නවතම ප්‍රවෘත්ති

කසාද බැඳලා ළමයි හදන එක ගැහැනියකගේ එකම හීනය වෙන්න ඕන නෑ

වෛවර්ණ ඇඳුම් ආයිත්තම්වලට පෙම් බඳින බොහොමයක් තරුණියන් අතරේ කරාතේ ඇඳුමට පෙම් කරන තරුණියක් මුණගැසීම තරමක් විශේෂයි. මොකද ඒ ඇඳුම ඇඳීමේ අවසරය ලැබෙන්නේ ආත්මාරක්ෂක සටන් කලාව ප්‍රගුණ කරන කෙනෙකුටම විතරයි. ඉතින් කරාතේ ඇඳුම අඳින්න බහතෝරන වියේ සිටම ආස කරපු තරුණියක් තමයි පවුෂි කෙහාරා. මේ වෙනකොට ඇගේ ඒ ආසාව කොයිතරම් දුර ගිහින්ද කිව්වොත් අද ඇය කරාතේ ක්‍රීඩාවෙන් කෙනෙක්ට යා හැකි උපරිම දුර වන කළුපටි ශ්‍රේණිය දක්වා ඇවිත් අවසන්. ඇගේ සුන්දර රුවෙන් තමයි අද දවසේ ධරණීකවරය හැඩවෙලා තියෙන්නේ.

මගේ තාත්තා කුංෆු මාස්ටර් කෙනෙක්. ඉතින් මං පුංචි කාලේ එයා සටන් කරන හැටි ආසාවෙන් බලාගෙන ඉන්නවා. මට මතකයි එහෙම බලාගෙන ඉඳලා මමත් කාමරේට ගිහින් දොර වහගෙන ඒ වගේ පුරුදු වෙනවා. ඊටපස්සේ ටිකක් ලොකු වෙනකොට මං ඒ ශිල්පය ගැන හොයන්න පටන්ගත්තා. ඔය අතරේ තමයි කුංෆු වගේම ක්‍රීඩාවක් වන කරාතේ ගැන දැනගන්න ලැබුණේ. ඇත්තටම මට කුංෆුවලටත් වඩා ඒකට ආස හිතුණා. ගොඩක්ම ආස හිතුණේ කරාතේ ඇඳුමට. එතකොට මට හරියටම වයස අවුරුදු දහයයි.

ඒ තමා කරාතේ ක්‍රීඩාවට පැමිණි ආකාරය ගැන පවුෂිගේ මතකයයි. එතැන් පටන් ඇගේ හීනය වුණේ එම ක්‍රීඩාවෙන් ඉදිරියට ‍යාමය. පවුෂිගේ හීනය බොඳ කරනු වෙනුවට ඒ හීනය පාට කරනු වස් ඇගේ දෙමව්පියෝ වයස අවුරුදු 11ක් පමණ වෙද්දී ඇයව කරාතේ ඉගෙනීමට ජාත්‍යන්තර කරාතේ දෝ ශෝටෝනන්කුකායි සිංගප්පූරු ශාඛාව වෙත යැවූහ.

මං කොච්චර උනන්දුවෙන් කරාතේ ඉගෙනගත්තද කිව්වොත් අවුරුදු තුනක් ඇතුළත යන්න පුළුවන් උපරිම දුර ගියා. ඒ කියන්නේ මට අවුරුදු 14ක් වෙනකොට මං කළුපටි ශ්‍රේණියට උසස්වීම් ලැබුවා. කරාතේවල පටි (Belts) නවයක් තියෙනවා. ඒක මේ සටන් කලාව ප්‍රගුණ කරන කෙනෙක් ආරම්භයේ ඉඳලා දක්වන ප්‍රගුණතා මට්ටම් අනුව පිරිනැමෙන උසස්වීමක්. කෙනෙක් මේ ක්‍රීඩාව ප්‍රගුණ කරන්න දක්වන වෙහෙස හා ඔවුන්ගේ විනය මත එක එක මට්ටම්වලදී තමයි විවිධ පැහැයෙන් යුතු බඳපටි දෙන්නේ. ඒ අතරින් කළුපටිය’ (Black Belt) තමයි කරාතේ ක්‍රීඩකයෙක්ට ලැබෙන ඉහළම පටිය. ඒක ගන්න ලේසි නෑ. ඒත් මං දැන් එතැනට ඇවිත් ඉවරයි.

