Latest News

ජලභීතිකා ඖෂධය හා හෘද රෝග ඖෂධයක් රට තුළ නැහැ

අත්‍යාවශ්‍ය ඖෂධ 14ක් මේ වන විට රටේ නොමැති බව ඊයේ (16) දින ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

අදාළ ප්‍රකාශය තුළින් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, එයින් ඖෂධ දෙකක් හෝ ගෙන්වා ගැනීමට වෛද්‍ය සැපයුම් අංශයට මේ මොහොතේ හැකියාවක් නොමැති බවයි.

මෙරට උද්ගතව ඇති ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කලේ,

“හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශෛල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශියක දැඩි හිඟයක් දැන් පවතිනවා. ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශෛල්‍ය උපකරණ සහ ආහාර සපයන සැපයුම්කරුවන්ට මාස 4කින් ගෙවීම් කර නෑ. ඔවුන්ට ගෙවීමට තිබෙන හිඟ මුදල රුපියල් බිලියන 34ක්. ඒ වගේම රාජ්‍ය ඖෂධ සංස්ථාව ආනයනය කළ ඖෂධවලට මාස 4කින් ගෙවීම් කරලා නෑ. ඒ නිසා ඔවුන්ට අසාදු ලේඛනගත කිරීමට විශේෂ ඖෂධ සමාගම් කටයුතු කරමින් සිටිනවා. කනගාටුම කාරණය තමා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 14ක් හිඟ වී තිබීම. ඉන් දෙකක්වත් සැපයීමට අපගේ වෛද්‍ය සැපයුම් අංශයට මේ මොහොතේ හැකියාවක් නොමැති වීම. එම ඖෂධ දෙක වන්නේ හෘද රෝග සඳහා භාවිතා කරන ඖෂධයක් හා ප්‍රතිජලභීතිකා ඖෂධයක්. ප්‍රතිජලභීතිකා ඖෂධය සඳහා විකල්පයක් නැහැ.” ලෙසයි.