විශේෂාංග

ගොඩක් දරුවන්ට මං ළඟ ඉපදෙන්න දීලා ගෞතම් යන්නම ගියා

 “අපි බැන්දෙ 1995 අවුරුද්දේ. 1996 මගෙ ලොකු පුතා රාහුල් ලැබුණා. 2000 අවුරුද්දේ තමයි පොඩි පුතා ගෞතම් ලැබුණේ. නිත්‍යකල්‍යානි මහේෂ්වරන් එසේ කියමින් දිගු හුස්මක් ගත්තාය.

ඒත් සෑම නැවුම් ආරම්භයකම ප්‍රශ්න ගණනාවක් ඇතැයි කියන්නාසේ ගෞතම්ගේ ඉපදීම නිසා උපන් සතුටු කඳුළු හැඬීමකට පෙරළුණේ නොසිතූ විරූ ලෙසය.

වයස අවුරුදු තුනේදී ලබාදීමට නියමිත එන්නතකින් පසු හදිසියේම ඇතිවූ උණක් නිසා ගෞතම්, බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහල හෙවත් නෝනාවාට්ටුවට ඇතුළත් කරන්නට සිදුවුණේය.

බබාට මුලින් උණ හැදිලා ෆිට් එක ආවා. ඊටපස්සේ අයි.සී.යූ. දාලා හිටියා. කෝමා තත්ත්වය දක්වා ඇවිල්ලා තිබුණේ.

එතැන් පටන් පුංචි ගෞතම්ට ජීවත්වෙන්නට සිදුවුණේ පරීක්ෂණ, නිරීක්ෂණ කණ්ඩායම් පිරිවරාගෙනය. සිදුවූයේ හෝ සිදුවන්නට යන්නේ කුමක්දැයි කියා සිතා ගැනීමට නොහැකි වූ නිත්‍යාට ඉතා කුඩා කාලයක් තුළ ජීවිතය මහා බරපතළ ලෙස වෙනස්වන බැව් පමණක් දැනෙන්නට විය.

ගෞතම් දවස් හතළිහක්ම නෝනාවාට්ටුවේ තියාගන්තා. මම ඇහිපිය නොහෙළා ඒ දවස් හතළිහම එයා ළඟම හිටියා.

අසූතුනේ ජූලි කලබල වෙලාවේ ලංකාවෙන් පිටව ගිය පසු ඉන්දියාවේදී ඇයට කටුක අත්දැකීම් බොහොමයකට මුහුණදෙන්නට සිදුවිය.

එදා නිත්‍යාට අරගල කරන්නට සිදුවුණේ තමන්ගේ ජීවිතය වෙනුවෙන්ය. නමුත් අද, සිය දරුවාගේ ජීවිතය වෙනුවෙන් අරගල කරන්නට වීම ඇයට ඊට වඩා දහස් ගුණයකින් බරපතළ සිත්තැවුලක් විය.

නෝනාවාට්ටුවේ මම ගෞතම් ළඟ නතරවෙලා ඉන්නකොට අපිව බලන්න මගේ මහත්තයා, නෑදෑයෝ හැමවෙලාවකම ආවා.

එහෙත් නිත්‍යා දුටු විශේෂ දෙයනම් නෝනාවාට්ටුවේ විවිධ ආබාධ හේතුවෙන් ඇතුළත් වී ප්‍රතිකාර කරනා බොහෝ අම්මලාට කිසිවකුගේත් හව්හරණක් නැති බවය. ඔවුන්ගෙන් බොහෝදෙනෙකුගේම ස්වාමිවරු, ලෙඩ දරුවා නිසා බිරිඳත් දරුවාත් හැර වෙනත් අතවල් බලාගෙන සිටි අය වූහ.

දින හතළිහක් නෝනාවාට්ටුවේ සිට ටිකට් කපා ගෞතම් රැගෙන නිවසට යා හැකි යැයි කී පසු නිත්‍යාගේ සිතට අස්වැසිල්ලක් ගෙන දුන්නද එයත් වැඩි කලක් නොරැඳුණේ කුඩා ගෞතම් පෙරපාසලට ඇතුළත් කළ විටය.

