විශේෂාංග

පාර්කින් ටිකට් එක දුන්නම දවසක් මහත්තයෙක් මගේ කනට ගැහුවා

‘‘මේ වගේ පාර්කින්වලට පුදුමාකාර අදහස් තියෙන පුද්ගලයෝ එනවා. ටයි කෝට් දාලා හොඳට හිනාවෙලා එන සමහර මහත්තුරු පාර්කින් ටිකට් එක දුන්නම කුණුහරුපෙන් බැණලා යනවා. රුපියල් විස්සකට කුණු කතා අහන්න වුණත් අපි මේ රස්සාව කරන්නේ බොහොම ගෞරවයෙන්. ආදරෙන්.’’

ඒ තංගවේලු විජය ලක්ෂ්මිය. හතළිස් තුන් හැවිරිදි ඇයව අපට මුණගැසුනේ, මාලිගාවත්ත බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුව අසළ රථගාලේදීය. ඇය වසර කිහිපයක සිට එහි රථවාහන පාලිකාවක ලෙස කටයුතු කරන්නීය.

‘‘අපි අව්වේ ඉඳලා අව්වට කර වුණත් මේ නවත්තලා යන සෑම වාහනයක්ම පරෙස්සමට බලා කියාගන්නවා. ඒත් බොහෝ අවස්ථාවල හොඳක් නම් අහන්න ලැබෙන්නේ නැහැ. සමහරු එන්නෙම පරල වෙලා වගේ. ඔලුවේ දහසක් ප්‍රශ්න තියාගෙන කල්පනාවක් නැතුව වටිනා බඩු මුට්ටු වගේම මුදල් වාහනේ දාලා, වාහනේ දොරත් ඇරලා යන අය ඉන්නවා. එහෙම බැරිවෙලා ගිය ෆෝන් එකක් වැඩි ආරක්ෂාවට අරන් තියලා දෙන්න ප්‍රමාද වුණු ටිකට මාව හොරෙක් කියලා හංවඩුවක් ගැහුවා. එදා නම් මට ගොඩක් දුක හිතුණා.’’

රැකියාවට කොතරම් කැපවීමක් තිබුණත්, මිනිසුන්ගේම වචන නිසා හිත් රිදවාගන්නට ඔවුනට සිදුවූ අවස්ථා ඇත. විජය ලක්ෂ්මීට දැන් ඒවා හුරුය. පැසසුම් වාගේම ගල් මුල්ද විඳදරා ගනිමින් ඔවුන් රැකියාව කරන්නේ, එහි වටිනාකම ජීවිත ගණනක් ජීවත් කරවන්නට දායක වන බැවිනි.

‘‘එක දවසක් ත්‍රීවිල් එකක් ආවා. පාර්ක් කරන්න තැන හොයල දුන්නා. ඒ ආව කෙනා හදිසියෙන් බැහැල ගියා. මම එතැනින් යනකොට දැක්කා ත්‍රීවිල් එකේ කැබින් එක ඇරලා යතුරත් එතැනම දාල ගිහිල්ලා. මගේ ඇස් උඩ ගියා. රුපියල් පන්දහේ කොළ මිටි දෙකක්. මුදලින් කීයක්ද කියන්න දන්නේ නැහැ. ඉක්මනින් මම ඒවා මගේ භාරයට ගත්තා. අර මනුස්සයා ටික වෙලාවකට පස්සේ දුවලා ආවා. මම ඇහුවා ඇයි කියලා. මගේ සල්ලි බැරිවෙලා ගියා කියලා කිව්වා. මම සල්ලි මිටි දෙක එයාට දුන්නා. අඩුවක් නැතුව මුදල් තිබුණා. මට ගොඩක් පින් දීලා ගියා. මම ඒකෙන් ගොඩක් සතුටක් ලැබුවා.’’

කොතරම් ප්‍රශ්න තිබුණත් අගහිඟකම් තිබුණත්, අනුන්ගේ රුපියලක් හෝ තමන්ට උවමනා නැති බව විජය ලක්ෂ්මිගේ හැඟීමය. ඒ වාගේම එසේ ගන්නා මුදල්වලින් දරුවන් පෝෂණය කිරීම හොඳ නැතැයිද ඇය කියන්නීය.

‘‘ඇත්තටම අපි මිනිස්සු හැටියට හොඳින් ජීවත්වෙන්න ඕන. අනුන්ගේ දේවල් කියන්නේ ගින්දර. අපි හොඳට හිටියොත් දෙවියෝ දවසක අපි දිහා බලාවි.’’

