මීළඟ ජනපතිගේ නමට අකුරු තුනයි – පෙත්තප්පු කෙනෙක් අනාවැකි කියයි
මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව පැවසෙයි. එනිසාම අප රටේ නව ජනාධිපතිවරයා කවුරුන්ද යන්න දැනගැනීමට බොහෝදෙනෙකු තුළ දැඩි කුතුහලයක් පවතින බවද පෙනෙන්නට ඇත. ඒ අතර විවිධ සමීක්ෂණ වාර්තාවලට අනුව ඉදිරි ජනාධිපතිවරණ සටනේ මේ වනවිට ඉදිරියෙන් හිඳින අපේක්ෂකයන්ගේ නම් ද ප්‍රකාශ වෙමින් තිබේ. නමුදු පසුගිය ජනාධිපතිවරණවලදී මෙන් ජ්යෝතීර්වේදයට අනුව අප රටේ මීළඟ ජනාධිපති වනුයේ කවරකුද? යන්න පිළිබඳ ප්‍රබල අනාවැකියක් මේතාක් ඉදිරිපත්ව නැත. ඊට හේතුව ඇතැම් ජ්‍යොතිර්වේදීන් එවන් අනාවැකි පළකළද, මෙරට සාමාන්‍ය ජනතාව පසුගිය ජනාධිපතිවරණවලදී පැවසුණු කෙප්ප කෙබර අනාවැකි නිසා ජ්‍යෝතීෂ්‍යය සම්බන්ධයෙන් පැවැති විශ්වාසය පළුඳු කරගෙන තිබීම නිසා යැයි මට සිතේ.
මෙවන් පසුබිමක් තුළ අප රටේ මීළඟ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අනාවැකි පළකරන ගිරවකු පිළිබඳ රසවත් පුවතක් මට පසුගිය දිනයෙක අසන්නට ලැබිණ.
ඒ කළුතර පදිංචි විද්‍යා – ගණිත ගුරුවරයකු වන රංජිත් සුබසිංහ මහතා වෙතිනි. ඔහු පැවසූ අන්දමට ඒ අරුම පුදුම ගිරවා වාසය කරනුයේ කළුතර දිස්ත්‍රික්කයත් කොළඹ දිස්ත්‍රික්කයත් මායිම් වන ගම්මානයකය. ඒ ගිරවාගේ හිමිකරු හතළිස් පස්වියැති අවිවාහක කාර්මික ශිල්පියෙකි. ජීවිතයේ තරුණ වියේ සිටම අමුතු අමුතු දේවල් නිර්මාණය කළ නවෝත්පාදකයකු ලෙස තරමක ප්‍රසිද්ධියක් උසුලන ඔහු වෙසක් උත්සව සඳහා අමුතු සැරසිලි ඉදිරිපත් කිරීම නිසා ද ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත්වූවෙකි. අතට හසුවන ඕනෑම කාර්මික වැඩක් කිරීමෙන් මුදල් උපයාගන්නා ඔහුට මේ අනාවැකි කියන ගිරවා හමුවී ඇතතේ මීට අවුරුදු දෙකකට පමණ ඉහත එම ප්‍රදේශයේ පිහිටි දේවාලයක ගස් බෙනයකිනි. එවක කුඩා ගිරා පෝතකයකු වූ මෙම පක්ෂියා පසුව කතා කිරීමට පටන්ගත් බවත්, ඉන් පසුව විවිධ අනාවැකි කීම ඇරඹූ බවත් ඒ කාර්මික ශිල්පියා තම හිතවතකුට කියා තිබේ.
“දැන් කවුහරුරි ඒ ගිරවා ළඟට ගිහින් ‘පෙත්තප්පු කවුද අපේ රටේ මීළඟ ජනාධිපති?’ කියලා අහනකොට ඒ ගිරවා ‘නමට අකුරු තුනයි’ කියලා බොහොම පැහැදිලිව කියනවලුනේ.” ඉහත සඳහන් පුවත මා හමුවේ කී රංජිත් සුබසිංහ මහතා කීය.
“එතකොට වෙන කවුද ඒ ගෙදර ඉන්නේ?” ඔහුගේ එම කතාවෙන් ඇතිවූ කුතුහලය මුල්කොට මම ඇසීමි.
“එයාගේ අම්මා නම් ගෙදර ඉන්නවා. ඒ මනුස්සයා ඉස්සර ආරූඪෙකින් සාත්තර කියලා තියෙනවා. ඒත් දැන් ඒ ආරූඪය නෑ.” රංජිත් සුබසිංහ මහතා කීය.
