‘ඔයා තමයි මගේ නූපා. මගේ නූපාව මට දෙන්න නිරෝෂා’ කියලා කිව්වහම බැහැ කියන්නෙ කොහොමද?
1986දී ඇමරිකාවේ ‘ද ඔප්රා වින්ෆ්‍රි ශෝ’ කියලා ටෙලිවිෂන් වැඩසටහනක් විකාශය වුණා. අදටත් ඇමරිකානු ඉතිහාසයේ ශ්‍රේණිගතකිරීම්වල ඉහළින්ම තියෙන මේ වැඩසටහනට සහභාගි වුණේ ලෝක ප්‍රකට පුද්ගලයෝ විතරයි. වැඩසටහන මෙහෙයවීම කළේ ඔෆ්රා වින්ෆ්‍රි. ඇය ඇමරිකාවේ ප්‍රසිද්ධ නිවේදිකාවක්. බහුතරයක් දෙනා මේ වැඩසටහනට සහභාගි වුණේ ඇය නිසයි. ඔෆ්රා වින්ෆ්‍රි එක්ක ටෝක් ශෝ එකක් කරන්න ආරාධනා ලැබීමම ගෞරවයක් විදියටයි සුපිරි හොලිවුඩ් නළු නිළියෝ පවා විශ්වාස කළේ.
මීට අවුරුදු දහයකට කලින් ලංකාවේ ටෙලිවිෂන් නාලිකාවකත් ඒ වගේ ජනප්‍රිය අය එක්ක කරාපු ටිකක් වෙනස් විදියේ වැඩසටහනක් විකාශය වුණා. ඒ තමයි ‘නිරෝ ඇන්ඩ් ද ස්ටාර්’. මගේ මතකේ හැටියට නළු නිළියන් එක්ක බොහොම විනෝදයෙන් කාලය ගත කෙරුණු සහ වෙනස් විදියට නිර්මාණය වුණු පළවැනි ටෝක් ශෝ එක ඒක. ඔෆ්රා නිසා ඇගේ වැඩසටහනට සහභාගි වෙන්න ජනප්‍රිය පුද්ගලයෝ ආසාවෙන් හිටියා වගේම නිරෝ ඇන්ඩ් ද ස්ටාර් එකේ නිවේදිකාව නිසාත් ඒකට සහභාගි වෙන්න කැමැත්තෙන් හිටියා කියලා, ගොඩක් වැඩසටහන්වල අවසානෙදි ඒ නළු නිළියෝම කියනවා. ඒ කාලේ සෑහෙන ජනප්‍රිය වෙච්චි ඒ වැඩසටහන මෙහෙයවපු ඇය තමයි නිරෝෂා පෙරේරා.
නිරෝෂා ජනප්‍රිය නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක්. හැබැයි ඇය නිතරම පේන්න ඉන්න චරිතයක් නෙමෙයි. ඒ වුණත් කාලෙන් කාලෙට සමාජයේ කතාබහට ලක්වෙන අලුත් වැඩක් එක්ක ඇය එකපාරම මතුවෙනවා. මේ දවස්වල ආයෙත් ඇය ගැන සමාජ කතාබහක් ඇතිවෙලා තියෙන්නේ ‘කන්දක් සේ මා’ චිත්‍රපටය නිසයි. මේ චිත්‍රපටයේ ‘නූපා’ගේ චරිතය වෙනුවෙන් ඇගේ රංගනය බොහොම ඉහළ මට්ටමක තියෙනවා කියලයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කියන්නේ.
“මම පුංචි කාලේ ඉඳලා ජීවත් වුණේ කොළඹ. මට අක්කා කෙනෙකුයි නංගිලා දෙන්නෙකුයි ඉන්නවා. පවුලේ ගෑනු ළමයිම හතරක් කියපු හැටියේ කෙල්ලෝම හතරදෙනෙක් ඉන්දැද්දි රණ්ඩු ඇතිවෙන්නෙ නැද්ද කියලයි සමහරු අහන්නේ. ඇත්තටම නැහැ. පුංචි කාලේ ඉඳලම අපි හතරදෙනා හරිම එකතුයි. අම්මා තාත්තා වුණත් අපිට නිතරම ශක්තියක් වුණා මිසක කිසිම වෙලාවක සීමා මායිම් දැම්මේ නැහැ.”
