එයා මහබැංකු අධිපති වුණාට ගෙදර වියදම් පාලනය කරන්නේ මමයි
අරගලයේ අවසන් ප්‍රතිඵලය වශයෙන් හිටපු ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර ගියේය. එහෙත් ඒ ‘නන්දේ’ ගෙදර යද්දී සියල්ලන්ගේම ගැලවුම්කාරයා වී තවත් ‘නන්දේ’ කෙනෙක් ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට ගොඩබැස්සේය. ඒ වෙන කවුරුත් නොව වර්තමාන මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ය. ගංවතුරකට හසුවී ගසාගෙන යනවිට තුත්තිරි ගසේත් එල්ලෙන්නාක් මෙන් ආර්ථික අර්බුදය නිසා හෙම්බත්ව සිටි ජනතාව ඒ මොහොතේ හේතු ඇතිව හෝ නැතිව ඔහු පිළිබඳව සම්පූර්ණ විශ්වාසය තැබූහ. එසේම ඔහුද මාධ්‍ය ඉදිරියට පැමිණ ඇති තතු නොසඟවා කතා කළේය. දැන් කවුරුත් බලා සිටින්නේ මේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩගන්නට ඔහු පානා ප්‍රාතිහාර්යය දෙසය. එවැනි මොහොතක ඔහු පිළිබඳව නොදත් දේ දැන කියාගන්නට අපි මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ආදරණීය බිරිඳ පද්මකාන්ති වීරසිංහ මහත්මියට කතා කළෙමු. මේ එම සංවාදයේ සටහනයි.
*නන්දලාල් වීරසිංහ කිව්වමනම් දැන් නොදන්න කෙනෙක් නැතිතරම්. ඒත් ඔබ මේ මාධ්‍යයක් හමුවේ නිරාවරණය වෙන පළවැනි අවස්ථාව. ඒ ගැන මොකද හිතෙන්නේ කියලම අපි කතාව පටන්ගමු?
ඔව් ඇත්තටම මම මීට කලින් කවදාවත් මාධ්‍යයකට කතා කරලා නෑ. මේ තමයි පළවැනි අවස්ථාව. මොකද ගොඩක්වෙලාවට මම කැමති මගේ පෞද්ගලිකත්වය පිටට නොදී ඉන්න. ඇත්තටම නන්දලාල් රටේ ප්‍රසිද්ධ වෙලා ඉන්නේ එයා රටේ පිළිගත්ත රාජකාරියක් කරන නිසානේ. මම එහෙම දෙයක් කරන කෙනෙක් නොවෙන නිසයි මාධ්‍යය ඉස්සරහට එන්න අකමැති.
*කොහොමද මේ දවස්වල ජීවිතේ?
මගේ ජීවිතේනම් එදා තිබුණා වගේමයි, කලින්ට වඩා ලොකු වෙනසක් සිද්ධ වෙලා නෑ. මහත්තයානම් ඉතින් හැමදාමත් කාර්යබහුලයි.
*ඔබට කොහොමද ඔහුව මුණගැහෙන්නේ?
මම 88-89 කාලේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට ආවා. නන්දලාල්නම් ඒ කාලේ එයාගේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා පවුලේ ව්‍යාපාර කටයුතු බලාගෙන හිටියේ. නමුත් 88-89 කාලේ රටේ ඇතිවුණ අර්බුදකාරී තත්ත්වයන් එක්ක ව්‍යාපාර බොහොමයක් වහලා දාන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ මොකුත් නොකර ගෙදරට වෙලා ඉන්න බැරි නිසා නන්දලාලුත් ආපහු සැරයක් පරිගණක පාඨමාලාවක් කරන්න කොළඹ විශ්වවිද්‍යාලයට ආවා. ඒ වෙලාවේ තමයි අපි දෙන්නා මුණගැහුනේ.
*අද ඔහු මහබැංකුවේ අධිපතිවරයා. කොතැනින්ද එදා මේ ගමන පටන්ගත්තේ?
