විශේෂාංග

දරු දැරියන්ට සාපයක්ම වූ මෙවර සා.පෙ.

කවුරුන් කෙසේ කිව්වද ජීවිතයේ වැදගත්ම කඩයිම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයයි. ඊට හේතුව එහි ප්‍රතිඵලය දරුවෙකුගේ සමස්ත අනාගතයටම ඍජුවම බලපාන බැවිනි. සාමාන්‍ය පෙළ ගොඩදාගන්නා දරුවන් පසුව උසස් පෙළ ලියා ඔවුන්ට රිසි සේ ගමන් කරන්නට ජීවන පාලම් තනාගනිද්දී සාමාන්‍ය පෙළ අසමත් වූ සිසුන්ට වෙන දේ ගැන කතා කරන්නට නොහැකිය. ඊට හේතුව රටේ අධ්‍යාපන ක්‍රමයේ මහා හිඩැසක් එතැන නිර්මාණය වී තිබීමයි.

කෙසේ හෝ පසුගිය 2021 වසරේ දෙසැම්බර් මස පවත්වන්නට තිබූ සාමාන්‍ය පෙළ විභාගයට ‘කොවිඩ්’ හරස්වීම මත එය කල්දැමුනි. ඒ අනුවයි එය පසුගිය මැයි මස 23 වෙනිදා ආරම්භ කර ජූනි 01 වෙනිදා අවසන් කෙරුණේ. ඊට පාසල් අයැදුම්කරුවන් 407,129 ක් මෙන්ම පෞද්ගලික අයැදුම්කරුවන් 110,367 ක් පෙනී සිටි අතර, විභාග මධ්‍යස්ථානය 3,842 ක් සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542 ක් පුරා එය පැවැත්වුණි. නමුත් වෙනදාට කතාබහ නොකළ අන්දමේ සිදුවීම් ගණනාවක්ම මෙවර විභාගය අතරවාරයේ කරළියට ආවේ දරුවන්ගේම කරුමයටය. ඒ නිසාම ඇතැමුන් පැවසුවේ මෙවර සාපෙ නම් දරුවන්ට සාපයක්ම වූ බවයි.

සාමාන්‍ය පෙළ දරුවන්ට මුල්ම බාල්දිය පෙරලුණේ ආණ්ඩුව පැත්තෙනි. ඒ දිගින් දිගටම දිනකට පැය ගණනින් විදුලිය කැපීම නිසාය. දිවා කාලයට එතරම් නොදැනුණත් රාත්‍රී කාලයට නම් එය විභාගයට සූදානම් වූ දරුවන්ට දැඩිව බලපෑ බව රහසක් නොවේ. මෙලෙස දිගින් දිගටම කැපූ විදුලිය කැපිල්ල ගැන මෙවර සාමාන්‍ය පෙළට මුහුණදුන් කෑගල්ල ප්‍රදේශයේ දැරියක් අප වෙත පවසා සිටියේ මෙවැන්නකි.

වෙනදට මං පාඩම් කරන්නේ රෑට. ඒ කියන්නේ හවස හයෙන් පස්සේ වගේ. මොකද උදේට ඉස්කෝලේ ගිහින් දවල් වරුවට ටියුෂන් පන්ති යන නිසා වෙන පාඩම් කරන්න වෙලාවක් නෑ. ඒත් එකදිගට රෑට ලයිට් කපපු නිසා හරියට පාඩම් කරගන්න ලැබුණේ නෑ.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නාක් මෙන් සාමාන්‍ය පෙළ දරුවන්ට ඊළඟ බාල්දිය පෙරලුණේද ආණ්ඩුව පැත්තෙන්මය. ඒ තෙල් අර්බුදයයි. විභාගයට කලින් දිනයේද රට වටාම වූයේ දිගු තෙල් පෝලිම්ය. වේරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ ආර්.විජේරත්න මහතා සිය යතුරුපැදිය රැගෙන තෙල් පෝලිමට ගියේ 23 දා හවස තුනකුත් ගාණටය. ඒ පහුවදාට තම දියණිය විභාගයට රැගෙන යාමට තිබූ නිසාය. පැය ගාණක් තෙල් පෝලිමේ තැපුවද ආපු තෙලක් නැත. අන්තිමේ විජේරත්න මහතා පසුදා සිය දියණිය ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයට එක්ක ගියේ රුපියල් හයසීයක් දී හයර් එකට ගත් ත්‍රීරෝද රථයකිනි.

