මුලදි නෝක්කාඩු කිව්වට දැන් ගෙදර අයත් මට උදව් කරනවා
මෙරටදී උපාධියක් හිමිකරගත් තරුණියක් පිටරටට කැවුම් විකුණන ව්‍යාපාරයක් පටන්ගත් බව කියැවෙන ලිපියක් පසුගිය දිනෙක පත්තර පිටුවක පළ වී තිබිණි. නමුත් ඒ ලිපිය කියවූවන්ගෙන් කැවුම් බදින උපාධිධාරිනියට ගුණ වැනුම් වෙනුවට වැඩිමනක් ලැබී තිබුණේ ඇනුම් බැනුම්ය. කෙසේනමුත් ඒ කතාවලට නොසෙල්වුණු ඈ මේ වනවිට රටවල් ගණනාවකට කැවිලි අපනයනය කරන මහා පරිමාණ ව්‍යාපාරිකාවක් බවට පත්ව ඇත.
උපාධියක දැනුම අරන් එවැනි අත්හදාබැලීම් කරන එවැනි නිර්මාණශීලී ව්‍යවසායිකාවන් අපේ රටේ තවත් නැතුවාම නොවේ. මේ කියන්නට යන ඔසිකාගේ කතාවද ඊට උදාහරණයකි.
දිනක් ගලවා දැමූ දොර පියනක් නිවසේ මුල්ලක තිබෙනු දුටු ඔසිකාට අලුත් අදහසක් පහළ වී තිබේ. ඒ අදහස අනුවයි ඈ එහි කොටසක් කපා, තීන්තෙන් නෙළුම් මල් දෙකක් සිතුවම්කොට, ඒ මැදට ‘නමෝ බුද්ධාය’ යන වැකිය එක්කළේ. මුදල් ඉපයීමේ අරමුණකින් නොකළත් නමෝ විත්තියෙන් ඇඳි එම සිතුවම ඔසිකාව අලුත් බලාපොරොත්තුවක් වෙත රැගෙන ගියාය. ඒ නිවසට ආ අයෙක් ඇගේ එම සිතුවම දැක රුපියල් දෙදහසක මුදලට එය මිලදීගෙන යාමත් සමඟිනි.
“ඔය සිදුවීම වුණේ 2020 අවුරුද්දෙ. ඒ කාලය වෙද්දි මම මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් කජුගම මධ්‍යස්ථානයෙන් අවුරුදු දෙකක චිත්‍ර හා මූර්ති පාඨමාලාවක් හදාරලයි හිටියේ. මූර්ති පැත්තෙන් ගැහැනු කෙනෙකුට ඉදිරියට යන්න ටිකක් අමාරු නිසා මම ලී වල චිත්‍ර ඇඳලා බැලුවා. එහෙම ඇඳපු දොර ලෑලි චිත්‍රයට ඇගයීමක් ලැබුණට පස්සේ මම කල්පනා කළා තවත් සිතුවමක් කරන්න. කොහොමද ඒ සිතුවම කරන්නේ කියලා ඊළඟට මම කල්පනා කරමින් ඉඳිද්දී දවසක් දැක්කා කෙනෙක් මහෝගනී ප්ලේට් (තැටි) හදලා විකුණනවා. මට අදහසක් ආවා ඒ වගේ පිඟානක සිතුවමක් ඇඳලා බලන්න.”
ඉන්පසු මහෝගනී තැටිවල සිතුවම් ඇඳි ඈ එම නිර්මාණ ප්‍රදර්ශනය සඳහා මුහුණුපොතේ ඉඩක් වෙන් කරගත්තාය.
“ඇත්තටම එහෙම දැම්මට මුල් කාලේ ඒකට කවුරුත් ලයික් එකක්වත් දාලා තිබුණේ නැහැ. ඔය විදියට අවුරුද්දක් විතර ගෙවෙද්දී පේජ් එකට මැසේජ් එකක් ඇවිත් තිබුණා ඒ නිර්මාණය ගන්න කැමති කෙනෙක්ගෙන්. ඊටපස්සේ තමයි මම දිගටම මහෝගනී පිඟන් මත සිතුවම් අඳින්න පටන්ගත්තේ.”
ඒ ඔසිකා තත්සරණී ය. ඇය උපන්නේ ගම්පහ මීරිගම ය. දියණියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා ඔසිකායි. එමෙන්ම පවුලෙන් චිත්‍ර කලාවට හිතගිය දියණියද ඇයයි. කැලණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරිනියක වන ඇය චිත්‍ර කලාවද උපාධි විෂයක් ලෙස තෝරාගත්තාය. පුංචිම සන්දියේත් පාට කෑල්ලක් අහුවුණොත් මොනවා හෝ ඇඳීම ඔසිකාගේ පුරුද්දය. ඈ ඇඳි චිත්‍රවල අපූරු හැඩතල ඇතැයි ගුරුවරුන්ගේ පැසසුම් ලැබෙද්දී ඕ සාමාන්‍ය පෙළටත්, උසස් පෙළටත් විෂයයක් ලෙස තෝරාගත්තේ චිත්‍රය.
