Latest News

පාස්පෝට් කාර්යාලයේ දී ඉපදුණු බිළිඳිය සුවෙන් ගෙදර යයි

බත්තරමුල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදෙස්ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා පැමිණි කාන්තාවක් පෝලිමේ සිටියදී බිහිකළ බිලිඳිය මාස පහකට පසු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නිවෙසට රැගෙන ගොස් තිබෙනවා.

ඊයේ (13) පෙරවරුවේ මෙලෙස එම බිලිඳිය සිය මව සමග රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. කාසල් වීදියේ කාන්තා රෝහලේ නව ජන්ම ළදරු ඒකකයේ විශේෂඥ වෛද්‍ය බුද්ධිම ජයසිංහ ප්‍රකාශ කළේ බිලිඳිය සහ මව මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

පසුගිය ජූලි මස හත්වැනිදා හැටන් ප්‍රදේශයේ කාන්තාවක් බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා සිය සැමියා සමග පැමිණ සිටියදී ඇයට ප්‍රසූත වේදනාව ඇති වී තිබෙනවා.

එම අවස්ථාවේදී බත්තරමුල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවකයින් සහ එහි රාජකාරියේ නිරතව සිටි යුද හමුදා නිලධාරින් යුහුසුළුව ක්‍රියාත්මක වී ගිලන් රථයකින් එම කාන්තාව බොරැල්ලේ කාසල් වීදියේ කාන්තා රෝහලට ඇතුළත් කරනු ලැබුවා. අදාළ කාන්තාව රෝහලට එන අතරතුර බිලිඳියක් බිහිකර තිබෙනවා.

එම බිලිඳියගේ උපත් බර සටහන් වී තිබුණේ ග්‍රෑම් පන්සියයක් වැනි ප්‍රමාණයක්. බිලිඳියගේ ජීවිතය බේරාගැනීමට අවස්ථා තුනකදී පමණ වෛද්‍යවරුන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ නව ජන්ම ළදරු ඒකකයේ විශේෂඥ වෛද්‍ය බුද්ධිම ජයසිංහ ප්‍රකාශ කර සිටියා.

පසුව බිලිඳිය මාස පහක පමණ කාලයක් රෝහලේ වෛද්‍යවරුන්ගේ දැඩි නිරීක්ෂණය මැද නොමේරු ළදරු ඒකකයේ සහ විශේෂිත ප්‍රතිකාර ඒකකයේ රඳවා ප්‍රතිකාර කරනු ලැබුවා. පාස්පෝට් පෝලිමේදී බිහිකළ මෙම බිලිඳිය මියගිය බවට පසුගිය කාලයේ සමාජ මාධ්‍යවල පුවත් ප්‍රචාරය කෙරුණා. කෙසේ වෙතත් වෛද්‍යවරු පවසන්නේ මෙම බිලිඳිය මරණයෙන් උපන් දියණියක් බවයි.