“එහෙනම් ඒ ආරූඪය ගිරවාට ඇවිත්ද දන්නෙ නෑ නේද?” මම සරදමක් ලෙසින් ඇසුවෙමි.
“කොහොමත් කවුරුහරි ඒ ගිරවා ළඟට ගිහින් ‘පෙත්තප්පු කවුද මේ රටේ මීළඟ ජනාධිපති?’ කියලා අහනකොටම ඒ ගිරවා ‘නමට අකුරු තුනයි’ කියන කතාව නම් ඇත්ත. මොකද අපේ ඉස්කෝලේ ටීචර් කෙනෙකුත් ඒ ගිරවා එහෙම කියනවා අහලා තියෙනවා.” ඔහු කීය.
ඒ ගිරවාගේ අනාවැකිය සම්බන්ධයෙන් වැඩිදුර සිතා බලනවිට උගේ ප්‍රකාශයෙහි යම් ඇත්තක්ද තිබිය හැකි යැයි යමෙකුට එක්වරම සිතෙනු ඇත. ඒ රනිල්, බැසිල්, අනුර, නාමල්, දිලිත් ආදී වශයෙන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි යැයි අපේක්ෂා කරන්නවුන් වැඩිම දෙනෙකුගේ නම් අකුරු තුනකින් යුතු බැවිනි. නමුත් ගිරවුන් ඇතුළු මිනිස් කටහඬවල් අනුකරණය කළ හැකි පක්ෂීන් එසේ කරනුයේ ඔවුන්ගේ මොළයේ පවතින ව්‍යුහාත්මක විශේෂත්වයක් මත තමන් අනුකරණය කරන මිනිස් හඬෙන් මතුවන අරුත පිළිබඳ කිසිඳු දැනීමකින් නොවේ.
“හැබැයි ඔය ගිරවාගේ අනාවැකි කීමේ ඇත්ත කතාව බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. අනික ඔය සත්තු කතා කරන්නේ කියන දේ ගැන අවබෝධයකින් නෙවෙයි කියන එක හැමෝම දන්න දෙයක්නේ. ඒකනේ අර කතාවටත් කියන්නේ ගිරව් වගේ කටපාඩම් කරගෙන කියලා. මම නම් හිතන්නේ ඒ ගිරවා ළඟ තියාගෙන ඉන්න මනුස්සයා මොකක්හරි අරමුණකින් ඒ සතාව ඔහොම වචන දෙක තුනක් කියන්න පුරුදු කරලා තියෙනවා.”
“අර ඔයා එදා කියපු කතාව ඇත්ත. දැන් අර මනුස්සයා අර ගිරවව හංගලාලු. පසුගිය කාලේ එක එක යූටියුබ්කාරයෝ ඒ ගිරවා ගැන ප්‍රෝගෑම් කරන්න අහලා තියෙනවා. ඒත් ඒ මනුස්සයා ගිරවව දෙන්න බර ගාණක් ඉල්ලලා තියෙනවා. ඔය අතරේ තමයි තව කවුරුහරි කියලා තියෙන්නේ ඔය වැඩේ නම් කරන්න එපා, වන සත්ව සහ වෘක්ෂලතා ආඥා පනතේ හැටියට ගිරව් වගේ සත්තු ඇතිකරන එක නීතියෙන් තහනම්, ඒ හින්දා ඔය වැඩේ කළොත් ඔය ගිරා සාත්තරේ කොහොම වුණත් ඔහේට දඩ කන්න හරි හිරේ යන්න හරි වෙයි කියලා.” ඊට පසු දිනයෙක මා හට දුරකතන ඇමතුමක් දුන් රංජිත් සුබසිංහ මහතා කීය.
“ඒත් දැන් මිනිහා ගිරවා හංගාගෙන කියන්නේ මොකක්ද දන්නවද?” ඉන් අනතුරුව හෙතෙම ඇසීය. “මිනිහා කියනවලු ඔය විදියට ගිරවව හැමෝම අතරේ ප්‍රසිද්ධ වුණොත් අම්මගේ දේව වරම වගේ ගිරවගේ අනාවැකි කීමත් නැතිවෙයි කියලා ගිරවා එළියට දෙන්නේ නෑ කියලා.” ඔහු කීයේ සිනාසෙමිනි.
තිලක් සේනාසිංහ