සිවුරක් ඇඟට දාගන්න ඕන ඒකෙ බර දැනගෙනයි
මේ සසර දනව්ව තුළ බොහෝ සොඳුරු බැඳීම් තිබේ. ඉපිද මැරෙමින්, යළි ඉපදෙමින් ඒ සසර හුරුකම් සොයන්නන් අතරේ, සසර දුක් නිමා කරන්නට සිතා එකමග යන, එකම පවුලක නෑකම් ඇත්තන්ද නැතුවා නොවේ. එවන් තීරණයකට එන්නට මේ කියන්නට යන පොඩි මෙහෙණින් වහන්සේ ඇතුළු ඒ පවුලේ අයට හිත් දෙන්නට ඇත්තේ සසර පිනෙහි ආශ්චර්යය නිසා විය යුතුය.
“ඒ මීට අවුරුදු දහතුනකට කලින් අගෝස්තු මාසේ දවසක්. ඒ වෙනකොට මම ශිෂ්‍යත්වය විභාගය ලියලා ගෙදර හිටියේ. මට අයියයි, අක්කලා තුන්දෙනෙකුයි ඉන්නවා. ඒ වෙනකොට එයාලා විවාහ වෙලා වෙනමම හිටියේ. මට අවුරුදු දෙකක් වෙද්දි මගේ පියා මියගියත්, අම්මා පවුලේ සියලු යුතුකම් ඉටු කළා. අම්මට ඒ වෙනකොට බරක් විදියට දැනුණානම් ඒ මං ගැන වෙන්නෝන. කොහොම වුණත් අපිට ආර්ථික ප්‍රශ්න ඒ අඩුපාඩුකම් බලපෑවේ නැහැ. අම්මා එයාට මහණවෙන්න යන්න කාලේ හරි කියලා කියද්දි, මම කිව්වා මාත් මහණ වෙන්න එනවා කියලා. ඇත්තටම මම එදා එහෙම කිව්වේ සාසනේ ගැන දැනුමක් තේරුමක් තිබිලා නෙමෙයි. හිතේ ඇතිවුණු ආසාවට. ඒ වගේම මමයි, අම්මයි ඒ වෙද්දි ඉඳිකටුවයි නූලයි වගේ එකටමයි හිටියේ.”
ඒ සියඹලාගොඩ නිදර්ශා සුදම්මදීපනී මෙහෙණින් වහන්සේගේ හඬයි. 2010 අගෝස්තු 22 වනදා මවගේ අතැඟිල්ලක එල්ලී පැමිණ පුංචි මෙහෙණියක වෙද්දි, ඇය ‘පොඩි මෑණියන්’ ලෙසත්, මව සියඹලාගොඩ අනුත්තරා සුදම්ම මෙහෙණින් වහන්සේ, ‘ලොකු මෑණියන්’ ලෙසත් හැඳින්වීම සිදුවුණි.
“මගේ පැවිදි ජීවිතය අම්මා ගත් තීරණය එක්ක බැඳිලා තිබුණත්, අම්මා දවසක පැවිදි දිවියට ඇතුළත් වෙනවා කියන තීරණයේ ඉඳලා තියෙන්නේ පුංචි දවස්වල ඉඳලමයි. ඒත් ඒකට එදා ආච්චිලා සීයලා කැමති වෙලා නැහැ. ඉන්පස්සේ අම්මා විවාහ ජීවිතයට ඇවිත් අපි පස්දෙනා ලැබුණට පස්සේ අම්මගේ ඒ අදහස යටපත් වෙලා ගිහින්. හැබැයි තාත්තා මියයාමත් එක්ක ඒ අදහස හිතට ආයෙත් එන්න ඇති.”
අනුත්තරා ලොකු මෑණියන්ගේ සෙවණ යට, ගුරුහරුකම් අභියස, මවත් දුවත් බැඳීම වෙනුවට පැවිදි සොයුරියක සේ සසර බැමි ලිහා දමමින් සසුන් මග අරුත් සොයද්දී අමාරු දුෂ්කර දවස් පසු කරන්නට පොඩි මෑණියන්ටද සිදුව තිබුණි.
