝ කන්න ලැබෙන එක ගැන ස්තූතිවන්ත වෙන්න. ඒ විතරක් නෙමෙයි ඒ කෑමවේල හදන්න මහන්සි වුණ කෙනාට ‘කෑම රසයි, ස්තූතියි’ කියලා කියන්න. ඒකෙන් ඒ කෙනාගේ වගේම ඔයාගේ හිත හරි ආදරෙන් සතුටෙන් පිරෙනවා.
ඊළඟ වැදගත්ම දේ තමයි රැකියා ස්ථානය. සෙනසුරාදා, ඉරිදා ගෙවලා සඳුදා ළංවුණහම ‘අපෝ! හෙට ඉතින් ඔෆිස් යන්න ඕනෙනේ!’ කියලා සමහරු පෝස්ට් ශෙයා කරනවා. කොවිඩ් 19 නිසා ලෝකයේ රටවල බොහෝ දෙනෙක්ට රැකියා අහිමි වුණා. ඉතින් මේ මොහොතේ ඔබට රැකියාවක් තියෙන එක ගැන ඔබ සතුටු වෙන්න. ඒ වෙනුවෙන් ස්තූතිවන්න වෙන්න. ‘මට ලැබෙන පඩිය මදි, ඔෆිස් එකේ අය එක්ක ඉන්න අමාරුයි, බොස්ගේ කැපිල්ල වැඩියි’ ඔන්න ඔය වගේ චෝදනාත් අනන්තයි. රැකියාවක් තුළින් ඔබට ලැබෙන නරක දේ නෙවෙයි හොඳ දේ දකින්න. ඔබට ලැබෙන්නේ රුපියල් 10,000ද ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙලා සතුටින් වැඩ කරන්න. එතකොට අලුත් සිතිවිලි, අදහස් මනසට එනවා. ඊටපස්සේ අපේ ජීවිතය ධනාත්මක වෙලා කාර්යාලයේ ඍණාත්මක දේ වුණත් ඉබේටම වගේ ධනාත්මක වෙන්න පටන්ගන්නවා.
සැමියාගේ, බිරිඳගේ, වෙනත් මනුස්සයෙකුගේ නරකම නැතිව හොඳ දේ දකින්න. ඔවුන් අපිට වැරදි දාහක් කළත් කරන එක හොඳක් ගැන හිතලා ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙන්න.
මේ දේවල් කරන්න මුලදි අමාරු වෙයි. හැබැයි අමාරුවෙන් හරි එකදිගට ස්තූතිවන්තවීම හුරුවුණොත් මොළය මේකට හුරුවෙනවා. ඉන්පසු ජීවිතේ ඔබ බලාපොරොත්තු වෙන අරමුණුවලට යන්න අපහසු වෙන්නේ නැහැ.
2022දී කන්න නැතිවෙයි කියලා හිත හිතා ඊට කලින් හිතින් මැරෙන්න එපා. අවුරුද්ද දිහා අසුබවාදීව නොබලා මේ වසරේදී කරන්න ඕන දේවල් ගැන හිතන්න. ගහක් කොළක් හිටවලා පොළොවට ස්තූතිවන්න වෙන්න. පොළොව වුණත් අපිට පෙරළා ඒ ආදරය ලබාදෙනවා.
ජීවිතේ තියෙන්නේ විඳවන්න නෙවෙයි. මේ අලුත් අවුරුද්දෙදිවත් අනුන්ගේ කුණුවලින්, විවේචනවලින් ඔලුව කුරුවල් කරගන්නේ නැතිව තියෙන දෙයින් සතුටුවෙලා ජීවිතය විඳිමු. තනි තනි පුද්ගලයා වශයෙන් වෙනස් වෙනවා නම් මේ මුළු සමාජයම වෙනස් කරන්න පුළුවන් කියන එක තමයි මට කියන්න ඕනේ.
සෙව්වන්දි හෙට්ටිආරච්චි