විජය ලක්ෂ්මිට දරු තිදෙනෙකි. ඇගේ සැමියා රැකියාව කරන්නේ වෙළඳසැලකය. කොළඹ ජීවිතය මේ දිනවල අමාරුය. විජය ලක්ෂ්මිලාගේ පවුලටත් ඒ අමාරුකම් නැතුවා නොවේ. ඇය දිනකට උපයන රුපියල් දහසත්, සැමියා ගෙදර වියදමට දෙන රුපියල් එක්දහස් පන්සියයත් අතරින් මුදලක් දරුවන් වෙනුවෙන්ද තවමත් වෙන් කරන්නීය. කොළඹ කුලී ගෙදරක දිවි ගෙවන ඔවුන්ට ඔවුන්ගේම කියා නිවසක සිහිනයක් ඇතත්, ඒවා තවමත් ඔවුනට සිහින පමණකි.

මේ රැකියාවේදී විජය ලක්ෂ්මිටද අත්දකින්නට වූ විවිධ අත්දැකීම් තිබේ. පාරේ කරන රැකියාව නිසාදෝ මිනිසුන් තමන් දෙස වපර ඇසින් බලන අවස්ථාවන්ද ඇති වග ඇය කියන්නීය.

‘‘සමහරු අයුතු විදියට අපි දිහා බලනවා. අයුතු යෝජනා ගෙනෙන අවස්ථාත් තියෙනවා. මොනවහරි කටකැඩුණු කතාවක් කියන්න තමයි බලන්නේ. මම කොළඹ වෙන තැනක රස්සා කරද්දී එහෙම එක පුද්ගලයෙක් මට අයුතු යෝජනාවක් කළා. මට ඒ වෙලාවේ ගොඩක් කේන්ති ගියා. ලැජ්ජා හිතුණා. මම ඒ මිනිහට පාරවල් කිහිපයක් ගැහුවා. අන්තිමේ ඒ මනුස්සයා පැනලා දුව්වා. ඇත්තටම අපි කරන්​නේ රස්සාවක්. ඒ රස්සාව පුංචි වුණාට ගෞරවයෙන් ඒ රස්සාව අපිට කරන්න පුළුවන්.’’

එය එසේ වුවත්, මේ රැකියාව නිසාම හිත රිදුනු අවස්ථා තිබේ. ඇයටද අමතක නොවන එවන් සිදුවීමක් ඇත. ඒ පාර්කින්වලට මුදල් ඉල්ලූවිට කේන්තියෙන් කනට ගැසූ පුද්ගලයෙකු පිළිබඳ අහිමිරි මතකයයි. ඇතැමෙකුගේ වදන් එවැනි කනේ පහරවල්වලටද වඩා සැරවන අවස්ථා ඇති බව ඇය කියන්නේ අහිංසක සිනාවක් පාමිනි.

දැනට පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිට යතුරුපැදි රථගාල භාරව කටයුතු කරන සීතා මානෙල් හැටපස් හැවිරිදිය. ඇයගේ පදිංචිය මෝදරයි. වසර 11ක පමණ කාලයක් රථවාහන පාලිකාවක් ලෙස කටයුතු කර අත්දැකීම් සමුදායක් ලබා ඇත්තියකි. දිනක් ඇය විසින් අතපසු කර ගිය මුදල් පසුම්බියක් අහුලා අයිතිකරු සොයා දුන්නේ තම රැකියාවට එහා ගිය වගකීමකිනි.

‘‘බිම වැටිලා තිබුණ මුදල් පසුම්බිය මම අහුල ගත්තා. ඒක බලද්දි ඒකෙ තිබුණ රුපියල් 65000ක මුදලක් තිබුණා. මම ඒක අයිතිකරුට දුන්නා. ඒ මහත්තයා රුපියල් 1000ක් මට දීලා නොසෑහෙන්න ස්තූති කළා. එයා කොළඹ ඇවිල්ලා තියෙන්නේ ගෙදරට බඩු වගයක් ගන්න. මම නොසිටියා නම් ඒ කෙනාට ලොකු කරදරේකට මුහුණපාන්න වෙනවා. මම ඔහුට කළ උදව්වෙන් මානසික සතුටක් ලැබුවා. ඒ වගේම එකපාරක් රුපියල් 53000ක් වටිනා මොබයිල් එකක් වැටිලා තිබිලා අහුලලා දුන්නා. පොඩි මොබයිල් නම් ගොඩාක් අහුලලා දීලා තියෙනවා.’’