නිරෝෂා කොළඹ හත බෞද්ධ කාන්තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. පුංචි කාලේ ඉඳලම ඇය ඉගෙනුමට වගේම කලාවට සහ ක්‍රීඩාවටත් දක්ෂයිලු.
“සංගීතය, නැටුම්, ක්‍රීඩා ඔය හැමදේම වගේ කරපු නිසා ඒ කාලේ මම ඉස්කෝලේ ජනප්‍රියයි. බාහිර වැඩ කළාට හැමදාම පංතියේ පළවැනියා වුණෙත් මම. ඒ පාසල් කාලෙ ගැන මතක් කරද්දි නම් හිතට ලොකු සතුටක් ඇතිවෙනවා.”
පුංචි කාලෙදි ගොඩක් අයට අනාගතය ගැන සිහින තියෙනවනේ. හැබැයි නිරෝෂා කියන්නේ ඊට වඩා වෙනස් කතාවක්.
“මගේ අම්මා ගෘහිණියක්. ඇය රැකියාවක් කළේ නැහැ. හැබැයි ඇයට ඕන කරන හැමදේම ඇයට ලැබුණා කියන එකයි පුංචි දරුවෙක් විදියට මම දැක්කේ. ඉතින් මටත් ඕන වුණා කවදාහරි අම්මා වගේ වෙන්න. මොකද මම වැඩ නොකර පැත්තකට වෙලා ඉන්න ටිකක් කැමති කෙනෙක්. ඒ නිසාමදෝ පුංචි කාලේ ඉඳලා මට හීනයක් තිබුණෙ නැහැ. හැබැයි ඔයා හරියන්නේ රඟපාන්න කියලා ඉස්සර මට ගුරුවරු එහෙම කියලා තියෙනවා.”
යන්න ඕන පාර ගැන නිරෝෂා නොහිතුවට ඇගේ දෛවය ඇගේ පාර තීරණය කරලා.
“මගේ අක්කා ඒ කාලේ රඟපෑවා. ඉතින් ෆීල්ඩ් එකේ කට්ටිය අක්කව මුණගැහෙන්න ආවහම මටත් රඟපාන්න කතා කරනවා. මම හැමදාම මොකක් හරි කියලා ඒක මගඇරියා. සාමාන්‍ය පෙළ ඉවරවෙලා ගෙදර ඉන්දැද්දි නිල්හාන් සෙනෙවිරත්න ‘සඳරේණු’ පත්තරේ මුල් පිටුවට ෆොටෝෂූට් එකක් කරමු කියලා මගෙන් ඇහුවා. ඒකටත් ගත්කටටම මම බෑ කිව්වා. පස්සේ මම කියන නිසා මේක කරන්න කියලා අක්කා කිව්වා. කොහොමහරි අක්කා නිසාම මම එදා ෂූට් එක කළා. පත්තරේ පබ්ලිෂ් වුණාට පස්සේ ඒක දැකලා වැඩසටහනක් මෙහෙයවන්න එන්න කියන්න ස්වර්ණවාහිනියෙන් මාව හොයාගෙන අපේ ගෙදරටම ආවා. එවෙලේ මම ඒ අයටත් කිව්වේ බැහැ කියලයි. ඒ පාර ඔන්න එදත් මම කියන නිසා මේක කරන්න කියලා අක්කා කිව්වා.”
අක්කගේ ඉල්ලීමට ටෙලිවිෂන් නාලිකාවක නිදහස් නිවේදිකාවක් විදියට වැඩ කරන්න පටන්ගනිද්දි ඇගේ වයස අවුරදු 16යිලු.
