නවතම ප්‍රවෘත්ති

මළත් අමතක නොවෙන විදියට ඉතිහාස පාඩම් කියාදෙන ගුරුතුමී – නිශානි තිලකරත්න

පාසල් යන දරුවන්ගෙන් බොහෝදෙනෙකුට ඉතිහාස විෂයය වහකදුරුය. අතීත රාජධානි, ඒවා පාලනය කළ රජවරුන් සහ ඒවාට අදාළ කාලසීමා මතක තබාගැනීම පොඩි එවුන්ට තියා මහ එවුන්ටත් ලේසි නැත. ඒ නිසා එකල නම් ‘කට්’ කරන පීරියඩ් ලිස්ට් එකේ ඉංගිරිසි පීරියඩ් එක හැරුණුකොට මුලින්ම තිබු‍ණේ ඉතිහාස පීරියඩ් එකය. නමුත් මෙකල දරුවන්ට එහෙම කරන්නට අවශ්‍ය නැත. අපහසු විෂයයක් සරලව උගනින්නට ඔවුන්ට ඕනෑතරම් පහසු ක්‍රම සහ විධි ඇත. මේ අතර මළත් අමතක නොවන පරිදි අමුතු ක්‍රමයකට ඉතිහාසය උගන්වන බොහොම තරුණ සහ සුන්දර ගුරුවරියක් අපිට මුණගැසුණි. ඇය ඉතිහාසය උගන්වන විදිය පමණක් නොව ඇගේ ජීවිත කතාවද ඔබ දැනගන්නට වටින තරමේ එකකි. එනිසා ‘ධරණී’ කවරය දරා සිටිමින් ඇගේ කතාව කියන්නට අපි ඒ ඉතිහාස ටීචර්ට ඇරයුම් කෙරුවෙමු. මේ ඇගේ කතාවයි.

පුංචි සන්ධියේ සිටම නිශානිට තිබුණේ ගුරුවරියක් වීමේ සිහිනයයි. ඇතැම් දාට ඇය මවගේ සාරියක් අමාරුවෙන් ඇඟේ පටලවාගෙන කණ්ණාඩි මේසය ළඟට ගොස් සිසුන් සිතින් මවාගෙන පුංචි ගුරුවරියකට ඇන්දාය.

නමුත් ඒ හීනය හැබෑ කරගැනීමට නම් හොඳින් ඉගෙනගැනීම අනිවාර්යය බව නිශානි දැන සිටියාය. වරින් වර විවිධ වෙස් දරාගෙන ආර්ථික ප්‍රශ්න ඇය ඉදිරියට ආවත් ඇයව වට්ටන්නට නොහැකි වූයේ එනිසාය. එවැනි අනේකවිධ දුෂ්කරතා හමුවේ සරසවි සිහිනය සැබෑ කරගැනීමට ඈ නොකළ කැපකිරීමක් නැත.

‘‘මං සාමාන්‍ය පෙළ ලිව්වේ 2011 අවුරුද්දේ ගමේ පාසලේ. ඒ පල්ලේවත්ත ගාමිණී දිසානායක ආදර්ශ විද්‍යාලයේ. ප්‍රතිඵලය තිබුණේ A හතයි B එකයි C එකක් විදිහට. ඒක ඒ අවුරුද්දේ මගේ පාසලේ හොඳම ප්‍රතිඵලය වුණා. සාමාන්‍ය පෙළ සමත්වෙලා මං 2014 අවුරුද්දේ වාණිජ අංශයෙන් උසස් පෙළ කරන්න ගියේ බදුල්ල විශාඛා උසස් බාලිකා විද්‍යාලයට. උසස් පෙළට A දෙකයි B එකක් එක්ක හොඳ ප්‍රතිඵලයක් ගන්න මට පුළුවන් වුණා. මගේ දිස්ත්‍රික් රෑන්ක් එක වුණේ දාසය. එදා නම් මං ගොඩාක් සතුටු වුණා.’’

හුන්නස්ගිරි කන්ද තරම් ලොකු සතුටක් මැද වුවද නිශානිට දුක හිතෙන කතාවක් අසන්නට ලැබුණේ ප්‍රතිඵලත් ආ පසුය. ඒ දෙමව්පියන් ඇය වෙනුවෙන් විඳි නොවිඳිනා දුක් කම්කටොලු ගැනය.

‘‘උසස් පෙළ කාලේ මං හිටියේ බෝඩිං වෙලා. ඒ නිසා ගෙදර අයට මං වෙනුවෙන් ගොඩක් වියදම් දරන්න වුණා. බෝඩිං ගාස්තු, ටියුෂන් ගාස්තු, බස් ගාස්තු වගේ දේවල්වලට ලොකු මුදලක් ගියා. ඒ වෙනකොට තාත්තත් ටිකක් අසනීපෙන් හිටියේ. අයියටත් ලොකු වයසක් නෑ. තාත්තගේ ව්‍යාපාරත් ටික ටික බංකොලොත් වෙලා තිබුණේ. ඉතින් මගේ වියදමට ගෙදරින් සල්ලි එවලා තිබුණේ ගිනිපොලියට ණයට අරන්. හැමදේම මං දැනගත්තේ උසස් පෙළ ප්‍රතිඵල ආවටත් පස්සේ. එතකල් ඒ අය මට කිසිම දෙයක් කිව්වේ නෑ.’’

සරසවි සිහිනය යථාර්තයක් වුවද ඒ හේතු නිසා ඇයට ඉන්පසු ඒ සිහිනයේ පියමං කරන්නට හිත ඉඩ දුන්නේ නැත.