අපේ ගෙරදට කිට්ටුවෙන්ම තැනකට පුතාව ඇතුළත් කළා. හැබැයි ටික දවසකින් එතැනින් කිව්වා පුතාව බලාගන්න අමාරුයි, අසාමාන්‍යයයි කියලා.

මේ කාරණය සැලවූ සැණින් නැවතත් නිත්‍යාගේ සතුට අතුරුදන් වුණේය. තම ස්වාමියා සමඟ කතිකාකොට ගෞතම්ව පරීක්ෂා කිරීමට චෙන්නායි බලා යන්නට ඈ තීරණය කළේ කිසිවක් නිවැරැදිව තීරණය කරගත නොහැකි වූ නිසාය.

ඉන්දියාවේ චෙන්නායිවල ඉස්පිරිතාලයකට තමයි අපි ගියේ. දරුවා පරීක්ෂා කරලා බලනකම් අපි එළියේ හිටියේ. මට මතකයි ඒ දොස්තරවරු ඉස්සරවෙලාම මගේ මහත්තයාට කතා කළා. මං එළියේ හිටියේ. දොස්තරගේ පණිවුඩය අහගෙන මගේ මහත්තයා එළියට ආවේ අඬාගෙන.

ගෞතම්ට වැලඳී තිබුණේ අතිශය විරල වර්ගයේ සින්ඩ්‍රොම් තත්ත්වයකි. එය ඔහුගේ මොළය ඇතුළු සමස්ත ස්නායු පද්ධතියටම ඇතිකරන බලපෑම හේතුවෙන් ඔහු ආබාධිත තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැකිය.

ඩොක්ටර්ස්ලා කිව්ව විදියට දරුවා අවුරුදු 10ක් වෙනකල් ජීවත්වෙයිද කියන්නත් බෑ, බැරිවෙලාහරි එහෙම ජීවත්වුණොත් ඒකත් පුදුමයක් කියලා ඔවුන් කිව්වේ.

තම ස්වාමියා කොතෙක් හැඩිදැඩි වුවද දරු සෙනෙහස හමුවේ ඔහුගේ කඳුළු පිටාර ගලනවිට නිත්‍යාට දැනුණේ තමන් අසරණව ඇති බවකි.

මම ඉස්පිරිතාලෙ බංකුවේ පැත්තක ඉඳගෙන කල්පනා කරද්දී මගෙ දිහා හිනාවෙලා බලාගෙන ඇඟිලි උර උර ගෞතම් ඉන්නවා මම දැක්කා.

දරුවන්ගේ කඳුළු හමුවේ අම්මලාගේ වීර්යය සත්සමුදුර තරණය කරන්නට වුව දැඩි වන්නාසේ නිත්‍යාද සිතුවේ දරුවා ජීවත්වන ඉතිරි කාලය තුළ ඔහුට අවශ්‍ය සුපසන් පරිසරය තමන් විසින් කෙසේ හෝ නිර්මාණය කර දෙන බවය.

ඉන්දියාවේ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාලයේ ළමා මනෝවිද්‍යාව පිළිබඳ දැනුම ඇති තම මිතුරකුගේ මාර්ගයෙන් ඒ පිළිබඳව වැඩිදුර විමසන්නට ඇය පටන්ගත්තේ ඒ නිසාය. ඒ අනුව ලංකාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින් ළමා මනෝවිද්‍යාව පිළිබඳව උසස් අධ්‍යාපන ඩිප්ලෝමාවක් හදාරන්නට පටන්ගත්තාය.

එයට මූලිකම හේතුව වූයේ කුඩා ගෞතම්ට අධ්‍යාපනය ලබාදිය හැකි ක්‍රමවත් අධ්‍යාපන ආයතනයක් පිළිබඳව සොයා බැලුවද ලංකාවේ ඇති එබඳු විශ්වාසවන්ත තැනක් නිත්‍යාට හමුනොවීමය.