“පෘථග්ජන ජීවිතය කියන්නේ දුකක්. සිවුර දාගත්තා කියලා ඒ දුක නැතිවෙන්නේ නෑ. ඒත් ඒක තේරුම් ගැනීම තුළ සිත නිවාගන්න පුළුවන්. මට මතකයි පැවිදි වෙලා මුල් කාලේ හිටපු ගමන් දුවනවා පනිනවා ගෙදර පුරුද්දට, නොතේරුම්කමට. එතකොට ඇතැමුන් අමුතු විදියට මං දිහා බලනවා. එතකොට මේ සිවුර බරයි කියලා දැනුණ වාර තිබුණා. ඇත්තටම සිවුර දාගන්නවානම් ඒ දාගන්න ඕන මේ බර දැනගෙන. දුක රස කරගෙන සාසන ජීවිතේ සතුට සොයා යා යුතුයි. ඇත්තටම මම අද අවබෝධයෙන් යන මේ ගමන ගැන සතුටු වෙනවා.”
දැන් පොඩි මෑණියන්ගේ වයස අවුරුදු විසිතුනකි. සුමධුර කාව්‍යමය ධර්මදේශනා සඳහා නමක් දරා සිටින උන්වහන්සේ දැනට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය හදාරමින්ම අනෙකුත් බෞද්ධාගමික කටයුතුවලටද දායකත්වය දක්වනු ලබයි.
කෙසේ නමුත් ලොකු මෑණියන්ගෙත්, පොඩි මෑණියන්ගෙත් මේ සසුන් ගමන ඉන් නොනැවතෙන්නේ, ඒ මග යන්නට එම පවුලේම තවත් දරු තිදෙනෙක් එක්වන්නට ගත් තීරණයත් සමඟය.
“අක්කලා අයියලා වගේම එයාලගේ දරුවොත් අපි බලන්න අපි වාසය කරන තංගල්ල, ගොඩැල්ලවෙල සුචරිතාරාමයට එනවා යනවා. ඔහොම ආපු ලොකු අක්කගේ පුතත්, නිවුන් දියණියන් දෙන්නත් මහණ වෙන්න කැමතියි කිව්වා. එහෙම හිතුණේ පවුලෙන්ම එන ආභාෂය නිසා වෙන්න ඕන. ඒ වගේම පුංචි දවස්වල ඉඳලම බුද්ධාගමට බොහොම ලැදියාවක් ඒ අයටත් තිබුණා. ඔය අතරේ ලොකු අක්කගේ පුතා පැවිදි දිවියට පත්වුණා. ඒ සියඹලාගොඩ සිරිසමිත සාමණේර හිමියන් ලෙසට. ඊළඟට නිවුන් දියණියන් දෙදෙනාත් පැවිදි වෙන්න කැමතියි කිව්වා.”
එසේ කැමැත්තක් තිබුණද පොඩි මෙහෙණින් වහන්සේ ඔවුනට කීවේ, සාමාන්‍ය පෙළ විභාගයවත් ලියනාතුරු ගිහි ජීවිතයේ රැඳෙනා ලෙසයි.
“මම එහෙම කිව්වත් මම පැවිදි වුණාට වඩා යමක් තේරෙන වයසේ ඔවුන් හිටියේ. ඉගෙනුමේ යම් යම් අතපසුවීම් වෙයි කියලා කිව්වේ, මම මුහුණදුන් ඇතැම් දුෂ්කරතා නිසයි. කොහොමහරි සසර පුරුද්ද නිසාදෝ වයස පහළොවේදී දුවලා දෙන්නත් පැවිදි වෙන්න තීරණය කළා.”
ඒ කිව් පරිද්දෙන්ම මීට දෙවසරකට පෙර (2020) එම දියණියන් දෙදෙනා, ආච්චි අම්මාත්, පුංචි අම්මාත් ගත් මග තෝරාගත්තේ තම මෑණියන්ගේත් පියාණන්ගේත් කැමැත්ත බොහෝ වෙහෙසී ලබාගෙනයි. ඒ අනුව සියඹලාගොඩ සුලක්ෂා දීපනි සහ සියඹලාගොඩ සුදර්ශා දීපනී පොඩි මෙහෙණින් වහන්සේලාටද තම අරමුණු ඉටුකරගන්නට ලැබුණි.