නන්දලාල් උසස් අධ්‍යාපනය හදාරලා තිබුණේ විද්‍යා අංශයෙන්. ඊටපස්සේ මං අර කලින් කිව්ව විදියට කොළඹ ඇවිත් පරිගණක අධ්‍යාපනය හදාරන අතරතුර එයා නිකමට වගේ මහජන බැංකුවේ මාණ්ඩලික නිලධාරී තනතුරටයි, මහබැංකුවටයි අයැදුම් කළා. ඒත් විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරපු කෙනෙක් නිසා නන්දලාල්ට තරඟ විභාගයකට පෙනී ඉන්න සිද්ධ වුණා. ඊටපස්සේ ඒකෙන් ඉහළ ලකුණු අරගත්තට පස්සේ මහජන බැංකුවෙන් මෙයාව සේවයට බඳවාගත්තා. ඒත් එක්කම මහබැංකුවෙනුත් කැඳවීමක් කළා. ඊට ටික කාලෙකට පස්සේ නන්දලාල් මහබැංකුවේ සේවයට බැඳුණා. එතැන ඉඳන් තමයි ඔහු වාණිජ අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරන්න පටන්ගත්තේ. එදා එතැනින් පටන්ගත්ත ගමන තමයි අද මෙච්චර දුරක් ඇවිත් තියෙන්නේ.
*රටේම මූල්‍ය කළමනාකරණය ගැන වගකීම දරන්නේ ඔහු. එතකොට ගෙදර මූල්‍ය කළමනාකරණය කරන්නේ ඔබද? ඔහුද?
ඇත්තටම ගෙදර දේවල් කළමනාකරණය කරන්නේ මම. ගෙදරට, ළමයින්ගේ වැඩවලට ගොඩක් වෙලාවට හොයලා බලලා අවශ්‍ය මුදල් වියදම් කරන්නෙත් මම. හැබැයි ඉතින් මම වියදම් කළාට ඒ හැම රුපියලක්ම මහත්තයා හරිහම්බ කරපු සල්ලි. ඒත් අපි බැඳපු දවසේ ඉඳන් අද වෙනකල් එයා කවදාවත් මං මොකටද වියදම් කළේ, කීයක්ද වියදම් කළේ කියලා මගෙන් ප්‍රශ්න කරලත් නෑ. නීතිරීති දාලත් නෑ.
*ඔබ රැකියාවක් කරපු කෙනෙක් නෙවෙයිද?
මම මෘදුකාංග ඉංජිනේරුවරියක්. වැඩි කාලයක් ඔස්ට්‍රේලියාවේ තමයි රැකියාව කළේ. ඒත් 2009 ඉඳන් මේ වෙනකල් මම රැකියාව කරන එක නවත්තලා ගෙදරදොරේ වැඩකටයුතු බලාගෙන ඉන්නවා.
*ඔහුට මහබැංකු අධිපතිකම භාරගන්න කියලා මුලින්ම කතා කරපු දවස ගැන ඔබට මතකද? කවුද කතා කළේ? ඒ ඇමතුමෙන් පස්සේ ඔහු මොකද කිව්වේ?
එතකොට නන්දලාල් විශ්‍රාම අරන් ඔස්ට්‍රේලියාවට ගිහින් දුවලා එක්ක හිටියේ. ඒ වෙනකොට මගේ අම්මා මෙහේ අසනීපෙන් හිටපු නිසා මට එයා එක්ක ඔස්ට්‍රේලියාවේ යන්න බැරි වුණා. කෝල් එක එන වෙලාවේ ළඟ ඉඳලා තියෙන්නේනම් දුවලා දෙන්නා තමයි. පස්සේ එයා එවෙලෙම මට කෝල් කරලා කිව්වා එයාට මහබැංකු අධිපතිකම භාරඅරගෙන වැඩ කරන්න කිව්වා කියලා. ඒ වෙලාවේ පොඩි දුවනම් පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ තාත්තා මේ තනතුර භාරගන්නවට. එයා හැමවෙලාවෙම කිව්වේ ඒ තිබුණ තත්ත්වෙත් එක්ක ඔය තනතුර භාරගත්තොත් තාත්තා අසනීප වෙන්න වුණත් බැරි නෑ කියලා. ඉතින් දුව එහෙම කියනකොට මටත් ටිකක් හිතුණා මහත්තයා ලංකාවට නෑවිත් හිටියොත් හොඳයි කියලා. ඒත් අපි මොනවා කිව්වත් නන්දලාල් ඒ වෙලාවේ කිව්වේ මේ වගේ වෙලාවක මම මේ තනතුර භාරඅරන් කොහොමහරි රට ගොඩගන්න ඕන කියලා. පස්සේ ඉතින් මමත් කිව්වා ඔයාට ඔයාව විශ්වාසනම් මගෙන් බාධාවක් නෑ කියලා.