“සාමාන්‍යයෙන් අවුරදු 16 ළමයෙක්ව ගන්නෙ ළමා වැඩසටහනකටනේ. හැබැයි සිඩ්නි චන්ද්‍රසේකර අධ්‍යක්ෂණය කරපු පැය එකහමාරක බ්‍රෙක්ෆස්ට් ශෝ එකක නිවේදනය කරන්න තමයි මට අවස්ථාව ලැබුණේ. මට වැඩිමල් පෙනුමක් ගන්න සිඩ්නිට ඕන වුණා. ඕන් ඒ පාර එක එක ස්ටයිල් කරලා මගේ පෙනුම වෙනස් කළා. ඉස්කෝලේ යන කෙනෙක් කියලා පත්තරවලට කියන්න එපා කිව්වා.”
කිසිම පුහුණුවීමක් නැතිව පළවැනි දවසෙම ඒ වැඩසටහන සාර්ථකව මෙහෙයවන්න නිරෝෂට පුළුවන් වුණාලු.
“පස්සේ නිදහස් නිවේදිකාවක් විදියට වැඩ කළා. ඔය අතරේ උසස් පෙළ සහ උපාධියත් සම්පූර්ණ කළා. ඔහොම ඉන්න අතරේ ලංකාවේ ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක් මට චිත්‍රපටයකට කතා කළා. ඒ වෙලාවෙත් මම ඒක බාරගත්තේ නැහැ. ඔහොම අවුරුද්දක් දෙකක් යද්දි එච්.ඩී.ප්‍රේමරත්න මට ටෙලිඩ්‍රාමා එකකට කතා කළා. ඇත්තටම රඟපාන්න ඕනේ කියලා මට අදහසක් තිබුණේ නැහැ. නිවේදනය කරගෙන හිටපුවාම ඇති කියලයි මට හිතුණේ. ඒත් ප්‍රේමරත්න මහත්තයා මට රඟපාන්න එන්න කියලා බල කරන මට්ටමටම ආවා. ඒ පාර බෑ කියන්න බැරිකමට මම ‘නිල් අහස වගේ’ කියන නාට්‍යයේ රඟපෑවා. ඊටපස්සෙත් මට අවස්ථා ගොඩක් ලැබුණා. මම ඒවගෙන් කීපයක් විතරක් තෝරලා බලලා තෝරගත්තා.”
නිවේදන වැඩසටහනක් විතරක් නෙමේ චිත්‍රපට, නාට්‍ය තෝරගනිද්දිත් ඇය ගොඩක් හිතලා බලලා තමයිලු ඒවා තෝරගන්නේ.
“අර හැමදාම දකින කුකුළගේ කරමලේ සුදුයි කියනවනේ. ඒ නිසා නිතරම මිනිස්සුන්ට පේන්න ඉන්න මම කැමති නැහැ. ඒ නිසා ගොඩක් හොයලා බලලා තමයි වැඩ බාරගන්නේ. ඒ නිසා කට්ටිය මට කියන්නේ පස්මහ බැලුම් බලනවා කියලයි. ඔහොම ඉන්න අතරේ මට පෝග්‍රෑම් එකකදි සනත් ගුණතිලක මහත්තමයව මුණගැහුනා. ‘නිරෝෂා ලස්සන ප්‍රංශ නවකතාවක් තියෙනවා, ඔයා එනවා නම් විතරක් මම ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා’ කියලා ඔහු මට කිව්වා. පුරුද්දට වගේ මම කළේ ඉතින් බෑ කිව්ව එක. මට ප්‍රංශ භාෂාව පුළුවන්. පස්සේ ඔහු ප්‍රංශ භාෂාවෙන් ලියාපු ඒ පොත මට කියවන්න දුන්නා. පොත කියවලා පස්සෙත් ඒකට මම කැමති වුණේ නැහැ. ඊටත් පස්සේ ඔහු ඇවිල්ලා අපේ තාත්තට කතා කළා. තාත්තා කිව්ව නිසා තමයි මම එදා ඒකට හා කිව්වේ.”
නිරෝෂගේ පළමු චිත්‍රපටය ‘එකෝමත් එක රටක’ චිත්‍රපටයට ඇය සම්බන්ධ වුණේ ඔහොමලු. මේ චිත්‍රපටය වෙනුවෙන් ඇය හොඳම නිළිය සම්මානයට පවා නිර්දේශ වුණා.
