ඔන්ලයින් ක්ලාස් එකේ ටීචර් තාත්තා එක්ක නටපු නාඩගම පුතා වීඩියෝ කරලා
අද වනවිට දරුවන්ගේ අධ්‍යාපනය කොරෝනා වසංගතයේ ලොකුම බිල්ල වී හමාරය. වසර දෙකකට ආසන්න කාලයක් සියලුම දරුවන් අධ්‍යාපන කටයුතු සිදුකළේ ඔන්ලයින් ක්‍රමයටය. මෙය දරුවන්ට, දෙමව්පියන්ට පමණක් නොව ගුරුවරුන්ටද තරමක් අපහසු කාර්යක් බව රහසක් නොවේ. නමුත් මේ ලියමන ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය හෝ එහි අසීරුතා ගැන නම් නොවෙයි. දරුවාගේ ඔන්ලයින් පන්තියට මුවා වී පියා සමඟ නොහොබිනා ඇසුරක් පැවැත්වූ ගුරුවරියක ගැනයි. එසේම මේ ලියමනේ සමස්ත ගුරුවරුවරියන්ට නිගා කිරීමේ අරමුණක් නැති බවද පැහැදිලිවම කිව යුතුයි. මෙවැනි දරුවන් සිටින දෙමව්පියන්ට වියහැකි දේ පිළිබඳව අවබෝධයක් ලබාදීමට පමණක් මේ සත්‍ය කතාව උපයෝගී කරගැනීමයි අපේ අරමුණ. (නම් පමණක් මනඃකල්පිතය)
නුවනුත් ප්‍රියංගිත් වයස තිස්තුනත්, හතළිහත් අතර අඹුසැමි යුවළකි. ඔවුන් දෙදෙනා හැරුණුකොට නිවසේ ජීවත් වූයේ අවුරුදු දහතුනක් වයසැති පුතු රොශේන් සහ ප්‍රියංගිගේ මව හේමලතා පමණි. ප්‍රියංගි වෘත්තියෙන් හෙද නිලධාරිනියක වූ අතර, නුවන් පුද්ගලික ආයතනයක රැකියාවක් කළ අයෙකි. එහෙත් මෑතකදී සිට යළි හිස එසවූ කොරෝනා උවදුරත් සමඟින් නුවන්ද රැකියාව කළේ නිවසේම සිටය. එනිසාම වෙනදාටත් වඩා රොශේන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට නුවන්ට හැකියාව තිබිණි.
මේ දක්වා වසර දෙකකට ආසන්න කාලයක් ඔන්ලයින් ක්‍රමයට පමණක් අධ්‍යාපන කටයුතු කළ රොශේන්ට එපමණක් ප්‍රමාණවත් නොවන බව නුවන්ගේ මතය විය. ඒ පිළිබඳව ප්‍රියංගිගේත් මතය විමසූ පසුව රොශේන්ට ඉගැන්වීම සඳහා ගුරුවරියක් නිවසට ගෙන්වීමට ඔවුන් තීරණය කළහ. ඒ සඳහා ඔවුන් තෝරාගත්තේ රොශේන්ට ඔන්ලයින් පන්ති පැවැත් වූ ගුරුවරියමය.
“ඔයා හැමදාම පුතාගේ වැඩවලටයි, රස්සාවටයි දෙකටම මහන්සි වුණානේ. ගෙදර ඉඳන් වැඩ කරන ටිකේ පුතා ගැන මං බලාගන්නන්. ඔයා හිත නිදහසේ රස්සාව කරගන්නකෝ. අනික මේ දවස්වල ඉස්පිරිතාලවලදී හුස්මක් ගන්නවත් වෙලාවක් නෑනෙ.”
නුවන් එසේ කීවේ මේ දිනවල රෝහල් ධාරිතාව ඉක්මවූ කොරෝනා රෝගීන් සමඟින් ඔට්ටු වන රෝහල් කාර්යය මණ්ඩල සේවකයින්ගේ වෙහෙස මහන්සිය ගැන හොඳින් දන්නා නිසා විය යුතුය.
ප්‍රියංගිද හිස වනමින් එය අනුමත කළේ තමාව තේරුම්ගත් සැමියා ගැන උපන් ප්‍රේමයත් සමඟය.