“මම ගෙදර ඉන්නවානම් ඉතින් වැඩේම චිත්‍ර අඳින එක තමයි. පළමු මහෝගනී ප්ලේට් එක විකුණලා ලැබුණු ප්‍රතිචාර එක්ක තවත් ප්ලේට් දහයක් අරගෙන ආවා. ඇත්තටම මම නුවර යුගයේ චිත්‍ර වගේම දළඳා මාලිගාවේ වියන් සැරසිලි චිත්‍ර අධ්‍යනය කරලා මම මගේ විදියට මේ සිතුවම් නිර්මාණය කරනවා. වර්ණ ගැලපීම කරනවා. පසුගිය කොරෝනා කාලේ මම ඊට වැඩිපුර මහන්සි වුණා. මුහුණුපොතේ මුලදි ලයික් එකක්වත් නැති වුණාට, පස්සේ සිතුවම් දහය විසිපහ වගේ අලෙවි වෙන්න පටන්ගත්තා. මට මතකයි මුල් කාලේ ස්වාමීන් වහන්සේ නමක් ඉන් විසිපහක් මිලට ගත්තා. උන්වහන්සේ එම සිතුවම් මිලදීගෙන තිබුණේ දන්න කියන පිරිසකට පරිත්‍යාග කරන්න. මහෝගනී ප්ලේට් එකක් මම මිලට ගන්නේ රුපියල් හත් සියයක් වගේ මුදලකට. තීන්තවලට යන වියදමත් එක්ක බලලා මම මේ එක නිර්මාණයක් අලෙවි කරන්නේ රුපියල් හාරදහසකටයි. ඒ අනුව අද මම රුපියල් පනස් දහසක විතර මාසික ආදායමක් ලබනවා.”
උදෑසනම වැඩ පටන්ගන්නා ඇයට, මේ වනවිට ලැබෙන ඇණවුම් සියල්ල භාරගන්නට නොහැකි තරමට කාර්යබහුල බවද ඇය කීවාය. වයස අවුරුදු තුනේ කුඩා දියණියද රැකබලාගනිමින් ස්වෝත්සාහයෙන් කරගෙන යන මෙම කටයුත්ත තවත් දියුණු කරගැනීමට ඇය කැමතිය.
“මගේ මහත්තයා රජයේ රැකියාවක නියැලුණත් මම රජයේ රැකියාවක් කරන්න ඕන කියලා හිතලා නැහැ. ඇත්තටම තමන්ගේ හැකියාවෙන් කරගෙන යන මෙවැනි කාර්යයක් උත්සාහයෙන් දියුණු වෙන්න හිතන කෙනෙකුට මෙය ලොකු දෙයක් කියලා මම හිතනවා. ඇත්තටම උපාධියක් තියාගෙන ඕක කරලා හරියනවද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මුලදි චිත්‍ර අඳිනකොට ගෙදර අයත් මට නෝක්කාඩු කියලා තියෙනවා නිතරම අඳින එකමයි වෙන වැඩක් නෑ කියලා. ඒත් අද අම්මා, තාත්තා වගේම පවුලේ හැමෝම මට උදව් කරනවා.”
ඔසිකා කියන්නේ ඕනෑම ගමනක කටුකකම් අත්විඳින තරමට කෙනෙකුගේ ගමන්මග ශක්තිමත් වන බවයි. අද දේශීය මෙන්ම, විදේශීය රටවල ගැණුම්කරුවන්ගෙන්ද ඇයගේ අලංකාර ලී තැටි සිතුවම්වලට ඉල්ලුමක් ඇතිව තිබේ.
“මම මේ ව්‍යාපාරය කරගෙන යන්නේ ඔන්ලයින් ක්‍රමයට නිසා, විදෙස් රටවල ඉන්න අයගෙන් පවා ඇණවුම් ලැබෙනවා. සමහර දවස්වල එකදිගටම වැඩ කරන්න වෙන අවස්ථාවල් තියෙනවා. මම කැමතියි මෙම චිත්‍ර කලාව ගැන හැදෑරීමක් ඇති, දක්ෂ කාන්තාවක් ඉන්නවානම් මේ කාර්යයට සම්බන්ධ කරගන්න. ගොඩක් වෙලාවට ගැහැනු ළමයි මූර්ති කලාව හා චිත්‍ර කලාවට යොමුවෙන්නේ අඩුවෙන්. ඒ ගැන ඉගෙනගත්තත්, ඒ කලාව හා රැඳෙන පිරිස අඩුයි. මට මතකයි මම මධ්‍යම සංස්කෘතික අරමුදලේ මෙම පාඨමාලාව හදාරන කාලෙ පිරිමි ළමයි දාහතරදෙනෙක් ඒ පාඨමාලාව හදාරද්දි ගැහැනු ළමයි තුන්දෙනයි මේ පාඨමාලාව හැදෑරුවේ. ඒ අය අතරිනුත් කිහිපදෙනෙක් පන්සල් චිත්‍ර නිර්මාණය වගේ කටයුතුවලට දායක වෙනවා. ගැහැනු ළමයි වෙනත් රැකියාවල නිරත වෙනවා. මම කියන්නේ මේ කලාව තුළින් අපිට යමක් අපේම විදියට හිතලා කරන්න පුළුවන්නම් ආර්ථික වශයෙන් අපට සතුටුදායක තැනකට එන්න පුළුවන්කම තියෙනවා.”
ඔසිකා එම ගමන් මාවත සාදාගත්තේ දිනකින් දෙකකින් නොවේ. එහෙත් දැන් මහෝගනී ලී තැටි මත ඇය දාන හැඩවැඩ බොහෝදෙනෙකුගේ නෙත් සිත් පැහැරගෙනය. තවත් වෙහෙස වී එම ව්‍යාපාරය දියුණු කරගැනීම ඇයගේ ඉදිරි බලාපොරොත්තුවයි.
දීපා වසන්ති එදිරිසිංහ