අලුත බැඳපු අය අවුරුද්දට මහගෙදර දුවන්න කලින් මේ ගැනත් හිතන්න
ගියවර අලුත් අවුරුද්ද සැමරූ හැටි මතක් වෙද්දී රවීනාගේ දෙනෙත් කඳුළින් තෙත් වේ. ජීවිතයේ ගෙවුණු වසර 24ම ඇය අවුරුදු සැමරුවේ අම්මා හා තාත්තා සමඟය. පුණ්‍ය කාලය සුන්දර වූයේ ඔවුන්ගේ ආදරයත් සමඟය. පුංචිම වයසේදී ආහාර පිසීමේ නැකත උදා වූ විට අම්මා ඇඳගෙන ඉන්නා පාටින්ම ළමා සාරියක් ඇඳගෙන අම්මා වටා කැරකුණු හැටි ඇයට තවමත් මතකය. තරුණ වියට එළඹුණු පසුව රවීනා හා අම්මා එකතුව ලිප ගිනි මොලවන්නීය. ආහාර අනුභව කරන නැකතේදී අම්මාත්, තාත්තාත් තමාට කිරිබත් කැවූ සැටිද රවීනාට සිහි වේ. අනේ ඒ කිරිබතේ රසය වැඩි කරන්නේ ඒ ආදරයය. ඒ එකමුතුකමය. ඒත් අද?
රවීනා විවාහ දිවියට එළැඹුණේ මාස කිහිපයකට පෙරය. මේ විවාහයෙන් පසුව එළැඹෙන පළමු අවුරුද්දය. චානකගේ හිතේ මොන සැලසුම් තිබෙනවාදැයි රවීනා නොදන්නීය.
‘‘අනේ මට නම් බැහැ අවුරුද්දට චානකගේ මහගෙදර යන්න. එක්කෝ එයා එයාගේ ගෙදර ගියදෙන්. මම අපේ ගෙදර යනවා… ඒත් එහෙම කරන එකත් හොඳ නැහැ. ඔලුවත් විකාර වෙනවා මේවා හිතලම.’’ රවීනා හිතත් එක්ක අරගලයක්ය.
‘‘මොකද ඔය ඔලුව බදාගෙන?’’ කාර්යාලයේ මිතුරිය පවනි ඇසුවේ රවීනාගේ අමුතු ඉරියව්ව නිසා ඇති වුණු කුතුහලය නිසාය.
‘‘අවුරුද්ද සමරන්න මට අපේ ගෙදර යන්න බැරි වෙයිද පවනි?’’ රවීනා ඇසුවේ අසරණ හඬින් වුණත් පවනි එයට හිනා වුණේ උස් හඬිනි.
‘‘පිස්සුද රවීනා… මාත් යන්නේ අපේ හස්බන්ඩ්ගේ ගෙදර. ඊට පහුවදා තමා අපේ ගෙදර යන්නේ. අපෝ නැති ප්‍රශ්න නම් දාගන්න එපා ගෙදර යන්න ඕනේ කියලා. ඕනෙම දේක සිරිතක් විරිතක් කියලා දෙයක් තියෙනවනේ.’’ පවනි කීවේ රවීනා නිවසට මොන තරම් නම් බැඳී ඇත්දැයි කියා දන්නා නිසාය.
ඉතින් රවීනා ඒ ගැන තවදුරටත් සිතීම අත්හැර දැමුවාය.
‘‘අපි යමුද චානු අම්මලාට ඇඳුම් ගන්න?’’ සවස්වරුවේ රවීනා චානකගෙන් විමසුවාය.
‘‘හ්ම්… මාත් ඔයාගෙන් අහන්න හිටියේ කවදාටද යන්න පුළුවන් කියලා. අනිද්දට නම් මට කලින් ඔෆිස් එකෙන් එන්න පුළුවන් වෙයි. ඔයාට පුළුවන්ද?’’ චානක අසද්දී රවීනා එයට එකඟ වුවාය.
දෙමව්පියන්ට සහ ඔවුන් දෙදෙනාට ඇඳුම් තේරූ පසු චානක හඬ අවදි කළේය.
‘‘මේ යන ගමන් අලුත් මුට්ටියක් ගමු නේද? හොඳ එකක් තෝරන්න ඔයාට පුළුවන් වෙයි නේද?’’ චානක අසද්දී රවීනා හැරී බැලුවේ කුතුහලයෙනි.
‘‘මුට්ටියක්? ඒ ඇයි?’’
‘‘ඇයි අපි දෙන්නා මෙදා සැරේ චාරිත්‍ර ටික තනියම කරන්න එපැයි.’’ චානක කියද්දී රවීනා පුදුමයට පත් වූවාය.
‘‘මොකක්? අපි දෙන්නා තනියම? ඇයි අපි ඔයාලගේ මහගෙදර යන්නේ නැද්ද?’’ රවීනා ඇසුවාය.
එයට චානක පිළිතුරු දුන්නේ මඳ සිනාවකිනි.
‘‘දැන් අපි පවුලක්. අපිට තාම දරුවෝ නැති විත්තිය ඇත්ත. ඒ වුණාට මේ අලුත් පවුලේ අම්මා ඔයා. තාත්තා මම. ඒ නිසා මම නම් හිතුවේ අපේ ගෙදර අලුත් අවුරුද්ද සමරන්න. ඔයාට යන්න ඕනෙද මහගෙදර? ඔයාට ඕනෙමනම් යමු.’’ චානක කියද්දී රවීනා කලබල වූවාය.
‘‘නැහැ. නැහැ. අපි අපේ ගෙදර අවුරුද්ද සමරමු. ඒත්… අපිට හරියට චාරිත්‍ර ටික කරගන්න පුළුවන් වෙයි නේද? මුකුත් අඩුපාඩුවක් වෙන එකක් නැහැ නේද?’’
‘‘අඩුපාඩු වුණත් මොනවා වෙන්නද අනේ? අපි දෙන්නනේ. අපි දන්න විදිහට චාරිත්‍ර ටික කරමු. ඊට පස්සේ අපේ මහගෙවල් දෙකට ගිහින් එමු. එහෙම හොඳයි නේ?’’ චානක කියද්දී රවීනාට දැනුණේ විසල් සතුටකි. සැනසිල්ලකි.
සමාධි ඩයස්