මගේ යකා අවුසන්නේ නැතුව ඌත් එක්ක ගිය බව පිළිගනින්
“කාට පේන්නද දන්නෑ ඔය තරම් හැඩවෙන්නේ?”
සම්පත්ගේ ඇනුම්පදයට කිසිවක් නොකී උදාරා, හැඳසිටි සාරියේ අඩුපාඩු සකසන්නට වූවාය. ඒත් එක්කම ඇයට මතක් වූයේ, සම්පත් තම කාර්යාලයටද ඇමතුම් දෙමින් තමන් එහි සිටිනවාද යන්න වරින්වර විමසනවා යැයි දුරකතන සහායිකාව කී කතාවය. ඒ ගැන ඔහුගෙන් අහන්නට සිතුණත් එයද ඔහුගේ කෝපයට හේතුවනු ඇතැයි ඇයට සිතුණාය.
“පරක්කු වෙනවා උදාරා.”
සැබෑවටම පරක්කුවක් නැතත් උදාරා ලස්සනට, පිළිවෙලට කාර්යාලයට යෑම සම්පත්ගේ හිතට ගෙනෙන්නේ ඊර්ෂ්‍යාවකි. තරහවකි. ඒ වගේම සති කිහිපයක සිට ඔහු ඇයව සැක කරන්නට පෙලඹ තිබේ.
“ඔයාට පරක්කු නම් ඔයා යන්න සම්පත්… මං බස් එකේ එන්නම්.”
තමා දෙස නොරිස්සුමින් බලා සිටින සම්පත් දෙස බලා උදාරා කීවාය.
“ඔව් එතකොට ලේසිනේ අරූ එක්ක ජෝඩු දාලා යන්න.”
“කා එක්කද..? කවුද අරූ කියන්නේ..?”
“මම දන්නෑ කියලද හිතන්නේ?”
සම්පත් උදාරා වෙත කඩා පැන්නේය.
“මොනවද සම්පත් මේ විකාර කතා. ඔයා නිසා මට දැන් රස්සාවත් කරගන්න බැරිවෙලා. මගේ හිතකවත් නැති මනුස්සයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවද කියලා ඔයා අහනවා. ඇයි මේ සැකේ?”
උදාරා කීවේ දෑසින් කඳුළු වැටෙද්දීය. ඉන් සම්පත් කෝප ගත්තේය.
“මං දවසක අතටම අල්ලගන්නම්. එතකල් ඉඳපන්කෝ.”
“නැති දෙයක් අල්ලගන්නේ කොහොමද?”
“නෑ කියන්න එපා යකෝ තමන්ගේ වරද පිළිගනින්.”
එය තර්ජනයක් වැන්න. ඔහු ඇයට තම වරද පිළිගන්නැයි කිහිපවිටක් කීවේය. මේ සිදුවන්නේ කුමක්දැයි උදාරාට සිතාගන්නටවත් නොහැකිය. කාර්යාලයට යන අදහස එවලේම අතහැර දැමූ උදාරා කාමරයට වී හඬා වැටෙන්නට වූවාය.
සම්පත් ගෙදරින් ගිය පසු ඇය කල්පනා කළේ මේ අහේතුක සැක කිරීම සමඟ ජීවත්වන්නේ කෙසේද කියායි. අවසානයේ ඇය තම මිතුරියකට මේ ගැන කීවාය. මිතුරිය කීවේ වෛද්‍යවරයෙකු වෙත සම්පත් යොමු කරන ලෙසයි.
විලියම් ෂේක්ස්පියර්ගේ ‘ඔතෙලෝ’ නාට්‍යයේ ඔතෙලෝ ද මෙවන්ම පටලැවිල්ලක් හේතුවෙන් තම බිරිඳ සැකකර ඇය මරා දමනු ලබයි. අවසානයේ ඇයගේ නිර්දෝෂීභාවය වටහාගන්නා ඔතෙලෝද ජීවිතය හැර යන අතර ඒ වනවිට සැකය නිසා වන විනාශය වී අවසන්ය.
මෙම රෝගය ඔතෙලෝ සින්ඩ්‍රෝම් (Othello Syndrome) ය. රෝගාතුර ඊර්ෂ්‍යාව (Morbid Jealousy), මිථ්‍යා ඊර්ෂ්‍යාව (Delusional Jealousy) යන නම්වලින්ද මෙම රෝග තත්ත්වය හඳුන්වන අතර, ඊට ඔතෙලෝ නම ලැබුණේ ඉහත නාට්‍ය පසුබිමත් සමඟිනි.