කල්යත්ම රොශේන්ටත් වඩා ඔහුගේ ඔන්ලයින් පන්තිවලට වද වූයේ නුවන් ය. නිවසේ පැවැත්වෙන පන්තියේද දිනය, වේලාව තිතට සටහන් කරගෙන ඒ ගැන රොශේන්ට මතක් කිරීමට නුවන් වග බලාගත්තා පමණක් නොව රොශේන්ට ඔළුව කැක්කුමට හෝ පන්තියක් මගහැරීමට ඉඩ නොදුන්නේය. විටෙක එය ඕනාවට වැඩි යැයි ප්‍රියංගිට හැගුනද, දරුවාගේ අධ්‍යාපනය නිසාවෙන් ඇය එයට මැදිහත් නොවූවාය.
“ටික දවසක් යද්දී ඔන්ලයින් පන්තියට ඉන්න බෑ කියලා පුතා මුරණ්ඩු වෙන්න පටන් ගත්තා. ඒ වගේම ටීචර්ව ගෙදරට ගෙන්නන්නත් එපා කියලා මාත් එක්ක පොර ඇල්ලුවා. ඒකට හේතුව මොකද්ද කියලා ඇහුවහම ‘අම්මා දන්නෙ නෑනෙ සිද්ධ වෙන දේවල්, මමනේ දන්නේ’ කියලා එකට එක කියන්න පටන් ගත්තා.”
එහෙත් පුතුගේ මෙම හතරබීරි කතාවල තේරුම වටහා ගැනීමට ප්‍රියංගිට හැකිවුණේ නැත. මෙය දරුවාගේ හිතේ ඉගෙනීමට ඇති මැලිකමක් යැයි සිතූ ප්‍රියංගි මුලදී මේ පිළිබඳව එතරම් තැකීමක් නොකළාය.
කොවිඩ් නිසාවෙන් දිවා රෑ නොබලා රැකියාවට කැපවී සිටි ප්‍රියංගිට නිවසේ රැඳී සිටීමට කාලවෙලාවක් නැතිතරම්ය. ඒ නිසා ගුරුවරිය නිවසට ආ පසු ආගන්තුක සත්කාර කිරීමටද සිදුවූයේ නුවන්ටය. එතකින් නොනැවතී රොශේන් පැවරුම් නිම කරන තුරු ආගිය තොරතුරු කතාබහ කිරීමටද ඔවුහු අමතක නොකළහ. පසුව එම කතාබහ පෙම් පලහිලව්වක් දක්වා දුරදිග ගියද ප්‍රියංගිගෙන් එය සඟවා සිටීමට තරම් ඔවුන් දෙදෙනාම සූක්ෂම වූහ.
“අම්මේ ටීචර් දැන් මට විතරක් තනියම රෑට ඔන්ලයින් පන්තියක් දාගෙන. මට බෑ ඒකට ඉන්න. අම්මා කියන්නකෝ ඒක වෙනස් කරන්න කියලා.”
රාත්‍රි සේවයේ සිට පැමිණි ප්‍රියංගිට රොශේන් කියා සිටියේ තරමක ආවේගශීලීවය. ප්‍රියංගි ඒ පිළිබඳව නුවන්ගෙන් විමසා සිටියද ඔහු කියා සිටියේ රොශේන් අනිත් දරුවන්ට වඩා දුර්වල වී ඇති නිසා ගුරුවරිය එම තීරණය ගන්නට ඇති බවය.
“අම්මේ ටීචර් දැන් උගන්නන්නේ මටද තාත්තටද?”
දිනක් රොශේන් ප්‍රියංගිගෙන් විමසා සිටියේ කොලොප්පමට ඇද කරමින්ය. එකී කතාවේ තේරුම කුමක්දැයි විමසා සිටි ප්‍රියංගිට රොශේන් කියාසිටියේ තම ගුරුවරිය තමන්ට උඩින් පල්ලෙන් කුමක් හෝ පැවරුමක් ලබා දී තාත්තා සමඟින් ගෙයි මුළුවල උකුළු මුකුළු කරන බවය.
එය ඇසූ ප්‍රියංගි රොශේන්ගේ කන මිරිකා දඬුවම් කර, මතුවට එසේ නොකියන ලෙස තරයේ අවවාද ද කර සිටියාය.