*රටේ ආර්ථික අර්බුදය නිසා මිනිස්සු ජනාධිපතිව ගෙදර යවන්න හදන වෙලාවක මහබැංකු අධිපතිකම භාරගන්නවා කියන්නේ හරියට දංගෙඩියට බෙල්ල තියෙනවා වගේ වැඩක්. ඒ නිසා ඔබට ඔහු ගැන බයක් දැනුණේ නැද්ද?
මං අර කලිනුත් කිව්වේ. ඒ වෙලාවෙ තිබුණ තත්ත්වෙත් එක්ක මේ වගකීම භාරඅරන් නන්දලාල් අසනීප වෙයි කියන බය ඇරෙන්න මට ඔහුගේ හැකියාව ගැන සැකයක් තිබුණේ නෑ. මොකද එයා ඒ වෙනකොට ඔස්ට්‍රේලියාවේ හරිම සැහැල්ලුවෙන් ජීවත්වුණ කෙනෙක්. උදේට ගොල්ෆ් ගහනවා, කැලේ ඇවිදින්න යනවා, කුරුල්ලො දිහා බලාගෙන ඉන්න යනවා. ඉතින් එයාගේ ඒ නිදහස නැතිවෙයි කියලයි අපි බයවුණේ. ඒත් එයා හිටියේ රට වැටිලා තියෙන වෙලවේ කොහොමහරි ඒකෙන් ගොඩගන්න ඕනේ කියන තද තීරණයක. ඒක නිසා ඊටපස්සෙ අපි එයාට බාධා කළේ නෑ.
*සාමාන්‍යයෙන් ඔහු ජීවිතේ සම්බන්ධ තීරණ ගන්නකොට ඔබත් එක්ක සාකච්ඡා කරනවද?
ඔව්. පවුල සම්බන්ධ, දරුවන් සම්බන්ධ තීන්දු තීරණ ගන්නකොට අනිවාර්යයෙන්ම අපි දෙන්නා කතාබහ කරලා තමයි තීරණ ගන්නේ. හැබැයි ඒ වගේ වෙලාවට ගන්න තීන්දු තීරණවලට එයාටත් වඩා මම තමයි මූලික වෙන්නේ.
*දුවලා දෙන්නා මොනවද කරන්නේ? ඒ අයගේ වැඩවලට ඔහුගේ මැදිහත්වීම කොහොමද?
දුවලා දෙන්නානම් එයාලගේ අධ්‍යාපන කටයුතු නිමා කරලා ඔස්ට්‍රේලියාවේ රැකියා කරනවා. දෙන්නම තාමත් අවිවාහකයි. ඇත්තටම නන්දලාල් නම් හැමවෙලාවෙම කියන්නේ දරුවන්ට එයාලගේ ජීවිත ගැන තීරණ ගන්න අපි එයාලට නිදහස දෙන්න ඕනේ කියලා. ගොඩක් වෙලාවට දුවලාගේ දේවල්වලට වැඩිපුරම මැදිහත් වෙන්නෙ මම. ඒ නිසා දුවලා දෙන්නා වුණත් මට වඩා තාත්තට තමයි වැඩිපුරම ආදරේ. මොකද තාත්තා එක්ක හුරතල් වෙලා ඕනම දෙයකට කැමැත්ත ගන්න පුළුවන් නිසා.
*රට ගොඩගන්න පුළුවන් කියලද බෑ කියලද ඔහු ගෙදරදි කියන්නේ?
සාමාන්‍යයෙන් මහත්තයා මාධ්‍යයට එකක් කියලා ගෙදර ඇවිත් තව එකක් කියන කෙනෙක් නෙවෙයි. එයා මාධ්‍යය ඉස්සරහා හැමදාමත් කිව්වේ එයා හිතන් ඉන්න විදියට එයාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගන්න පුළුවන් වුණොත් මේක ගොඩගන්න එක මහලොකු දෙයක් නෙවෙයි කියලා. ගෙදර ඇවිත් මාත් එක්ක කියන්නෙත් ඒ ටිකම තමයි.
