Latest News

නොබෙල් ත්‍යාගයට හිමිකම් කියූ මලාලා විවාහ ගිවිස ගනියි

කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් ද හඬ නැගු නොබෙල් සාම ත්‍යාග ලාබී මලාලා යූසොෆ්සායි විවාහ ගිවිස ගෙන තිබෙනවා.

එම විවාහ උත්සවය ඉස්ලාමීය ‘නිකා’ චාරිත්‍රවලට අනුව, ඉතාමත් චාම් අයුරින්, බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවරදී පවත්වා ඇත.

මලාලා යූසොෆ්සායි සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විවිහ ගිවිස ගැනීමේ උත්සවයේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කරමින් සඳහන්
කර ඇත්තේ තම ජීවන සහකරු ලෙස පාකිස්තාන ජාතික අසර් මලික් තෝරා ගත් බවයි.

පාකිස්තානයේ ස්වාත් නිම්න ප්‍රදේශයේ උපත ලැබූ මලාලා මේ වන විට 24 හැවිරිදි තරුණියක් වන අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් ද වනවා.

මලාලා ජාත්‍යන්තරයේ අවධානය දිනා ගත්තේ 2012 වසරේදීයි.

පාකිස්තානු ජාතික මලාලා යූසොෆ්සායි වර්තමානයේදී සිය මව පියා සහ සොහොයුරා සමඟ බ්‍රිතාන්‍යයේ ජීවත් වේ.

ඒ, බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් පාකිස්තාන් තලේබාන් ත්‍රස්තවාදීන්ට එරෙහිව හඬ නැගීමේ වරදට, තලේබාන් තුවක්කුකරුවකු ඇය ගමන් කරමින් සිටි පාසල් බස් රියට ගොඩ වී ඇය අසලට පැමිණ ඇගේ හිසට වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුවයි.

ඒ වනවිට ඇගේ වයස අවුරුදු 15 ක්.

බරපතළ ලෙස තුවාල ලැබූ මලාලා වැඩිදුර ප්‍රතිකාර සඳහා ලන්ඩනයට ගෙන ඒම සිදුවූයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ උපදෙස් අනුවයි.

මලාලා පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනයට ඇති අයිතිය වෙනුවෙන් හඬ නැගුවේ ගුරුවරයකු ලෙස කටයුතු කරමින් සිටි ඇගේ පියා සමඟ එක් වී බීබීසී උර්දු ගුවන් විදුලි සේවය ඔස්සේයි.

ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් පසු මලාලා එක්සත් ජාතීන්ගේ මානව ක්‍රියාකාරිනියක සහ තානාපතිවරියක ලෙස බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් සහ කාන්තා අයිතීන් වෙනුවෙන් වැඩසටහන් රැසකට සම්බන්ධ වූ අතර, ඇය ලෝක ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වූවාය.

මලාලා නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ 2014 වසරේදීය.

ඒ වනවිට ඇගේ වයස අවුරුදු 17 වන අතර නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ළාබාලතම තැනැත්තා ලෙස සැලකෙන්නේ ද මලාලා යූසොෆ්සායි.

මලාලා විවාහ ගිවිස ගෙන ඇත්තේ පාකිස්තානු ජාතික අසර් මලික් වේ.

අසර් මලික් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ලෙස රාජකාරි කරයි.

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට සම්බන්ධ වීමට පෙර, ක්‍රිකට් සමාජ කීපයක ක්‍රියාකාරී සාමාජිකයකු ලෙසත් සභාපතිවරයා ලෙසත් අසර් මලික් කටයුතු කර ඇත.