එසේම සාමාන්‍ය පෙළ විභාගය හෙට කියා තිබියදී එක්වරම තෙල් මිල ඉහළ දැමීම නිසාද ඒ බාල්දියද වැටුණේ විභාගය ලියන්නට උන් දරුවන්ටය. ඒ තෙල් මිල ඉහළ යාම මත පොදු ප්‍රවාහන කටයුතු එක්වරම බාගෙට බාගයක්ම ඇණ හිටීමයි. ඒ නිසා එම දරුවන් එදින පාරේ දිවූ පොල්පටවා තිබුණාක් මෙන් සෙනඟ පටවාගෙන එහෙන් මෙහෙන් ආ බස්රථවල තෙරපීගෙනම ගියේ වෙන කරන්නට දෙයක් නැතිම තැනය. එහෙත් මානුෂීය හදවත් ඇති මිනිසුන් තමන්ට හැකි ආකාරයට එම දරුවන්ට ප්‍රවාහන පහසුකම් ලබාදීම අගය කළ යුතුමය. ඒ අතර ‘ෆ්ලෑෂ්බෑක්’ සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු මහතා ද විය.

මේ පවතින අර්බුදය හමුවේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්න දරුවන්ට ප්‍රවාහන අපහසුතා ඇත්නම් අපේ වෑන් රථය ඒ වෙනුවෙන් දෙන්න අපි ලෑස්තියි. මාරවිල ඉඳන් මීගමුවට යනකල් එහෙම දරුවන් ඉන්නවා නම් දැනුවත් කරන්න.

දුරකතන අංකයක් සහිතව ඒ මහතා එසේ පළකර තිබුණේ තම මුහුණුපොතේය. එසේම උග්‍ර තෙල් හිඟයක් තිබුණද ඇතැම් බස් හිමිකරුවන් විභාගයට යන දරුවන් වෙනුවෙන් තම බස් රථ නොමිලේම ලබාදීම ගැන අගය කළ යුතුමය.

මෙලෙස ආණ්ඩුව පැත්තෙන් සාමාන්‍ය පෙළ දරුවන්ට එකදිගට නඩු වැටෙද්දී සොබාදහමද හැසිරුණේ අන්තිම නරක විදිහටය. විභාගය ඇරඹෙන්නට හෝරා කීපයක් තිබියදී ලංකාව පුරාවටම ඇතිවූයේ අයහපත් කාළගුණ තත්ත්වයකි. දිගින් දිගටම ඇදහැලුණු අධික වර්ෂාව සාමාන්‍ය පෙළ දරු දැරියන්‍ට සැබැවින්ම සාපයක්ම විය.

එසේ ඇදහැලුණු අධික වර්ෂාවේ ප්‍රතිඵලයක් ලෙස පුත්තලම ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථාන කීපයක්ම ජලයෙන් යටවෙන්නේ ඔය අස්සේය. එහි බලපෑම වැඩිපුරම එල්ලවූයේ පුත්තලම ශාන්ත ඇන්ඩෲ විද්‍යාලයට, සහිරා විද්‍යාලයට සහ හින්දු විදුහලටය. එහි විභාගය ලියන්නට ආ දරු දැරියන්‍ට සිදුවූයේ බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත සිදුවීම් පෙළකටම මුහුණ දෙන්නටය.

