රට වැහුවා කියලා ඔමික්‍රොන් ප්‍රභේදයෙන් ගැලවෙන්න බැහැ
ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන දකුණු අප්‍රිකානු ප්‍රභේදය වන ඔමික්‍රොන් වෛරසයෙන් ගැලවීම සඳහා රට වසා දැමීම පිළියමක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එස්. එච්. මුණසිංහ පවසනවා.
සෞඛ්‍ය ලේකම්වරයා මෙම අදහස් දැක්වූයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ මේ වන විට (02) පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙම වෛරසයේ බරපතළභාවය අවබෝධ කරගෙන පොදු ජනතාව වඩාත් වැඩි වගකීමකින් හැසිරිය යුතු බවත් විශේෂයෙන් එළඹෙන උත්සව සමයේදී මේ තත්ත්වය හොඳින් සිහි තබාගෙන කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළා.
මේ අතර ඇතැම්විට ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මේ වන විටත් ලංකාව තුළ පැතිර ගොස් තිබිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
එම කොවිඩ් ප්‍රභේදය මෙරටට පැමිණිම සියයට සියයක් සම්පූර්ණයෙන් නවතාලිය නොහැකි බව ද වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා.
ඔහු සඳහන් කළේ, මීන් පෙර ද ලෝකයේ ව්‍යාප්ත වු කොවිඩ් වෛරස ප්‍රභේදය ලංකාවට පැමිණිම වළක්වා ගැනීමට නොහැකි වු බවයි.
එමෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරටට පැමිණිය හොත් එය ව්‍යාප්තවීම පාලනය කර ගැනිම සඳහා විවිධ ක්‍රම අනුගමනය කිරීමට සිදුවනු ඇති බව ද වෛද්‍යවරයා මෙහිදී සඳහන් කළා.
“මේ ප්‍රභේදය එන්නේ ලේබල් කරගෙන කොඩි ගහගෙන නෙමෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නෙත් අපිට ප්‍රායෝගිකව රටවල්වලට භාවිත කළ හැකි එක ක්‍රමයක් තමා රට සම්පූර්ණයෙන් ම පිටස්තර පුද්ගලයින්ට වසා තබන එක. නමුත් අපි දන්නේ නෑ මේ වෙනකොටත් ඒ ප්‍රභේදය ලංකාවට ඇවිල්ලා අපිට තාම හොයා ගන්න බැරි වුණා ද කියලා. කිසිම රටකින් කිසිම පුද්ගලයෙකු එන්න බැරි වෙන්න අපි මේකට රැකවල් දැම්මත් මේක සමහරවිට මේ වෙනකොටත් ලංකාවේ පැතිරිලා තියෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි දන්නවා එවැනි සීමාවන් කිරීම කොහොත්ම ප්‍රායෝගික නෑ. ගුවන් තොටුපොළින් පැමිණෙන සියලුම මගීන්ව ජාන විශ්ලේෂණය කළොත් පමණයි අපිට මේ ප්‍රභේදය සමග පැමිණෙන අය ඒ මොහොතේ පැමිණෙන අය හඳුනාගන්න පුළුවන් වෙන්නේ. මේක ඉතාම වියදම් අධික, කාලය ගතවන ඒ වගේම අපහසුවෙන් කරන්න සිදුවෙන පරීක්ෂණයක්. ඒ නිසාම අපි කරන්නේ. ගුවන් තොටුපොළින් පැමිණෙන අයගේ සැකකටයුතු සහ අධි අවදානම් කණ්ඩායම්, ඒ කියන්නේ එන්නත්කරණය කරලා නැති වෙනත් අවදානමක් තියෙන පුද්ගලයින් හඳුනාගත්තොත් ඒ අයගේ සාම්පල් යම් ආකාරයකට ජාන විශ්ලේෂණය සඳහා තෝරා ගැනීමට අවශ්‍ය ස්ථාන වෙත යොමුකරනවා. ඒ හැරුණම පොදුවේ ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගුවන් තොටුපොළේ අරන් තියෙනවා. කොවිඩ් -19 රෝගීන් ලංකාවට පැමිණීම වළක්වන්නට. ගුවන් තොටුපොළ හරහා පැමිණීමට තියෙන ඉඩ සියයට සියයක් නැති කරන්න බැහැ. ඒ නිසා තමයි මීට කලින් ප්‍රභේදත් ලංකාවට ආවේ.”