පවුෂිට තවමත් වයස අවුරුදු 20කි. එතරම් පුංචි වයසකදී ඇය මෙවන් දුරක් පැමිණ තිබීම පිටුපස තවත් රහසක් ඇති බවයි ඇය අපට පැවසුවේ.

මගේ අක්කා ආකර්ෂණ නීතිය පිළිබඳ ඉහළට හදාරපු, ඒක 100% ක් විශ්වාස කරන කෙනෙක්. ආකර්ෂණ නීතිය කියන්නේ සිතූ පැතු සියල්ල ලබාදෙන විශ්වයේ නීතියක්. ඉතින් අක්කා නිසා මටත් ඒ ගැන හදාරන්න ආසාවක් ආවා. ඒ අනුව මමත් තේරෙන වයසේ ඉඳන්ම ආකර්ෂණ නීතිය හැදෑරුවා සහ ඒක විශ්වාස කළා. ඒ හරහා මගේ ජීවිතේට ලැබුණු දේවල් බොහොමයි. කරාතේ ක්‍රීඩා කරද්දි හොඳ ආත්මවිශ්වාසයක්, මානසික මට්ටමක් අපි තුළ තියෙන්න ඕනේ. ජීවිතේ වුණත් ඉස්සරහට යන්න නම් අපට ධනාත්මක අදහස් තියෙන්න ඕනේ. ඒ හැමදේම ආකර්ෂණ නීතිය හැදැරීමත් එක්ක මට නොඅඩුව ලැබුණා.”

ලෝකයේ වේගයෙන් ඉදිරියට යන බොහෝ මිනිසුන් ආකර්ෂණ නීතිය හදාරන බව රහසක් නොවේ. පවුෂිද ඒ අතරින් කෙනෙකි. එයින් ලද ආශිර්වාදයත් ඇගේ දක්ෂතාවයත් නිසා මේ වනවිට පවුෂිගේ නම ඉදිරියේ කරාතේ ක්‍රීඩාවෙන් ලද ජයග්‍රහණ රැසක්ම සනිටුහන් වී ඇත.

කෙටි නිවාඩුවකට ලංකාවට ආවට මගේ ජීවිතේ වැඩි කාලයක් ගෙවුණේ සිංගප්පූරුවේ. මොකද අම්මා තාත්තා දෙන්නම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ රැකියා කරන අය. ඉතින් එහේ ඉන්න කාලේ මං සිංගප්පූරුවේ වගේම චීනයේ තිබුණු කරාතේ තරඟාවලි ගණනාවක්ම නියෝජනය කළා. ඒ තරඟවලින් රන් පදක්කම් ඇතුළුව ජයග්‍රහණ රැසක්ම හිමිකරගන්න පුළුවන් වුණා.”

කරාතේ හපන්කම් ගැන එකපෙළට කියාගෙන යද්දී තරමක් හිතුවක්කාර ප්‍රශ්නයක්ද ඇගෙන් අසන්නට සිතුණි. එනම් පිරිමින් කීදෙනෙක් සමඟ තනිව සටන් කළ හැකිද යන්නයි.

කරාතේ කියන ඇත්තටම ආත්මාරක්ෂක සටන් කලාවක්. ඒත් සටන් ක්‍රීඩාවක් විදියටත් පුහුණු වෙන්න පුළුවන්. අපිට කළුපටි ලැබුණම දහයක් දොළහක් එක්ක වගේ තනියම සටන් කරන්න දානවා. ඒ වෙලාවට ඉතින් කොහොමහරි දිනන්න ඕන. එහෙම බැලුවම සාමාන්‍ය පිරිමි පහක් හයක් එක්ක වගේ තනියම සටන් කරලා බේරෙන්න පුළුවන්. කොහොම වුණත් තරුණියක් විදියට කරාතේ ක්‍රීඩාව ප්‍රගුණ කරපු එක ගැන මං සතුටුවෙනවා. මොකද රටේතොටේ අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක ඒක මට ආභරණයක් වගේ.”