එදා වැහැලා වැහැලා විභාග මධ්‍යස්ථාන වතුරින් යටවෙලයි තිබුණේ. අපි හිටියේ වෙලාවට විභාගේ තියාගන්නේ කොහොමද කියලා. ඒ වෙලාවේ තමයි හමුදාවේ ළමයි අපේ උදව්වට ආවේ. ඔවුන් නොහිටින්න අපේ ළමයි අසරණයි.

ඒ හින්දු විදුහලේ ගුරුවරියක් කී කතාවය. සැබැවින්ම මිනිසුන් අසරණ වූ පසු කවදත් එතැනට පැමිණියේ හමුදා නිලධාරීන්ය. අප කොතෙකුත් නොපෙනෙන දෙවියන් යැදුවද පෙනෙන දෙවියන් ඔවුන් බව අප මෙතැනදී පවසන්නේ ඒ නිසාය.

එදා උදෙන්ම අපිට ගංවතුරට යටවෙලා ඉන්න සාමාන්‍ය පෙළ දරුවන්ට සහනවැඩ පිලිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා ඉහළින් උපදෙස් ලැබුණා. ලේසි වුණේ නෑ. සමහර විභාග ශාලාවල අඩි තුන හතරක් විතර වතුර පිරිලා. අපි පුළුවන් ඉක්මණට ඒ ශාලාවල තිබුණු ඩෙස් පුටු අයින් කරලා තාවකාලික විභාග ශාලා හැදුවා. හැමතැනම මඩවෙලා. එහෙන් වතුර පිරිලා. සමහර ළමයින්ට, ගුරුවන්ට එන්න බැරුව මඟ අසරණ වෙලා. පස්සේ අපි ඒ අයව අපේ බස්වල එක්ක ආවේ. ඒ බසුත් මඩේ එරුණ අවස්ථා තිබුණා. පුටු තියලා තාවකාලික පාලම් හදලා තමයි ගුරුවරු ළමයි විභාග ශාලා ඇතුළට එක්කන් ගියේ. වටේ පිටේ මිනිස්සුත් අපේ උදව්වට ආවා.

ඒ ඊට සහභාගී වූ හමුදා නිලධාරියෙක් ‘ධරණී’ වෙත එම අත්දැකීම ගැන කියූ කතාවයි. මේ අතරතුරේ හරි අපූරු සිදුවීමක්ද දක්නට ලැබුණි. ඒ දණක් වතුර පිරී ගිය මාර්ගයේ හමුදා නිලධාරියෙක් මුස්ලිම් දරුවෙක් තම කරමත තබාගෙන විභාග ශාලාව වෙත රැගෙන යන ආකාරයයි. ඒ පුත්තලම සහිරා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන මුස්ලිම් දරුවෙකි. එම දසුන කාගේත් ඇස්වලට කඳුළු නැගුනු මොහොතක්ම විය.

මේ අතර ඇතැම් ප්‍රදේශවල දරුවන් විභාග ශාලා කරා පැමිණියේ මහ වැස්සට තෙමීගෙනය. ඔවුන්ගේ ඇඳුම්වලින් වතුර බේරෙමින් තිබුණි. සපත්තු තුළ පිරුණු මඩ වතුරය. බෑග්, පොත්පත් දියබත් වී ගොස්ය. එහෙන් සීතලට වෙව්ලයි. ඔවුන්ට විභාගයක් ලියන්නට තරම් මානසිකත්වයක් තිබුණාද යන්න පවා ඒ මොහොතේ අපට සිතුණි. තවත් දරු දැරියන් තම ජීවන කඩයිම පසුකිරීමට බෝට්ටුවලින් එද්දී හිනිදුම ප්‍රදේශයේ දරුවන් පිරිසක් දණවටක් වතුර පිරි ඇල මාර්ගයක් තරණය කරමින් විභාග ශාලා කරා පැමිණි බවක් අපට ආරංචි විය.