*අරගල දවස්වල මහබැංකු අධිපතිවරයාගේ ගෙදරටත් ඇවිල්ලා මිනිස්සු කලබල කරයි කියලා බයක් තිබුණේ නැද්ද?
එහෙම බයක් තිබුණේ නෑ. මොකද ඒ වෙලාවේ මිනිස්සුන්ට තිබුණ ප්‍රශ්නය වෙනස් එකක්. අනික එතකොට නන්දලාල් වැඩ භාරගත්ත ගමන් හිටියේ. ඇතිවුණ ප්‍රශ්නවලට එයාගේ සම්බන්ධයක් තිබුණෙ නැතිතරම්. අනික අපි කවදාවත් වැරදි කරලා නැති නිසා අපිට වරදක් වෙන්නේ නෑ කියල තදබල විශ්වාසයක් අපි ළඟ තිබුණා.
*ඔහුගේ වැඩපිළිවෙල අනුමත කරන අය වගේම ප්‍රතික්ශේප කරන පිරිසකුත් ඉන්නවා. සමහරක් තැන්වලදි රටේ මිනිස්සුන්ගෙන් මහත්තයට දොස් අහන්න වෙන එක ගැන දුකක් නැද්ද?
නැතුව නෙවෙයි. මුලදිනම් මට හිතුණා මහත්තයා මොකට මේ තනතුර භාරගත්තද මන්දා කියලා. හැබැයි ඒ වෙලාවට නන්දලාල් හැමවෙලාවෙම කළේ මගේ හිත හදපු එක. එයා මට කිව්වෙ හැමෝම හැමදාම එකම දේකට හරි කියන්නෙත් නෑ, එකම දේකට වැරදියි කියලා කියන්නෙත් නෑ කියන එක. ඒ නිසා අපි ඔය දෙකම ජීවිතේට භාරගන්න ලෑස්තිපිට ඉන්න ඕනේ කියලා තමයි එයා කිව්වේ.
*දැන් ඉන්න මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක වැඩ කරගෙන යන එක ගැන ගෙදර ඇවිත් මොකද කියන්නේ?
එහෙම විශේෂ දෙයක් කියන්නේ නෑ. ගැටලුවක් තියෙන බවක් පෙන්නන්නෙත් නෑ. සතුටින් වැඩ කරගෙන යනවා.
*ඕනම ආයතනයක දෙවැනියාට හිතෙන්න පුළුවන් පළවැනියාට වඩා හොඳට මට මේක පාලනය කරන්න පුළුවන් කියලා. අජිත් නිවාඩ් කබ්රාල් මහත්තයා මහබැංකු අධිපතිවරයා විදියට කටයුතු කරද්දි, නියෝජ්‍ය අධිපතිවරයා විදියට කටයුතු කළේ නන්දලාල් මහත්තයා. ඒ දවස්වල ගෙදර ඇවිල්ලා අජිත්ට වඩා හොඳට මට මේක කරන්න පුළුවන් කියලා එහෙම නැද්ද?
අනේ නෑ. කවදාවත් මහත්තයා ගෙදර ඇවිත් එහෙම දේවල් කියලා නෑ. කියන කෙනෙකුත් නෙවෙයි කියන එකයි මගේ විශ්වාසය. එයා හැමවෙලාවකම කියපු දෙයක් තමයි රාජ්‍ය සේවකයෙක් වුණහම පවතින රජයටයි, තමන්ගේ ඉහළ නිලධාරියාටයි උපරිම සහයෝගයෙන් අවංකව සේවය කරන්න ඕනේ කියන එක. හැබැයි ඒකෙන් එයා අදහස් කරන්නේ වැරදි වැඩවලටත් සහයෝගය දෙන්න ඕන කියන එක නෙවෙයි.
*අරගලයට හේතුවුණ සියලුම කරුණු රඳාපැවතුණේ මහබැංකුව මත. ඒ කියන්නේ ඒ දවස්වල ගෝඨාභය මහත්තයටත් වඩා නන්දලාල් මහත්තයාගේ ඔලුව අවුල් වෙලා තියෙන්න ඇති නේද?