ඒ අනුව 2006-2007 අතර කාලයේදී නිත්‍යා ගෞතම් සමඟ ඉන්දියාවට ගියාය. ඉන්පසු ඇය කුඩා ගෞතම්ව චෙන්නායිහි Shristi Special School වෙත ඇතුළත් කළාය.

පුතාව ඉස්කෝලෙට ඇතුළත් කරලා ආපහු ගෙදර ගිහින් එයාව එක්කන් යන්න නැවත පැමිණීම කියන්නේ කාලය සහ වියදම් යන දෙකටම අපරාදයක් නිසා පුතාගේ ඉස්කෝලෙ නිම වෙනකම්ම මමත් ඉස්කෝලෙටම වෙලා ඉන්න පුරුදු වුණා.

මේ එක් දිනක ගෞතම්ගේ පාසලේ ගුරුවරියක් නිවාඩු ගොස් තිබූ දිනයකි. ගෞතම්ගේ මව නිත්‍යා එහි දිනපතා පැමිණෙන විශ්වාසවන්ත මවක් වූ බැවින්ද ගෞතම්ගේ පන්තිය නිමවනතුරු පාසලේ රැඳී ඉන්නා බැවින්ද විදුහල්පතිවරිය විසින් නිත්‍යාට අපූරු යෝජනාවක් ගෙනාවාය. ඒ පාසලේ වැඩකටයුතු සම්බන්ධීකරණය කරගැනීමට සහායිකාවක් ලෙස පාසලට සම්බන්ධ වන ලෙසය.

එසේ දින ගෙවෙමින් තිබුණි. ගෞතම් ඉගෙනගන්නා පාසලේම ගුරුවරියක් ලෙස නිත්‍යාද රැකියාව කරමින් සිටියාය.

එසේ සිටි එක් දිනක ඇයට​ ගෞතම් මතක් වී ඇඬුම් ආවාය. ඈ පසෙක සිටියේ තවත් එවැනිම දරුවකුගේ මවකි.

ඇයි ඔයා අඬන්නේ? අඬලා මොනවද ඔයාට ලැබෙන්නේ?

මම මහ ලොකු රස්සාවක් කරන්නෙ නෑ. මම පිරිසුදුකරන්නියක්. හැබැයි මම මගේ දරුවට ජීවත්වෙන කාලයේ හැඩූ කඳුළින් ගෙවෙන්න ඉඩ තියන්නෙ නෑ. ලෝකෙන් හංඟාගෙන මේ දරුවන්ව හදන්න උවමනා නෑ. මේ දරුවන්ට වෙන අයගේ අනුකම්පාව ඉල්ලගන්න ඕනේ නෑ. මෙයාලත් හොඳ කඩවසම් දරුවෝ.

ඇගේ වචන නිත්‍යාගේ සිතට තදින් කා වැදුණි.

ඒ අනුව ඇය ඉන්දියාවේ විවෘත විශ්වවිද්‍යාලයකින් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව තවත් ඩිප්ලෝමා පාඨමාලාවක්ද, එවැනි දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන ක්‍රමවේද පිළිබඳවද වැඩිදුර හැදෑරුවාය.

ගෞතම්ට නිසි පුහුණුව සහ අධ්‍යාපනය ලබාදෙන නිවැරැදි ක්‍රමවේද හැදෑරූ පසුව ඔවුන් නැවත ලංකාවට පැමිණියහ.

ගෙදර ගිහින් නිකන් ඉන්න එපා. ඔයාගේ දැනුම, අත්දැකීම් එක්කරගෙන ඒ දරුවන් වෙනුවෙන් යමක් පටන්ගන්න. ඈට ආදරයෙන් සමුදුන් Shristi පාසලේ විදුහල්පතිනිය කීවාය.

කොටහේන ගෙදරට ඇවිල්ලා ගරාජ් එකේ පොඩි ඉඩක මගේ පුතාට අවශ්‍ය අධ්‍යාපනය, පුහුණු ක්‍රියාකාරකම් පුරුදු කරන්න මම පටන්ගත්ත කාලේ ඒ ආරංචියට අපේ පුතා වගේම තවත් බබාලා දෙන්නෙක් මගෙන් ඉගෙනගන්න ආවා.