“පස්සේ දවසක් මට සුමිත්‍රා රාහුබද්දගෙන් කෝල් එකක් ආවා. ‘ඔයා තමයි මගේ නූපා. මගේ නූපාව මට දෙන්න නිරෝෂා’ කියලයි ගත්කටටම ඇය කිව්වේ. එහෙම කිව්වහම කෙනෙක්ට බැහැ කියන්නෙ කොහොමද? අනික ඇය චිත්‍රපටයට හෙව්වේ ජපන් පුළුවන් කෙනෙක්. මට ජපන් භාෂාවත් කතා කරන්න පුළුවන්. අනික මේක මම කරන්න ඕන චිත්‍රපටයක් කියලයි තිර පිටපත කියෙව්වහම මටත් හිතුණේ.”
මේ කියන ‘කන්දක් සේ මා’ චිත්‍රපටයේ දර්ශන වැඩි හරියක් තිරගත කරලා තියෙන්නේ ජපානයේ.
“ජපන් රට හරිම ලස්සනයි. එහේ මිනිස්සුත් හරි හොඳයි. හැබැයි සීතල නම් දරාගන්න අමාරුයි. ඒ අභියෝගය මැද්දේ තමයි අපි චිත්‍රපටය රූගත කළේ. ජපානය කියන්නේ භූමිකම්පා වැඩි රටක්නේ. දවසක් ෂූටින් ඉවර කරලා කාමරේට ගිහිල්ලා කෑම කනකොට එකපාරම සේරම හෙලවෙන්න ගත්තා. විනාඩියකින් වගේ පිටවෙලා යන්න කියන සයිරන් එකක් වැදුනා. එදා අපිට ලැබුණේ ශ්‍රී ලංකාවේ කෑම වේලක්. මොන භූමිකම්පාව ආවත් කාලම යනවා කියලයි එවෙලේ මට හිතුණේ. ඉතින් මම කෑම කන එක නතර කළේ නැහැ. ඒ පාර අපිත් එක්ක ගිය යාළුවෙක් මගේ කාමරේ දෙරට ගහලා මට ආරක්ෂිත තැනකට යන්න එන්න කිව්වා. පස්සේ මම යන්න ලෑස්ති වෙද්දිම භූමිකම්පාව නතර වුණා. පස්සේ ඉතින් මම ආයෙත් මගේ පාඩුවේ ඉතුරු කෑම ටික ඉවර කළා.”
නිරෝෂා ඒ කතාව කිව්වෙ හිනාවෙවී. ඇය බුදුදහමට ගොඩක් ලැදි කාන්තාවක්. ඉතින් ඕනම වෙලාවක මැරෙන්න වුණත් ඇගේ හිතේ බයක් නැහැයි කියලත් ඔය කතාව අතරෙදි ඇය කිව්වා.
“මම කිසිම දේකට ඇලෙන්න ආස කෙනෙක් නෙමෙයි. මම ආපු අවස්ථා අතඅරින්නත් ඒක හේතුවක්. ටීවී පෝග්‍රෑම් වුණත් පීක් එකට එනකොට මම ඒවා නතර කරනවා. එතකොට තමයි ඒකේ අගය වැඩි. අනික ඒ දේවල් ගැන මට කිසි ලෝබකමක් නැහැ. ඊගාව දේ තමයි විවාහය. කසාද බැඳලා බැඳීම් හදාගන්නත් මම අකැමතියි. ඒ නිසා විවාහය මගේ සිස්ටම් එකේ නැහැ. ඔය වගේ බැඳීම් නැති නිසා ඕනම වෙලාවක හිතේ බරක්, වගකීමක් නැතිව නිදහසේ මැරෙන්න පුළුවන්.”
මේ ලෝකේ මනුස්සයෙක්ට ලබාගන්න පුළුවන් වටිනම දේ මානසික නිදහස කියන එකයි ඇය පුන පුනා කිව්වේ.
“දේවල්වලට ඇලෙන්නේ නැහැ කියන එකෙන් අදහස් කළේ මගේ ජීවිතේ කළකිරිලා කියන එක නෙමෙයි. මම නිතරම වෙනත් රටවල්වල සංචාරය කරනවා. පවුල එක්ක විනෝද ගමන් යනවා. ඉගෙනගන්නවා. ඒ දේවල් කරන ගමන්ම ජීවිතේ යථා ස්වභාවය තේරුම්ගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ.”