එහෙත් වර්තමානයේ දරුවන් තාක්ෂණයතින් වැඩිහිටියන්ට වඩා දියුණු බව ඔබට අමුතුවෙන් කිවයුතු නැත. කෙතරම් කීවත් තමාට සවන් නොදෙන මවටත්, තමාට මුවාවී නොමනා ලෙස හැසිරෙන පියාටත්, ගුරුවරියටත් කදිම පාඩමක් ඉගැන්වීමට සිතූ රොශේන් එතැන් පටන් සිදු වූ සියල්ල රහසිගතව වීඩියෝ කළේය. එපමණක් නොව රාත්‍රියේදී පියා සහ ගුරුවරිය අතර හුවමාරු වන කෙටි පණිවිඩද පිටපත් කර (ස්ක්‍රීන් ශොට්) ගත්තේය. එතැනින් නොනැවතුණු රොශේන් ඒ සියල්ල අම්මාගේ ජංගම දුරකතනයට යැවීමටද කටයුතු කළේය.
හොඳම හරිය එතැන් සිටය. දෙලොව රත් වූ ප්‍රියංගි ගෙදර ආවේ කාලි අම්මා ආවේශ වූ ගානටය. රොශේන් එවූ වීඩියෝව සහ කෙටි පණිවිඩ සියල්ලම පෙන්වමින් ප්‍රියංගි ගේ මැද සාලයේ ආරූඪ වෙද්දී, නුවන් ගොතගසන්නට වූයේ කට උත්තර නැතිවය.
තමන්ට කුමක් වුවද, එවැනි දර්ශනයක් රූගත කරද්දී තම දරුවාට කුමක් සිතෙන්ට ඇද්දැයි සිතුන වාරයක් පාසා පොර කුකුලන් මෙන් පැටලුණු ඔවුන් එතැන් සිට එකම වහලය යට ආගන්තුකයින් ලෙස දිවි ගෙවූහ.
හුළඟට කොස්ස වැටුණද ප්‍රියංගිගේ කතාව කෙළවර වූයේ නුවන්ගේ කෙරුවාව ලුණු ඇඹුල් ඇතුව මතක්කර දුන් පසුවය.
පසුව තම දරුවන්ගේ මෙම ගැටළුව විසඳීමටත්, උපදෙස් ලබා ගැනීමටත් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ඇමතුවේ ප්‍රියංගිගේ මව වන හේමලතාය.
පසුව උපදේශන සේවා මගින් ඔවුන්ගේ පවුල් ජීවිතය යළි යථා තත්ත්වයට පත්කිරීම ගැනත්, මෙවැනි සිදුවීම් වළක්වාගැනීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සහකාර උපදේශන නිලධාරිනී භාග්‍යා අබේසිංහ මෙසේ කියා සිටියාය.
“කිසිම වෙලාවක හිතන්න එපා දරුවො පොඩියි, එයාලට පේන්නෙ නෑ, තේරෙන්නෙ නෑ කියලා. මොකද අපේ සමාජයේ ඉන්නේ වැඩිහිටියන්ටත් වඩා ඉස්සරහෙන් ඉන්න තාක්ෂණය ගැන හොයාගෙන යන දරු පරම්පරාවක්. අපි කියන දේම අහලා උඩ බලන් ඉන්න දරුවො හිටියා නම් අපි තාමත් ඉන්නෙ ගල් යුගයේ. මේ වගේ නොමනා දේවල් දැක්කහම ඒ අයගෙ හිත්වල ගුරුවරුන්ට, දෙමව්පියන්ට තියන ගරුත්වය නැතිවෙලා යනවා. අන්තිමට ඒ අය ඉබාගතෙ යනවා. ඒක නිසා මනෝවිද්‍යා උපදේශකවරියක් විදිහට මං කියන්නෙ දෙමව්පියො වුණහම මීට වඩා වගකීමෙන් හැසිරෙන්න ඕන කියලා. අනිත් දේ තමයි ලෝකෙට පේන්න කළත් හොර රහසේ කළත් වැරැද්ද වැරැද්දමයි. ඒ නිසා අම්මා, තාත්තා කියන තනතුරු දෙක ජීවිතේට හම්බුණාට පස්සේ දරුවෝ වෙනුවෙන් හිතට එකඟව වැඩ කරන්න පුළුවන්කමක් දෙමව්පියන්ට තියෙන්න ඕන. එහෙම බැරි අය වෙන මොන තනතුරට සුදුසු වුණත් අම්මා, තාත්තා කියන තනතුරුවලට සුදුසු නෑ.”
ලිහිණි මධුෂිකා