ආධුනික කොස්තාපල්වරියට අතවර කළ OIC යළි රිමාන්ඩ්
ලිංගික අතවර කළැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන ගන්දර පොලීසියේ ස්ථානාධිපතිවරයා ජනවාරි මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් ඊයේ (28) එම නියෝග කර තිබෙනවා.
කෙසේවෙතත් බන්ධනාගාරගත කර සිටින සැකකාර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන විජයවර්ධන මහතා ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් නොකෙරුණා.
ඒ අසනීප තත්ත්වයක් නිසා ගාල්ල කරාපිටිය, රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර නිලධාරීහු අධිකරණයට දැනුම් දීම හේතුවෙන්.
මෙහිදී මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුනි කේශලා බෝගහවත්ත මහත්මිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ, එම සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා, අතවරයට පත් ආධුනික පොලිස් කොස්තාපල්වරිය අයුතු ලෙස සිරකර තබාගෙන බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවත් ඔහු අත්අඩංගුවේ සිටිය දී දුරකථන ඇමතුම් ලබාගෙන සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකර ඇති බවයි.
මෙම සිදුවීම පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට පත්කරන බවත් මහජනතාව මේ දෙස විමසිල්ලෙන් පසුවන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් බෝගහවත්ත මහත්මිය අධිකරණයට සඳහන් කළා.
අතවරයට පත් මොහොතේ දී අදාළ කොස්තාපල්වරිය සිය පෙම්වතාට ඒ බව දැනුම්දී ඇති බවත් ඇය මේ වනවිට දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවත් බෝගහවත්ත මහත්මිය අධිකරණයට පවසා තිබෙනවා.
ගන්දර පොලීසියේ ස්ථානාධිපති නිල නිවසේ දී ඉකුත් 24 වනදා අතවරය සිදුව තිබුණු අතර, එදින රාත්‍රියේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.