ඔය කතාවෙන් පස්සේ අපි ඇහුවේ ඇය ආපු ගමනේ සාර්ථකත්වය ගැන.
“මෙහෙමයි. අනිත් අය සාර්ථකත්වය මනින මිම්ම මොකක්ද කියන්න මම දන්නේ නැහැ. සමහරු හොඳ පවුල් ජීවිතයක් ගත කරන අයට සාර්ථක කාන්තාවක් කියනවා. හැබැයි ඒ අය රැකියාව පැත්තෙන් අසාර්ථක වෙන්න පුළුවන්. තව එතකොට ව්‍යාපාරික පැත්තෙන් සාර්ථක නැත්නම් ලොකු තනතුරක ඉන්න කාන්තාවකට සාර්ථකයි කියලත් කියනවා. හැබැයි සමහරවිට එයාගේ පවුල් ජීවිතය අසාර්ථකයි. මට අනුව නම් සාර්ථකත්වය කියන්නේ ගෞරවනීය විදියට තමන්ගේ අභිමානය තියාගෙන ජීවත්වෙන එකට. ක්ෂේත්‍රයේ අවුරුදු ගණන් ඉඳලත් අදටත් මට කාගෙන්වත් වැරදි යෝජනාවක් ඇවිල්ලා නැහැ. මම ඉන්න තැනක කෙනෙක් අනවශ්‍ය විහිලුවක්වත් කරලා නැහැ. අපේ පෞරුෂය, අපි හැසිරෙන විදිය, අනිත් අයට ගෞරව කරන විදිය වගේ දේවල් එක්ක පෙරළා අපිටත් ගෞරවය ලැබෙනවා.”
ගෞරවනීය මනුස්සයෙක් වෙන්න පුළුවන් නම් ඔහු සාර්ථකයි කියන එකයි ඇගේ අදහස. තමන් කරන දේ හරියට කරන එකත් සාර්ථකත්වය, ගෞරවය ලබන්න හේතු වෙනවා කියන එකත් ඇය අපිත් එක්ක කිව්වා.
“ඇත්තම කිව්වොත් මම ජීවිතේ ලොකුවටම අභියෝගවලට මුහුණදීලා නැහැ. ලොකු ලොකු කැපකිරීම් කරලත් නැහැ. ඒකට හේතුව මම කිසිම දේකට නොඇලෙන එක. මොන කැපකිරීම හරි කරලා කොහොමහරි මේක ගන්නවා කියන අදහස මට කවදාවත් දැනිලා නැහැ. දෙයක් තිබුණත් එකයි නැතත් එකයි කියන මට්ටමේ හිටියහම ඒ දේ ලැබුණෙ නැති වුණත් ඒක දරාගන්න ලේසියි. අනික ගුරුවරු වුණත් දරුවන්ට උගන්වන්න ඕනේ මොන දේ කරලා හරි දෙයක් ලබාගන්න කියන මතය නෙමෙයි. එතකොට ඒ අය වැරදි පාරවල්වලින් හරි තමන්ගේ අරමුණට යන විදිය ගැන විතරයි හිතන්නේ. එහෙම නෙමෙයි දෙයක් ලබුණත් නැතත් ඒ දුක දරාගෙන කරන දේ හරියට කරන්නයි දරුවන්ට වුණත් කියලා දෙන්න ඕනේ. එතකොට අනුන්ට කරදරයක් නැති, කරන දේ හරියට කරන ගෞරවනීය මිනිස්සු බිහි කරන්න ලේසියි. අනිත් දේ මොන දේ කළත් හරියට ඉගෙනගෙන කරන්න. ආසාව තිබ්බ පලියට දෙයක් ඔහේ කරන්න යනවට වඩා ඉගෙනගෙන කරන එකෙන් ගන්න පුළුවන් ප්‍රතිඵලය වැඩියි කියලයි මම හිතන්නේ.
සෙව්වන්දි හෙට්ටිආරච්චි
ඡායාරූප – මීෂා ගුණවර්ධන