විභාගය නිමාවෙන්නට දිනක් දෙකක් තිබියදී අපිට එක්තරා පාසලක දරු දැරියන් කුඩ ඉහළාගෙන විභාගය ලියන අයුරුද දැකගත හැකිවිය. ඒ අධික වර්ෂාව නිසා අදාළ විභාග ශාලාවේ වහල මත ජලය කාන්දු වී ඒවා ඩෙස් පුටුමතට ඇදවැටීම නිසාය. තවත් විභාග ශාලාවක් මුළුමනින්ම වතුරෙන් යටවී තිබුණි. එහෙත් එහි විභාගයද පැවැත්වුණු අයුරු දකින්නට ලැබුණි. නිකන් හෝ උත්තර පත්‍රයක් බිම වැටුණා නම් කියා අපට සිතුණේ ඒ  අතරය. ඇතැම් දරු දැරියන් විභාගයට මුහුණදුන්නේ ඒ තරමටම අසරණවෙමිනි. ඒ අසරණකමට මුහුණුපොතේ කවියක් ලියැවී තිබුණේ මෙසේය.

 

සීතලට ගැහි ගැහී ලියන ඔය පේපරේ

ගොඩක් දේ කියනවා ඒ තමයි ජීවිතේ

වට්ටගන් නැතුව බිම ලියාපං උත්තරේ

මහ වැස්සත් පරාදයි උඹලාට මේ සැරේ

 

ලංකාවේ හතරවටින්ම මෙවන් දුක්බර කතා ඇසෙද්දී, පෙනෙද්දී නාච්චදූව හිදෝගම තලුවිල සේන මහා විදුහලේ විභාග ශාලාවක් තුළදී සිසුවියකට ලිංගික අතවරයක් කළ විභාග පරීක්ෂකවරයෙකු ගැනද අපට දැනගන්නට ලැබුණි. එසේම එළැඹෙන වසරේ සාමාන්‍ය පෙළ ලියන්නට සිටි පාසල් දැරියකගේ මළසිරුරක් පාලු ළිඳකින් ගොඩ එන්නේද මේ අතරය. ඒ වව්නියාව ප්‍රදේශයේ මරක්කාරම්පලෙයි ග්‍රාමයේ පදිංචි දහසය හැවිරිදි සිසුවියකගේය. පොලිසිය සැක කරන්නේ ඒ දැරියම ළිඳට පැන සිය දිවි හානිකරගෙන ඇති බවටය. ඔය අල්ල පනල්ලේ විභාගයක් කට උඩට එනවිට කවදත් එළියට එන දරු දැරියන් අල්ලේ නටවන බලගතු පෑන් පැන්සල්ද මෙවරත් ජයටම රට වටේ බෙදා දී තිබුණි.

කෙසේ හෝ දැන් සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී තිබේ. එහෙත් වෙනදාට විභාගයක් අවසන් වූ පසු ඊට මුහුණදුන් දරු දැරියන්ට තිබූ සැහැල්ලුව මෙවර සාමාන්‍ය පෙළ ලියූ දරු දැරියන්ට තිබේදැයි කිව නොහැකිය. අප මුලදීම මෙවර සාමාන්‍ය පෙළ විභාගය සාපයකටම අහුවූ සාපෙයක් ලෙස හැඳින්වූයේ ඒකය. එහෙත් විදුලි අර්බුදය, තෙල් අර්බුදය, ප්‍රවාහන අර්බුදය, අයහපත් කාලගුණය පමණක් නොව එච්චර තැලී සිටි දරුවන්ටම වින කටින්නට ගිය ඇතැම් මිනිසුන් මැදද මෙවර විභාගය ලී දරුවන්ට හරියන්නම ඕනෑය. මන්ද ඔවුන් මෙවර ලිව්වේ විභාග ඉතිහාසයේ තිබූ දුෂ්කරම විභාගයටය. ඒ නිසා එකී සියලු දරුවන්ට ප්‍රතිඵල එනදාට කටපුරා සිනාසෙන්නට ලැබේවායි ‘ධරණී’ අපි එක සිතින්ම ප්‍රාර්ථනා කරමු.

 

රුවන් එස්.සෙනවිරත්න