‘සැකය’ ගිනි පුලිඟුවක් තරම් භයානක වූවකි. එය අලු යට තිබී වරින්වර දැල්වෙන්නා සේ තම සහකරු සහකාරිය අහේතුක පෙළීමකට ලක්කරනු ලබයි. මෙම සැකය තුළ කිසිඳු තහවුරු කරගත් සිද්ධි දාමයක් නැතත්, තම මානසික වටාපිටාව තුළ එය ගලපාගැනීමට ඔහු උත්සුක වේ. අනතුරුව අදාළ පුද්ගලයා පෙලඹෙන්නේ එය තහවුරු කරන වටපිටාවක් මනසේ ඇඳගනිමින් තම සහකරු සහකාරිය දැඩි ලෙස ප්‍රශ්න කිරීමටය.
“මෙම තත්ත්වය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය තුළම දකින්න ලැබෙනවා. වැඩිපුරම පුරුෂ පාර්ශවය තුළ මෙම ලක්ෂණ දැකිය හැකියි. ඊට වයසක්, තරාතිරමක් නැහැ. තමන්ගේ පෙම්වතා, පෙම්වතිය, එහෙම නැත්නම් සහකරු, සහකාරිය ගැන ඇතිවන ‘සැකය’ තමයි මෙහි ප්‍රධාන ලක්ෂණය වෙන්නේ. මේ සැකය මාස ගණනක සිට හිතේ තියෙන්න පුළුවන්. එහිදී රෝගියා හඳුනාගන්න මාසයක කාලයක්වත් රෝග ලක්ෂණ සහිතව පසුවෙන්න ඕන. මෙහිදී සිදුවෙන්නේ නිශ්චිත හේතුවක් ඇතිව හෝ නැතිව සිතේ ඇතිවන සිතිවිල්ලක්. ඒ වගේම මෙතැනදී ඇතිවන සැකය තහවුරු කරන්න සාධක ඔහුම සොයාගන්නවා. ෆෝන් චෙක් කරනවා. හැක් කරනවා. සමහර අවස්ථාවල කතා කරන්නේ මොනවද බලන්න රෙකෝඩර් පවා සවි කරනවා. යාළුවෝ ආශ්‍රය කරන්න දෙන්නේ නෑ. පවුලේ ඥාතීන්වත් දුරස් කරවනවා. තමන්ගේ පෙම්වතිය බිරිඳ හුදෙකලාවේ ඉන්නවට කැමතියි. මේ සියල්ල කරන්නේ සැකය නිසා. සාමාන්‍ය මානසික තත්ත්වයකදී සැකයක් ඇතිවුණොත් ඊට අදාළ තොරතුරු තහවුරු වීමක් නොමැතිවිට එය යටපත්ව යනවා. ඒත් මේ තත්ත්වය තුළ එය එසේ නොවෙයි. ඇතැම් අවස්ථාවල පෙම්වතියට පෙම්වතාට ඒ ගැන පාපොච්චාරණය කරන්න කියලා තර්ජනය කරනවා. සමහරවිට පහර දෙනවා. එතැනදී සහකරු හෝ සහකාරිය බොරුවට හෝ එය පිළිගත්තොත් ඇතිවන තත්ත්වය ඔහුගේ සැකය තහවුරු වීමක් හැටියට ඔහු දකිනවා.”
ඒ කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රුබන් මහතායි. ඔහු පෙන්වා දෙන්නේ එසේ නොකරන ලද වරදක් පිළිගැනීම තුළම, ඇයව හෝ ඔහුව තව තවත් අවිශ්වාස කරන්නට, ඒ තුළ තලා පෙලා දමන්නට රෝගියා උත්සාහ කරනු ලබන බවයි.
මෙය මායා රෝගයක් ලෙස සැලකෙන අතර, අනෙකුත් මායා රෝගයන්ට වඩා මෙය වෙනස්ය. මෙහිදී තම පෙම්වතියට හෝ බිරිඳට අසීමිතව ආදරය කරන අතරම, ඉහවහා යන වෛරී සිතිවිල්ලක්ද හිතේ පවතී. මෙම එකිනෙකට වෙනස් මනෝභාවය තුළ තම සහකරු හෝ සහකාරිය දැඩි පීඩාවකට ලක්කෙරේ.