කරාතේ ක්‍රීඩාවට පමණක් නොව පවුෂි චෙස් ක්‍රීඩාවටද උපන් හපනියකි. විදෙස් තරඟාවලි රැසක් නියෝජනය කරමින් චෙස් ක්‍රීඩිකාවක් ලෙසද ඇය බොහෝ ජයග්‍රහණ ලබාගෙන ඇත. තවද ඉදිරියේදී අංගම්පොර කෙරෙහි යොමුවීමේ කැමැත්තක්ද ඇයට තිබේ. මේ අතර ක්‍රීඩාටම නොදෙවෙනි ඇගේ සාර්ථක වෘත්තීය ජීවිතය ගැනද නොකියාම බැරිය.

මං පුංචි කාලේ හිතාගෙන හිටියේ ඉංජිනේරුවරියක් වෙන්න. ඒ හීනය වෙනුවෙන් මේ වෙනකොට මං පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හරහා ඉංජිනේරු උපාධිය හදාරනවා. තව පුංචි කාලයකින් මට ඒ තැනට එන්න පුළුවන්. හැබැයි මං මේ වෙනකොට මෘදුකාංග ඉංජිනේරුවරියක් (Software Engineer) විදියට කටයුතු කරනවා. සිංගප්පූරුවේ EC කවුන්සිලයට සම්බන්ධවෙලා ඊට සම්බන්ධ ව්‍යාපෘති සහ මෘදුකාංග නිර්මාණය කරනවා. මේ දවස්වල ලංකාවේ ඉන්න නිසා ඔන්ලයින් හරහා තමයි ඒ දේවල් කරගෙන යන්නේ.”

විදෙස් රටක අධ්‍යාපනය ලැබූ නිසාදෝ සම වයසේ අනෙක් තරුණ තරුණියන්ට වඩා වැඩි වේගයකින් ඇය තමන්ගේ හීනවලට යමින් සිටින්නීය.

මෙච්චර පුංචි වයසකින් මං ගොඩාක් දුර ආපු එක ගැන සතුටුයි. ඒකට හේතුව මගේ අම්මයි තාත්තයි. එයාලා කවදාවත් මට නීතිරීති දාලා කොටුකරලා නෑ. ඒ අය නිතරම කියන කතාවක් තමයි කෙල්ලෙක් කියන්නේ විවාහයක් කරගෙන කුස්සිය මුල්ලට කොටුවෙන්න ඕන කෙනෙක් නෙවෙයි කියලා. අද ගොඩාක් අයට වෙලා තියෙන්නේ ඒක. විවාහ වෙන්න, දරුවෝ හදන්න වගේ හීන තියාගත්තට කමක් නැහැ. ඒත් කාන්තාවකගේ එකම සිහිනය එය විය යුතුයි කියලා මම හිතන්නේ නෑ

ඇගේ ඇතැම් වචනද කරාතේ තරඟයක නොසිතූ මොහොතක එල්ලවෙන පා පහරවල් වැනිය. එහෙත් ඒවායෙන් ගතයුතු දෑ බොහෝය.

ගොඩාක් තරුණියෝ හිතන්නේ වයස දහඅට වෙනකොට ආදරේ කරලා විවාහයක් කරගත්තම ජීවිතේ අංගසම්පූර්ණයි කියලා. එහෙම නෑ. කාලයක් ගියාම ඒ අයට තේරුම් යනවා අනේ අපේ ජීවිත හිස්නේ කියලා. ඒ නිසා මං කියන්නේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. බය නැතුව හීන දකින්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. එතකොටයි ඒ හීන හැබෑ කරගන්න පුළුවන් වෙන්නේ. එතකොටයි ජීවිතේ වැඩිපුරම ලස්සනට දැනෙන්නේ.”

 

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප ක්‍රිෂාන් කාරියවසම්