ඒ 2009 අවුරුද්දයි. නිත්‍යාගේ ඉගැන්වීම් කුසලතාවයත්, කැපවීමත් පිළිබඳව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වූ වෛද්‍ය අජන්තට දැනගන්නට ලැබෙන්නේ මේ අතරවාරයේදීය.

නිත්‍යා ඔයාගේ හැකියාව, උනන්දුව, ධෛර්යය හරි වටිනවා. මේ කටයුත්ත පාසලක් හැටියට අරඹන්න.

වෛද්‍ය අජන්තගෙන් යෝජනාවක් ආවේය. ඒ අනුව 2009 දී නිත්‍යාගේ Victory Special Studies Center අධ්‍යාපන ආයතනය බිහිවුණේය.

නිත්‍යාගේ පුතා වූ ගෞතම් මෙන්ම තවත් එවැනි දරුවන් කිහිපදෙනෙක් මුලදී පාසලට සම්බන්ධ වූහ. වැඩිකල් නොගොස් ක්‍රමයෙන් දරුවන් පස්දෙනා, හත්දෙනා, දහදෙනා ආකාරයට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් නිත්‍යාගේ පාසල සොයා ආහ.

අධ්‍යාපන කටයුතු ක්‍රමවත්ව කිරීමට ගුරුවරුද බඳවා ගැනුණේය. දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන ආකාරය පිළිබඳ ඒ දරුවන්ගේ දෙමව්පියන්ද විශේෂයෙන් දැනුවත් කරන වැඩමුළුද ආරම්භ විය. කාලය එසේ ගෙවී යද්දී දෙදහස් පහළොව අවුරුද්දේ නිත්‍යාගේ ජීවිතයේ නිත්‍ය සතුට වූ ගෞතම් ඔහුගේ ගමන් චාරිකාවට සමුදුන්නේය. ඒ වසර 14ක් සිය මවගේ සෙවනේ සතුටින් ජීවත්වෙමින්, ජීවත්වීම යනු කුමක්දැයි උගනිමින්ය.

දරුවා අවුරුදු 5ක්වත් ජීවත්වන්නේ නැතැයි කියූ වෛද්‍යවරුන් පවා විස්මයට පත්කරමින් නිත්‍යාගේ ආදරය, කැපවීම, ධෛර්යය ඔහු වසර 14ක් දක්වා ජීවත් කරවීය.

අද ගෞතම් නැතත් නිත්‍යාගේ පාසලේ දොරටුව තවත් බොහෝ ගෞතම්ලා වෙනුවෙන් විවෘතව ඇත.

ඒ අනුව ඔටිසම්, ඉගෙනුම් අපහසුතා සහිත මෙන්ම ADHD තත්ත්වය, ඩවුන් සින්ඩ්‍රොම් සහ CP යන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හතළිහකට ආසන්න සංඛ්‍යාවකගේ මුල් ගුරුමව වීමට නිත්‍යාට වාසනාව ලැබී ඇත. දැන් ඒ පාසල, තවත් ගුරුභවතුන් කිහිපදෙනකුගෙන් සැදුම්ලත්, විශේෂ ආබාධ ඇති දරුවන් Smart දරුවන් ලෙස ගොඩනංවන පාසලකි. එසේ නිත්‍යාගේ පාසලෙන් පිටවුණු දරුවන් නොයෙක් කර්මාන්ත ක්ෂේත්‍රවල රැකීරක්ෂාකොට ‘ලොකු මිස් මේ මගේ පළමුවැනි වැටුප’ කියමින් නිත්‍යා බලන්නට එන්නෝය.

දිවිගමන ඉක්මනින් අවසන් කළ ගෞතම් වෙනුවෙන් සැනසෙන්නට ඊට වඩා යමක් ඇයට අවැසිද?

අනූපමා ගල්කඩවල