‘‘මං කැම්පස් යන්න ගොඩාක් ආසාවෙන් හිටියේ. ඒත් ගෙදර තිබුණු ආර්ථික ගැටලුත් එක්ක මට ඒ ගමන යන්න හිතුණේ නෑ. මං දැනගෙන හිටියා කැම්පස් ගියොත් මගේ අම්මා තාත්තා ගෙවල් දොරවල් විකුණලා හරි මට වියදම් කරනවා කියලා. ඒත් එයාලට තවත් දුක් විඳින්න දෙන්න බැරිකමට රැකියාවක් කරන්න තීරණය කළා.’’

අලුත් රැකියාවට ගියද ඒ ජීවිතය ඇය හිතන තරම් පහසු වූයේ නැත. ලැබුණු වැටුප ඇයට හැරෙන්නටත් මදිය. අවසානයේ ඇය දුකට හැඬුවාය. පොඩි වෙලාවක් නොව පැය ගණන් වරු ගණන් හැඬුවාය.

‘‘මං පෞද්ගලික බැංකුවකයි රැකියාවට ගියේ. ඒත් බෝඩිමට ගෙවලා කාලා බීලා ඉවරවෙද්දි ගෙදර බර කරට ගන්න අමාරු වුණා. අනන්තවත් බඩගින්නේ ඉඳලා සල්ලි ටිකක් ඉතුරු කරගන්න හැදුවත් ඒකත් ලේසි වුණේ නෑ. අන්තිමේ තනියම බෝඩිමට වෙලා ඇඬුවා. දවසක් දෙකක් නෙවෙයි දිගටම ඇඬුවා. ඇත්තටම ඒ කාලේ ගෙවෙමින් තිබුණේ සතුටකින් නෙවෙයි.’’

නිශානිගේ ජීවිතයට අලුත් වසන්තයක් එන බවට ඉඟි පහළවෙන්නේ මේ අතරය.

‘‘මං බැංකුවේ වැඩ කරගෙන යද්දි තමයි විද්‍යාපීඨ ගැසට් කළේ. ඒ 2017 අවුරුද්දේ. අන්තිමේ මං විද්‍යාපීඨ දැම්මා. ඒ මගේ කැමැත්තට වඩා අම්මලාගේ ඉල්ලීමට. මොකද අම්මලත් ගොඩාක් ආසාවෙන් හිටියා මං ගුරුවරියක් වෙනවට. දැන් මට හිතෙනවා එදා ගත්ත තීරණේ හරියටම හරි කියලා. මං ඉතිහාස ගුරුවරියක් විදිහට වැඩ කරන්න පත්වීම ලැබෙනකන් හරිම ආසාවෙන් ඉන්නේ.’’

ගුරුවරියක් ලෙස විද්‍යා පීඨයෙන් පිටත්ව රජයේ පාසලක පුහුණු ගුරුවරියක් ලෙස කලක් ඇය සේවය කළාය. ස්ථිර පත්වීම් ලැබෙනතුරු දැන් ඇය ටියුෂන් ක්ෂේත්‍රයට පයගසා තිබේ. ඇගේ වෙනස්ම ඉගැන්වීමේ රටාව නිසා ටියුෂන් පන්ති ක්ෂේත්‍රය තුළ මේ ගුරුතුමිය ඉතා ඉක්මනින් ජනප්‍රිය විය.

‘‘මගේ මූලික විෂය ඉතිහාසය. ඒක ළමයි කවදත් ටිකක් අදිමදි කරන විෂයක්. මට උවමනා වුණේ ඒ තත්ත්වය නැති කරන්න. ඒකට මං යොදාගත්තේ සමාජ මාධ්‍ය සහ ඒ තුළ ප්‍රසිද්ධ වූ මීම්ස්. මොකද ගොඩාක් ළමයි සමාජ මාධ්‍ය පරිහරණය කරනවා. මං හදන ඉතිහාසය මීම්ස් බලන හැමෝම කියන්නේ ‘ආයෙත් නම් ඒ කොටස අමතක වෙන්නේ නෑ’ කියන එක. හරිම වෙලාවට හරිම ඉතිහාස කරුණ උලුප්පලා ගන්න නිසා කාලීන කතාබහට ගැළපෙන විදියට හදන මීම්ස් ඉතා ඉක්මනින් සමාජ මාධ්‍ය තුළ පැතිරෙනවා.’’

ඇය නිශානි තිලකරත්නය. ඉතිහාසය පසෙක තබා සංවාදය නිමා කරන්නට පෙරාතුව ඇය හරි අපූරු ජීවිත පාඩමක්ද කියා දුන්නාය.

‘‘ආර්ථික අපහසුතා නිසා උසස් අධ්‍යාපනය අඩාල වෙන දරුවෝ අපේ රටේ ගොඩාක් ඉන්නවා. ඒ අයට කියන්න තියෙන්නේ එක පාරක් වැහුණොත් තව පාරවල් ගොඩක් විවර වෙනවා. තමන්ගේ දක්ෂතා ඇසුරෙන් ඒ හරි පාර මොකක්ද කියලා අඳුරගන්න. ඔබ අධිෂ්ඨානය සහ කැපවීම එක්ක ඒ පාරේ යන තාක් සොබාදහමත් ඔබට උපකාර කරනවා. මට ඒක දැනිලා තියෙනවා.’’

රුවන් එස්.සෙනවිරත්න