ගෙදර බුදුන්ටත් බැරිනම් මේ ගින්න නිවන්න කාටවත් බෑ
ඇවිලෙන්න එපා නිවෙන්න! අවුලන්න එපා නිවන්න!
මේ ඇවිලී ගිය මහා ගින්නකින් පසු, බොහෝදෙනා මුමුණන්නට වූ වදන් කිහිපයකි. දැන් දැන් එහෙම කියන්නේ විටෙක අවුළුවාලූ අයම වුවද, නිවීම තරම් සැනසුමක් මේ මිහිමත නොවන නිසා නැවතීමත් නිවීමත්, ඇවිලීම සහ අවුළුවාලීමට වඩා බෙහෙවින් වටිනා බව බොහෝ දෙනෙකුට පසක් වී ඇති බව පෙනෙයි.
ප්‍රචණ්ඩත්වය හැමදාමත් මිනිස් සමාජයට ඉතිරි කරන්නේ විනාශය බව අමුතුවෙන් කිව යුතු නැත. ඉකුත් දා මෙරට සිදුවූ සිද්ධි දාමය තුළද මනුෂ්‍යත්වය යටපත්ව, ජීවිත සහ දේපළ හානි මෙන්ම මිනිසුන් මිනිසුන් කෙරෙහි වෛරී සහගතව හැසිරෙන අයුරු දක්නට ලැබුණි.
දැන් ඒ ගිනිදළු ක්‍රමයෙන් නිවී යමින් ඇති නිසාත්, මේ ගෙවීයමින් තිබෙන්නේ උතුම් වෙසක් සතිය නිසාත්, අද දවස ගැන වඩාත් අවධානය යොමුකොට ජීවන අරගලයට මුහුණදීමට අප කාටත් සිදුව ඇත. ඒ අතරතුර, නිවුණු සැනසුණු ජීවිතයකට වැදගත්වන කරුණු කාරණා බුදුදහම ඇසුරින් සොයාගැනීමත්, ඒ කරුණු ඔස්සේ යහපත් සිහිකල්පනාවෙන් යුතුව කටයුතු කිරීමත් වැදගත් වනු ඇත.
පුද්ගල ජීවිතයේ පැවැත්මට පිරිසිදු වායුව, පෝෂ්‍යදායී ආහාර, හිසට සෙවණ, ලෙඩට දුකට ඖෂධ සේම සමකාමී සමාජ පරිසරයක් තිබීමද වැදගත්ය. ජීවිතයට සුරක්ෂිත බවක් දැනෙන්නේ එවන් සාමකාමී වටපිටාවකදීය.
දොෂො ප්‍යස්ති ගුණෝ ප්‍යස්ති
නිර්දොෂො නෛව ජායතෙ
සුඛුමාලස්ස පද්මස්ස්‍ය
නාලො භවති කර්කෂ
මෙහි තේරුම වන්නේ සුකුමාල මටසිළුටු නෙළුම් මලෙහි වුව නටුව කර්කෂ බවයි. එමෙන්ම සම්පූර්ණ නිදොස් වූවෙක් මේ ලෝකයේ නොමැත. එබැවින් වරදක් වූ පලියට එය රටට හුවා දක්වමින් පුද්ගලයා කෙලෙසීම, අපකීර්තිය පැතිරවීම පහත් සිරිතක් මිස, ශිෂ්ඨ සම්මත සමාජය තුළ සිදු නොවිය යුත්තක් සේ සලකනු ලබයි.
තම පිරිසිදු බව හෝ අපිරිසිදු බව පවතින්නේ තමන් තුළමය. කෙනෙකුට කෙනෙක් පිරිසිදු කිරීම හෝ අපිරිසිදු කිරීම කළ නොහැකි බව ධම්ම පදයේද සඳහන් වෙයි. තමා උපමාකොට ගනිමින්, අනුන් දෙස බැලීමත්, තමන් විඳින්නට අකමැති දුක් වේදනා අනුන් වෙත නොදීමටත්, රටක පිළිගත් ශිෂ්ඨ සම්මත නීතියට අනුව කටයුතු කිරීමත්, තම සිත නිවා ගැනීමටත්, ඇවිලෙන සමාජය නිවීමටත් හේතු වේ.
කුද්ධො අත්ථං නජානාති
කුද්ධෝ ධම්මං නපස්සති
අන්ධං තමං තදා හොති
යං කොධො සහතෙ නරං
මින් කියැවෙන්නේ ක්‍රෝධ වූවකු අර්ථය නොදන්නා බවයි. ඔවුනට ධර්මය ගැන අවබෝධයක්ද නැත. හෙතෙම ක්‍රෝධය යටපත් කරගන්නා තුරු ක්‍රෝධය නමැති අඳුරෙන් වැසීගිය පුද්ගලයෙකු ලෙස සැලකේ. එහෙත් ද්වේශයක්, තරහවක් උපදින විට ඉවසීමෙන් මෛත්‍රියෙන් කටයුතු කිරීමට තරම් අප මනසින් උසස්විය යුතු නොවේද? මිනිස් සිත වාගේම සමාජය, ජන ජීවිතය අවුළුවාලන ක්‍රෝධය, මුලිනුපුටා දැමීමට නම් කවරෙකු හෝ අඩියක් පසුපසට තැබීම යහපතකි.
