උතුරු පළාතේ පාසල් සිසුන් පාසල් යාම අතහරියි
2020 වසරේ රට පුරා පැවති කොරෝනා වසංගතය හේතුවෙන් හා ඊට පසු ව ඇති වූ ආර්ථික ගැටළු හේතුවෙන් උතුරු පළාතේ පාසල් සිසුන් පාසල් අතහැර යාමේ සීඝ්‍රතාව ඉතා ඉහළ ගොස් තිබෙනවා.
උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සිදු කළ සමීක්ෂණයකට අනුව මෙම කරුණු හෙළිව ඇති බව වාර්තා වනවා.
2020 වසරේ දී කොරෝනා ව්‍යවසනය හට ගැනීමෙන් පසුව වයස අවුරුදු 14 හා 16 අතර උතුරු පළාතේ සිසුන් 485 දෙනෙකු පාසල් අධ්‍යාපනය හැර ගොස් විවිධ රැකියාවන් තෝරාගෙන ඇති බව උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. උදයකුමාර් ප්‍රකාශ කරනවා.
2021 වසරේ දී පාසල් හැර ගිය සංඛ්‍යාව 105ක් දක්වා අඩු වී ඇතත් 2022 වසරේ මේ දක්වා කාලය ඇතුළත උතුරේ පාසල් සිසුන් 519 දෙනෙකු මේ වන විට පාසල් හැර ගොස් ඇති බවද අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පෙන්වා දෙනවා.
ආර්ථික අර්බුදය හේතුවෙන් දෙමාපියන්ගේ ජීවනෝපාය අහිමි වී ඇති බැවින් පාසල් සිසුන් පළාත හැර කොළඹ ඇතුළු ප්‍රදේශවලට රැකියා සොයා යාම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කලේ.