මෙම රෝගය ඇතිවීමට බලපාන සාධක කිහිපයක් ඇත. ජානමය සාධක එහිදී මූලිකය. එනම් පවුලේ අයෙකු බීන්නොන්මාදය වැනි මානසික රෝගාබාධයකට ලක්ව ඇත්නම් ඔවුන් මෙම රෝගයේ ගොදුරක් වීමට ඉඩ තිබේ. මත්ද්‍රව්‍ය, මත්පැන් පානය මෙන්ම ලිංගික බෙලහීනතාවයන්ගෙන් පෙළීම, ස්නායු ආබාධ, අතීතයේ ප්‍රේම සබඳතා බිඳී ඇතිවන විරහව තුළ ලබන අමිහිරි අත්දැකීම්ද මීට හේතුවන අවස්ථා තිබේ.
“මෙතැනදී රෝගියා උත්සුක වෙන්නේ නැති දෙයක් සනාථ කරගන්න. ඒ වගේ අවස්ථාවක ඔහුගේ සැකයට භාජනය වන පුද්ගලයෙක්, තමන්ගේ සහකාරිය සමඟ කතා කරනවා දුටුවහොත් ඔහුට එම පුද්ගලයාගේ හෝ තම සහකාරියගේත් ජීවිත නැති කරන්න හිතෙන සිතිවිල්ලක් එකවර ආ හැකියි. එහෙම සිදුවීම් ඕනෑතරම් සිදුවෙලා තියෙනවා. ඒ වගේම මෙය අදාළ පුද්ගලයා දිගින් දිගට මෙම මනෝභාවයන් තුළ හිඳීම විශාදය ඇති කරවන්නක්. ඒ වගේම ඔහුට නින්ද යන්නේ නැහැ. සතුටක් නෑ. බලාපොරොත්තුවක් නැහැ. තමන්ගේ ජීවිතය පවා නැති කරගන්න පෙලඹෙනවා.”
මෙම රෝගීන් තමන්ට එවන් රෝගයක් ඇතැයි පිළිගන්නට අකමැති අතර, වෛද්‍යවරයෙකු වෙත යාමට කතා කළහොත් ‘පිස්සුදැයි’ අසන අවස්ථා තිබේ.
“එහෙම අකමැත්තක් දකින්න තිබුණත් මෙම රෝගයට ප්‍රතිකාර අවශ්‍යයි. ඖෂධ ප්‍රතිකාර වගේම මනෝ වෛද්‍ය උපදේශනයත් වැදගත් වෙනවා. එයට මොවුන් කිසිසේත්ම කැමති නැහැ. ඒ වගේම මෙම රෝගියාගේ මූලිකම ලක්ෂණය සැක කිරීම විතරක් වෙන්න පුළුවන්. වෙනත් කිසිඳු රෝග ලක්ෂණයක් නැහැ. බැලූ බැල්මටත් එසේයි. එහෙත්, තමන්ගේ සහකරුට හෝ සහකාරියට දැඩි ලෙස පීඩා එල්ලකිරීම සිදුවෙනවා. තමන්ගේ දරුවෝ තමන්ගේ නෙවෙයි කියලා හිතනවා. ඇතැම්විටෙක මෙවැනි පුද්ගලයින්ට ප්‍රතිකාර ලබාදීමට නීතියේ පිහිට පතලා, රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදෙන්න සිදුවෙන අවස්ථා තියෙනවා. අඩුම තරමින් වසරක පමණ ප්‍රතිකාරවලින් අනතුරුව රෝගියා සුවපත් කරගැනීමේ බලාපොරොත්තු තබාගත හැකියි.”
අහේතුක සැකයකින් සියල්ල බිඳ වැටෙන්නට නොදී තම පවුලේ ආදරණීයයන් ගැන අවධානයෙන් සිටින්න. නැතිනම් අහේතුක සැකයකට හිතේ සතුට, සැනසුම අහිමිව යනු ඇත. වටිනා ජීවිතයද අහිමිව යා හැකිය.
දීපා වසන්ති එදිරිසිංහ