නාලාගිරි හස්තියාට රා පොවා බුදු හිමියන් වඩින පෙරමගට එව්වේ උන්වහන්සේ නසන්නට නමුත්, තම මෛත්‍රී සහ කරුණාබර බව හමුවේ එම සත්වයා දමනය වූ අපූරුව ගැන අප අසා ඇත්තෙමු. එම කරුණාවම මෛත්‍රියම සමාජය වෙත මුදාලමින්, මිනිසුන් වූ අපට නිවෙන්නටත්, හරි වැරැද්ද වටහා ගනිමින් ඒ ගැන තවකෙකුට වටහා දීමටත් මිස අප පසු කරගෙන ආ ගෝත්‍රික සමාජයට නැවත යා යුතු නැත. වඩාත් සවිඥානික විය යුත්තේ, අපට නොගැලපෙන්නේ නම් එම දේශපාලනික ක්‍රමවේදය වෙනස් කරගැනීමට සාමකාමීව අරගල කිරීමයි.
ගෙදර සිටින ආදරණීය මවට, බිරිඳට තම ගෙදර පරිසරය හිත නිවන පරිසරයක් කළ හැකිනම්, ඒ නිවීම සමාජගත වන්නට වැඩි කාලයක් යන්නේ නැත. අම්මා කෙනෙක් කියන්නේ ගෙදර බුදුන්ය. තම පුතුට, දියණියට බාහිර පරිසරයකදී කරදරයක් හිරිහැරයක් වනවාට ඇය අකමැතිවා වාගේම තවත් මවකගෙ පියෙකුගේ දරුවෙකුට හිරිහැරයක් වෙද්දී හුරේ දමන්නට හැකි අම්මාවරුන් නැත. එතැනදී කාගේ හෝ බහකට රැවටී තරුණ මදය නිසා, එසේත් නැත්නම් වෛරය, ක්‍රෝධය පෙරදැරිව සිදුකරන විනාශයන්හි ආදීනව සමාජයක් තල්ලුකර හරින්නේ තව තවත් විනාශය වෙතයි. මෙතැනදි මෛත්‍රීසහගත නිවීමක් අවශ්‍ය වන්නේ පලිගැනීම හෝ එකටෙක කිරීම තුළ ඇවිලීමත් දැවීමත් මිස යහපතක් නැති බැවිනි.
සැඩපරුෂකම, චණ්ඩිකම, මැරවරකම, ද්වේශසහගත චරිතයක් ඇත්තෙකුගේ ලක්ෂණයි. ‘චණ්ඩික්ක ලක්ඛණෝ දොසො’ යනුවෙන් එය පැහැදිලි කර තිබේ. එමෙන්ම එවැනි පුද්ගලයෙකු ‘අරුකූපම’ හෙවත් පරණ වණය (තුවාලය) වැනි කෙනෙකි. පරණ වණය නිතර පෑරෙන බවත්, ද්වේශසහගත පුද්ගලයාගේ සිතද නිතර පෑරෙන බවත් දක්වා තිබේ. එය සිතට සැනසිල්ල අහිමි කරන්නකි.
“කෝපය ඇවිස්සෙන්න ඇවිස්සෙන්න අපේ සිරුරේ ලේ රත්වෙනවා. ඒක අපට හොඳ නැහැ. වරක් බුදු හිමියෝ අපේ ජීවිතය තුඹසකට උපමා කළා. ඒ තුඹසේ ජීවත්වෙන්නේ සර්පයෝ. කවුරුන් හෝ ඊට කෝටු කැබැල්ලක් දමා කැළඹුවහොත් සර්පයෝ පිඹගෙන එනවා. ඒ වගේම අපේ ශරීරය නමැති තුඹස තුළත් ඉන්න සර්පයෝ යම් කැළඹීමක් තුළ පුංචි සිදුවීමක් තුළ එළියට එන්න පුළුවන්. ඒ සර්පයා මර්ධනය කරන්න පුළුවන් වෙන්නේ මෛත්‍රිය කියන පැන් පොදකට විතරයි. එය පහසු නැහැ. එය සංසාරයේ පුරුදු කරලා තියෙන්න ඕන කාරණාවක්. වසල සූත්‍රයේ පෙන්වා දී ඇති ආකාරයට ක්‍රෝධය වසල ධර්මයක්.”
මේ ගැන විග්‍රහයේදී අතීත සිදුවීම්වලින් වාගේම වර්තමාන සිදුවීම්වලින්ද අපට උගතහැකි පාඩම් බොහොමයක් තිබේ. බලය, ක්‍රෝධය හෝ පලිගැනීමේ චේතනා හේතුවෙන් අතීතයේ මහා මිනිස් සංහාරයක් සිදුවුණි. කාලයක් පුරාවට එහි ප්‍රතිඵල භුක්ති විඳි අප, අද දවසේත් ක්‍රෝධය දළුලා වැඩෙන්නට ඉඩ දෙමින් පාලකයින් වගේම රටවැසියන්ද අතීතය වර්තමානයට රැගෙනවිත් තිබේ. ඉන් සිදුවූ ජීවිත හා දේපළ හානි තවමත් නිමක් නැත. මේ තුළින් සිදුවන්නේ අප මාතෘ භූමිය තව තවත් අස්ථාවර වීමයි. එයින් අඳුරු වන්නේ රටේ දීප්තිමත් අනාගතය වන අතර, රටක් ලෝකයක් ලස්සන කළ හැක්කේ ආදරය, කරුණාව හා ළෙංගතුකම තුළිනි. ඉවසීමෙන්, ආදර්ශවත් වීමෙන් එම ජයග්‍රහණ වෙත යාමට ධර්මයෙන් පිටත සැනසීමක් නොවන බව තරයේ සිහි තබාගන්න.
මෙහෙණි අධ්‍යාපන ආයතනයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
ශාස්ත්‍රපති පූජ්‍ය හාල්පන්දෙණියේ සුපේෂලා මෙහෙණින් වහන්සේ
දීපා වසන්ති එදිරිසිංහ