Latest News

කුඩා දරුවන්ට ඔමික්‍රෝන් වැළඳුනොත්?

පවතින වසංගත තත්ත්වයත් සමඟ පැතිරෙනු ලබන ඔමික්‍රෝන් ප්‍රභේදයට කුඩා දරුවන් පහසුවෙන් ගොදුරු වීමේ හැකියාවක් පවතිනවා.

දරුවන්ට මේ සඳහා තිබෙන ප්‍රතිශක්තිකරණ එන්නතක් නොමැති නිසා එය තවත් අවදානම් තත්ත්වයක් වී තිබෙනවා.

එම නිසා මෙම රෝගයට ගොදුරු වන කුඩා දරුවන් බේරාගන්නේ කොහොමද? මෙම රෝගී තත්ත්වය කුඩා දරුවන්ට එතරම් බරපතළ නොවන්නේද? බරපතළ විය හැකි දරුවන් සිටිනවාද? යන්න සම්බන්ධව මාරවිල මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසංග රාජපක්ෂ මහතා අනාවරණය කර තිබෙනවා.

කෙසේවෙතත් කොවිඩ් 19 රෝගය වැඩිහිටියන්ට වඩා දරුවන්ට සැදීමේ ප්‍රවණතාව පහළ මට්ටමක පවතින අතර රෝගයට ගොදුරු වුවත් දරුවන්ට ඇතිවන සංකූලතා ද අඩු බවයි වෛද්‍යවරයා පවසන්නේ.

එහෙත් යම් යම් ගැටලු සහිත දරුවන් හට මෙම රෝගය වැළඳීමේ අවදානම වැඩි වන අතර කොවිඩ් රෝගය බරපතළ ලෙස වැඩිවීමේ හෝ සංකූලතා ඇතිවන දරුවන්ද ද සිටිනවා.

එනම්,දීර්ඝ කාලීන ස්වසන ආබාධ ඇති දරුවන්.
දීර්ඝ කාලීන ස්නායු දුර්වලතා ඇතිව උපත ලබන දරුවන්. මෙම දරුවන්ට කෑම ගිලීම වැනි දෑ අපහසුය. හුස්ම ගැනීම පවා අපහසු වේ. එය බරපතළය.
ප්‍රතිශක්ති පද්ධතියේ දුර්වලතා සහිතව බිහි වූ දරුවන්.
සංජානනීය ප්‍රතිශක්ති ඌනතා රෝගවලින් පෙළෙන දරුවන්.
දිගුකාලීන ඖෂධ ගැනීමට සිදුවන දරුවන්.
බරපතළ හෘද රෝගවලින් පෙළෙන දරුවන්.
බරපතළ වකුගඩු රෝග සහිත දරුවන්. එනම් උපතින්ම වකුගඩු අක්‍රියතාවෙන් පෙළෙන දරුවන්ය.
උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්.

ඒ අනුව මෙවැනි සංකූලතා ඇති දරුවන්ට කොවිඩ් රෝගය වැළඳීමේ අවදානම වැඩි අතර වයස අවුරුදු 01 ට වඩා අඩු දරුවන්ට මෙම රෝගය වැළඳුනහොත් අවදානම් සහිත වනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ උණ, ඇඟපත වේදනාව, තෙහෙට්ටුව, කැස්ස, උගුරේ වේදනාව. සෙම්ප්‍රතිශ්‍යාවයි.

මේ හැර ඇතැම් දරුවන්ට උදර වේදනාව සහ වමනය, පාචනය ඇති වේ.

ඔමික්‍රෝන් පැතිර යාම සමඟ දරුවන්ට මෙම රෝගය වැළඳීමෙන් දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් නම් උණ වලිප්පුවයි.

උණ ගැනී පැය කිහිපයකින් දරුවාට වලිප්පුව සෑදී රෝහල් ගත කරන අවස්ථා බහුලව දක්නට ලැබෙනවා.

කෙසේවෙතත් ඉහත සඳහන් රෝග ලක්ෂණ පවතියි නම් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාව(රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව) හෝ PCR පරික්ෂාවට යොමු කළ යුතු වනවා.

ඉහත පරීක්ෂණවලට අමතරව රෝග ලක්ෂණ අනුව පහත පරීක්ෂණ සඳහා ද යොමු කරනු ඇත.

පූර්ණ රුධිර පරික්ෂාව (FBC)
CRP පරික්ෂාව
X කිරණ පරික්ෂාව
මේ හැර රෝග ලක්ෂණ අනුව තවත් පරීක්ෂණ කරයි.

දරුවාගේ පරීක්ෂණ මත කොවිඩ් පොසිටිව් බව දැනගතහොත්,වහාම වෛද්‍ය උපදෙස් ගත යුතුයි.

මේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් ලබාගත හැකි අතර එසේ කළ යුත්තේ මෙම පරීක්ෂණ පෞද්ගලිකව කර රෝගය හඳුනා ගැනීම සිදුකළ අවස්ථාවන්හිදී යි.

කොවිඩ් පොසිටිව් දරුවෙකු නිවසේ තබාගන්නේ නම්, දරුවා හට නිවසේ සිටින අනෙක් නිරෝගී අයගෙන් වෙන් කළ යුතු වනවා.

දරුවා බලා ගැනීමට වෙනම කෙනකු තැබිය යුතු අතර ඒ අය ද පවුලේ සෙසු නිරෝගී අයගෙන් වෙන්වී සිටිය යුතුයි.

දරුවා හට උණ තිබේ නම් වයස අනුව පැරසිටමෝල් පැය හයකට වරක් නියමිත මාත්‍රාවෙන් දිය යුතු වනවා.

දරුවාට වමනය, පාචනය හෝ උණට අමතරව වෙනත් රෝග ලක්ෂණ ඇත්නම් හෝ විශේෂයෙන් හුස්ම ගැනීමේ අපහසුතා හෝ අසාමාන්‍ය නිදිමත තිබේ නම් පමා නොකර රෝහල් ගත කළ යුතුයි.

මෙහිදී දරුවාගේ වයස අනුව ප්‍රමාණවත් ලෙසට ජලය හා ආහාර දිය යුතු අතර මවුකිරෙන් වැඩෙන දරුවකු නම් නියමිත ලෙසට මවුකිරි ලබා දීම අනිවාර්යය වනවා.