ඉදිරියේදී රට තුළ දරුණු ආහාර හිඟයක් – කථානායක කියයි
අද රට තුළ පවතින ඉන්ධන, ගෑස්, විදුලි හිඟයට වඩා දරුණු ආහාර හිඟයක් ඉදිරියේදී ඇති විය හැකි බව කථානායකවරයා පවසනවා.
ඒ අද (06) උදෑසන පාර්ලිමේන්තුව ආරම්භයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින්.
රට මේ වනවිට මුහුණදී ඇති අර්බුදය ව්‍යවස්ථාමය රාමුවක් යටතේ විසඳීමට කටයුතු කරන ලෙසත් මේ සතිය අවසන් වීමට පෙර එකඟතාවකට පැමිණෙන ලෙසත් කථානායක මහින්ද යාපා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා.
“අද මේ විවාදය පවත්වන්නේ අප දන්නා ඉතිහාසයේ, අප රට තුළ ඇති වු දරුණුතම ආර්ථික අර්බුදයක ආරම්භයේ බව සිහිගන්වමි. මෙය අර්බුදයක ආරම්භයක් ලෙස මම සඳහන් කරනුයේ, මා හට දැනෙනා ලෙසට මෙය තව උග්‍ර වීමට ඉඩ ඇති බවට ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවන නිසාය. අද පවතින ඉන්ධන, ගෑස්, විදුලි හිඟයට වඩා ඉදිරියේ දී දරුණු ආහාර හිඟයක් ඉදිරියට ඇති විය හැකි බවට අනුමාන කරයි. එය එසේ සිදුවේවි ද නැතිනම් එය යම්තාක් දුරටකට හෝ පාලනය කරගන්නේ අප සියලුදෙනා මේ සතිය තුළ ක්‍රියාකරන ආකාරය මත යැයි මා විශ්වාස කරමි.”