“දුවලා දෙන්නත්, පුතත් මහණ වුණ නිසා ලොකු අක්කත් මහණ වෙන්න හිත හදාගත්තා. අක්කා විවාහ වෙලා හිටිය අයියගේ කැමැත්තත් අරන්, සියඹලාගොඩ සුපේන්ද්රා මෙහෙණින් වහන්සේ හැටියට පැවිදි වුණා. ඒ මීට මාස දෙකකට පෙරයි. ඒ වගේම මෙම ආරාමයේ තවත් කුල දැරියන් කිහිපදෙනෙකුම පැවිදිව තිබෙනවා. එම මෙහෙණින් වහන්සේලා වෙනත් පිරිවෙණ්වල අධ්‍යාපනය ලබනවා. ඒ වගේම ළඟකදි මගේ අනෙක් අක්කලා දෙන්නත් කියනවා, එයාලටත් මහණ වෙන්න තිබුණනම් හොඳයි කියලා.”
මෙම පවුලේ පැවිදි චාරිකාවට තව කීදෙනෙක් එක්වේදැයි කියන්නට පොඩි මෙහෙණින් වහන්සේට තවම බැරිය. එහෙත් ජීවිතය යථාවත්ව දකිමින්, සසර මග කෙටි කරගන්නා ගමනට තව කවුරුන් එක්වුවද සසුන් කෙත තුළ ඊට ඉඩ හසර තිබේ.
තමන්ටත් තම මෑණියන්ටත්, පැවිද්ද දුන් ගුරු මෙහෙණින් වහන්සේලාව පොඩි මෙහෙණින් වහන්සේ සිහිපත් කරන්නේ ගෞරවයෙනි. ඒ දැරණියගල සුදර්ශිකා ලොකු මෙහෙණින් වහන්සේගෙනුත්, මොරටුව සුමේධා පාරමී ලොකු මෙහෙණින් වහන්සේගෙනුත් ලැබුණු, ලැබෙන ගුරුහරුකම්ද සිහිපත් කරමිනි.
“මම ඇතුළුව අනෙක් පොඩි මෙහෙණින් වහන්සේලා දෙනමත් කවි බණවලට යනවා. විද්‍යුත් නාළිකාවක කවි බණකට ගිය වෙලාවේ හඳුනාගත් ඉන්දික මහත්මයා පියෙක් වගේ අපේ කටයුතු සොයා බලනවා. ඒ කරුණාවන්තකම අප්පච්චි කෙනෙක්ගෙන් ලැබෙන ආදරයට සමානයි කියලයි මට දැනෙන්නේ. අවුරුදු දෙකේදි පිය සෙනෙහස අහිමිවුණු කෙනෙක් හැටියට මම ඒ බැඳීම ගැන හිතන අවස්ථා තිබෙනවා. පැවිදි වුණාට බැඳීම් කියන දේ ඉස්මතුවෙන අවස්ථා තිබෙනවා. එදා මගේ ‘පවුල’ හැටියට හිටපු උදවිය අද ශාසනික පවුලකට එක්වෙලා. ඒ අරමුණු හැකිතාක් සාක්ෂාත් කරගැනීමට අපි හැමදෙනා තුළම කැපවීමක් තියෙනවා.”
පොඩි මෙහෙණින් වහන්සේ කියන්නේ, ගිහි දිවිය තරම් සසුන් දිවිය බර නැතත්, දුක සතුට තම සිත්වලටද පොදු බවයි. ඒ දහම තුළ නිවෙමින් සැනසෙමින්, වදනකින් හෝ ලොව නිවන්නට හැකිනම් ඒ නිවීමේ වටිනාකම් ලොවට සිසිලක්ම වනු ඇත.
දීපා වසන්ති එදිරිසිංහ