සතියේ දින පහේම රාජකාරියට එන ඇය ලැබෙන වැටුප වැඩිපුර යොදවන්නේ තම දරු මුණුබුරන් වෙනුවෙනි.

‘‘මම තවමත් මගේ දරුවන්ට උදව් කරනවා. අදත් මම රුපියල් පන්දාහක් මගේ මුණුබුරාට දීලා ආවේ. එයාගේ ලයිසන් එක ගන්න.’’

ඒ වදන්වල දුකක් නැත. දුක ඇත්තේ පාර්කින් ටිකට් එක කඩන විට ඇතැම් මහත්වරුන්ගේ මුවෙන් නික්මෙන වදන්වලටය.

‘‘ගොඩක් කට්ටිය ඇවිල්ලා කාර් එක හරි යතුරුපැදිය හරි නවත්තලා යන්නේ සතුටින්. අපි ලක්ෂ ගාණක් වටින දේ ඇස් දෙක වගේ බලා ගන්නවා. ඒත් ආපහු ඇවිල්ලා සල්ලි නොදී හොරෙන් යන්න හදනවා. නැතිනම් අපිට බණිනවා. අපිට බණින්නෙපා. අපි කරන්නෙ රැකියාවක්. ඒකට නිසි ගෞරවයක් ලබාදෙන්න. හොඳින් කතා කරන්න. සල්ලි නැත්නම් කියන්න, අපි සත්තු නෙමේ මිනිස්සු. අපිට මානසිකව වද දෙන්න එපා.’’

ඇයගේ ඉල්ලීම බොහෝ සාධාරණය. පාර්කින් ගාස්තුවට අමතරව, ඔවුන් සන්තෝසම් ඉල්ලන්නේ නැත. ඔවුන් ඉල්ලන්නේ ඔබ ලබාගත් සේවයට ලබාදිය යුතු මුදලයි.

ටෙලිකොම් ගොඩනැගිල්ල පිටුපස රථගාලේ පාලිකාවක් ලෙස කටයුතු කරන V.M. ස්වර්ණා හැත්තෑ හැවිරිදි වුවද තවමත් දුව පැන රථ ගාල බලාගන්නේ ඉතාමත් කඩිසරවය.

‘‘මමත් මේ රස්සාවෙ වැඩියෙන්ම අහල තියෙන්නෙ බැණුම්. වෙලාවකට එපා වෙනවා.මිනිස්සු තමන් ගැනම විතරයි හිතන්නේ. එක දවසක් මහත්තයෙක් කාර් එකක ආවා. වාහනේ පාර්ක් කරන්න මම උදව් කළා. පැය දෙකකින් විතර ඇවිත් යන්න හදනකොට මම සල්ලි ඉල්ලන්න ගියා. මට ඉතාමත් පහත් විදියට බැණලා ගහන තරමටම ආවා. මට ඇඬුණා මම කිව්වා මහත්තයා සල්ලි නැත්නම් යන්න කියලා. වටේ හිටපු මිනිස්සු දොස් කිව්වට පස්සේ සල්ලි දීලා යන්න ගියා. දරුවන්ට බරක් වෙන්න කැමති නෑ. මට පුළුවන් තරම් කාලයක් රස්සාවට එනවා. මම හැමදාම උදේට එන්නේ රාගම ඉඳලා. හවස පහට විතර ආපහු වැඩ ඉවර වෙලා යනවා. ජීවිතේ සතුටින් කාටත් බරක් නොවී ගෙන යන්න තමයි මම උත්සාහ කරන්නේ. ඇඟේ හයිය නැති වුණත් තාම හිතේ හයිය තියෙනවා. අපි වගේ කට්ටිය ගොඩක් ලංකාවේ ඉන්නවා. අපි කරන්නෙ ගෞරවාන්විත රැකියාවක්.’’

ඔවුන් දෙස දයාවෙන් සිනාවක් පාන්නට හැකි නම් ඔවුන්ට මිල කළ නොහැකි සතුටක් ගෙනෙන්නකි. විජය ලක්ෂ්මිලා, මානෙල්ලා, ස්වර්ණලා ඉල්ලන්නේ ඒ දයාවය. ඒ මනුස්සකමය.

හේමන්ත ලියනපතිරණ