මෙහෙමයි. නන්දලාල් එනකොටත් රටේ ඔය කියන ප්‍රශ්න සේරම අඩුවක් නැතුව තිබුණා. කොටින්ම කියනවානම් පැය දොළහක් විතර විදුලිය පවා කප්පාදු කරද්දි තමයි මහත්තයා මේ භාරදූර කාර්යයට අත තිබ්බේ. හැබැයි ඉතින් ඔය කියන විදියට එයාගේ ඔලුව අවුල් වුණාද නැද්ද කියලා මට දැනගන්න විදියක් තිබුණෙත් නෑ. ඉදිරියටත් එහෙම දැනගන්න ලැබෙන එකකුත් නෑ. මොකද මොන ප්‍රශ්නෙ තිබුණත් එයා මගේ ඉස්සරහ හැමදාමත් ඉන්නේ පුරුදු විදියට හිනාවීගත්ත ගමන්ම තමයි.
*ඔහුගේ ප්‍රියතම කෑමබීම, විනෝදාංශ මොනවද?
එයා වැඩිපුරම කැමති බීච් යන්නයි, කැලේ ඇවිදින්න යන්නයි. කෑමබීම නම් ඉතින් ගමේ විදියට අම්මා හදන මාළු ඇඹුල්තියල්, කොස් පොලොස් එක්ක බත් කන්න තමයි ආස. කොයිතරම් බඩගින්නක් තිබුණත් ගෙදරම ඇවිත් කනවා. එළියෙන්නම් කන්නේ නැතිතරම්.
*ගෙදර වැඩ ඔබ තනියම කරගන්නවද? එහෙම නැත්තම් නන්දලාල් මහත්තයත් උදව් කරනවද?
අනේ අපේ මහත්තයා දන්න එකම වැඩේ තේ හදන්න විතරයි. හැමදාම උදේට ගෙදර තේ හදන්නේ මහත්තයා. ඒ ඇරෙන්න වෙන කිසිම වැඩක් කරන්නවත්, උදව් කරන්නවත් මහත්තයට තේරෙන්නේ නෑ.
*ඔහු ආදරණීය සැමියෙක්ද?
ඇත්තටම ඔව්. මේ තරම් ආදරණීය සැමියෙක්, පියෙක් මේ මිහිපිට තවත් ඉන්නවද කියලත් මට සැකයි. ඒ තරමට ඔහු හරිම ආදරණීයයි. හරිම සැහැල්ලුවෙන් ජීවත්වෙන හරි ලස්සන අවංක හදවතක් තියෙන කෙනෙක්.
*ඔබ මේ රටේ මහබැංකු අධිපතිවරයාගේ බිරිඳ. අවසාන වශයෙන් මේ වගේ කාලෙක රටේ ජනතාවටත්, විශේෂයෙන්ම කාන්තාවන්ටත් මොනවද කියන්න තියෙන්නේ?
ඇත්තටම මට තේරෙනවා මේ කාලේ හැමෝටම වගේ ජීවත්වෙන්න අමාරු කාලයක්. කෙනෙක් කියනවානම් අපි කිව්වාට එයාලට කරන්න අමාරුයි කියලා ඒක ඇත්තටම සාධාරණයි. හැබැයි එහෙමයි කියලා මට නෑ, අරයට තියෙනවා කියලා එකිනෙකාට චෝදනා කර කර ඉඳලා තේරුමක් නෑනේ. තමන් කොහොමහරි නැගිටිනවා කියන අධිශ්ඨානයක් අපි හැමෝටම තියෙන්න ඕනේ. ඒ වගේම නැති කෙනාට නැගිටගන්න අත දෙන්නත් තියෙන කෙනාට හිතක් පහල වෙන්න ඕනේ. මේ දෙකම එකට සිද්ධ වුණොත් අපිට ඉදිරියක් තියෙයි කියන එකයි මගේ නම් විශ්වාසය. ඒ නිසා අපි මේ වෙලාවේ කැඩිලා බිඳිලා විසිරිලා යන්නේ නැතුව එකට ගමනක් යමු කියලයි මම කියන්නේ.
ලිහිණි මධුෂිකා