පෑලියගොඩ ගණිකාවන් ඇසුරු කළ මහත්වරුන්ට පොලිසියෙන් පණිවිඩයක්!
ලෝකෙ ඉපැරණිම රස්සාව මොකක්ද කියලා හොයාගෙන යනකොට ඉන් උඩම සඳහන් වෙනවා ඒ ගණිකා වෘත්තිය බව. ඉතිහාස කතාන්දරවල ගණිකාවකගේ ඉතිහාසය අම්බපාලී, මරිය මග්දලේනා දක්වා දිවෙනවා. එතැන් පටන් අද දක්වා නොවෙනස්ව පවතින වෘත්තියක් තමා මේ ගණිකා වෘත්තිය කියලා කියන්නෙ. විවිධ රටවල්වල විවිධ සංස්කෘතික හර පද්ධතීන් ඉස්සරහා ගණිකා වෘත්තිය විවරණය වෙන විදිය පරස්පරතා සහිතයි. අප රටේ සාහිත්‍යය තුළදී ගණිකාවක් සාධාරණීකරණය කරන්නට බොහෝ උත්සාහයන් ගන්න බව මෙතෙක් ඒ පිළිබඳව බිහිව ඇති කව් ගී සඳැස් නිසඳැස් ප්‍රමාණවත්. නමුත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බැලුවාම ගණිකා වෘත්තිය කියන්නෙ නීතිගත නොවන රැකියාවක්. හැබැයි අපිට නිතර දෙවේලේ පුවත් හරහා අහන්න ලැබෙන්නෙ නම් නීතිවිරෝධීව වුණත් මේ වෘත්තිය ගජරාමෙට පවත්වාගෙන යන බවයි. ඒ විදියට සමාජ රෝග ආසාදිත ගණිකාවන් 25 දෙනෙක් පෑලියගොඩදී අත්අඩංගුවට ගන්න අදාළ පොලිස් ස්ථානයේ නිලධාරීන් පසුගියදා සමත්වෙලා තියෙනවා. මේ ගැන වැඩිදුර කරුණු කාරණා විමසන්න ‘ධරණී’ අප සම්බන්ධ කරගත්තේ කැලණිය කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා පොලිස් නිලධාරිනී ඊ.ටී.ද සිල්වා මහත්මියව.
*පෑලියගොඩ කරපු විමර්ශනයක් හරහා සමාජ රෝග ආසාදිත ගණිකාවන් පිරිසක් අත්තඩංගුවට ගත් බවට පුවතක් පළ වුණා. මෙම ක්‍රියාන්විතය කොහොමද සිදුකළේ?
ඔව් ඇත්තටම මේක එක දවසක් තුළ සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් නෙවෙයි. පෑලියගොඩ පොලිස් වසමේ දින කිහිපයක් නිලධාරීන් සිදුකරපු වැටලීම්වලට පස්සෙ තමයි පෑලියගොඩ මධ්‍යම වෙළඳ සංකීර්ණය, මත්ස්‍ය වෙළඳපොළ, පට්ටිය හන්දිය, වෙදමුල්ල ඇතුළු ප්‍රදේශවලදී මේ ගණිකාවන් අත්අඩංගුවට ගන්න පෑලියගොඩ මූලස්ථාන පොලිසියට හැකියාව ලැබුණේ. මේ වැටලීම සිද්ධ කළේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ගණිකා වෘත්තියේ නිරත වන කාන්තාවන් ගැන ලැබිච්ච තොරතුරක් මත. ඒ පෑලියගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.ඒ. කළුවිතාරණ මහත්තයා ඇතුළු නිලධාරීන් පිරිස විසින්. එහිදී කාන්තාවන් විසිපස්දෙනෙක් අත්අඩංගුවට ගන්න පෑලියගොඩ පොලිසියට හැකියාව ලැබිලා තියෙනවා.
*ඔවුන් සියල්ලටම සමාජ රෝග ආසාදනය වෙලා තියෙන බව අනාවරණය කරගත්තේ කොහොමද?
ඔව් ඇත්තටම ලිංගික ශ්‍රමිකයෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ මුලින්ම කරන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ අවසර මත ඔවුන්ව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීම. ඊට ඉඩක් නොමැති අවස්ථාවකදී පවා බන්ධනාගාර නිලධාරියාගේ අනුදැනුම මත අදාළ ලිංගික ශ්‍රමිකයන් අධිකරණ වෛද්‍ය නිලධාරියා හරහා පරීක්ෂා කිරීම තමා සාමාන්‍ය ක්‍රියාපටිපාටිය. ඉතිං ඒ විදියට අපේ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත්තු ලිංගික ශ්‍රමිකයන් සියල්ලම රුධිර පරීක්ෂණයකට යොමු කළා. ඒ හරහා තමයි ඔවුන් ගොනෝරියා, හර්පීස් වැනි සමාජ රෝග ආසාධිතයන් බව දැනගත්තේ.
*ඒ කියන්නෙ මේ ලිංගික ශ්‍රමිකයන් සමඟ ලිංගිකව එකතු වූ පාරිභෝගිකයන්ට එම සමාජ රෝග වැළදීමේ අවධානමක් පවතිනවා නේද?
ඔව් අනිවාර්යයෙන්ම. මේ සමාජ රෝග සියල්ලක්ම වගේ ලිංගිකව එකතුවීම හරහා බෝ වන රෝග. ඉතිං පෑලියගොඩින් අත්අඩංගුවට ගත්ත මේ ලිංගික ශ්‍රමිකයන් සමඟ ලිංගිකව එකතු වුණ සෑම කෙනෙක්ටම සමාජ රෝග ආසාදනය වීමේ අවදානම පවතිනවා. පෑලියගොඩ වෙළඳ සංකීර්ණය, මාළු වෙළෙඳපොළ පිහිටි ප්‍රදේශවලට රටේ විවිධ පැති වලින් එන ව්‍යාපාරිකයින් ඉන්නවා මුදලට ලිංගික ශ්‍රමය අරගන්න. ඉතිං එහෙම ආව පුද්ගලයන් රුධිර පරීක්ෂණයක් කරන් සමාජ රෝග ආසාදිතයින්ද කියලා දැනුවත් වෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.
*අත්අඩංගුවට ගත්තු ලිංගික ශ්‍රමිකයන් හරහා අනාවරණය වෙන තොරතුරු මොනවද?
ඇත්තටම ඔවුන්ගෙන් බහුතරයක් පිළිගන්නෙ නෑ තමන් මුදලට ලිංගික ශ්‍රමය සපයන බව. පොලිසිය ප්‍රශ්න කරනකොට ඔවුන් එහෙම නොකළ බවම තමා ප්‍රකාශ කරන්නෙ. තව කොටසක් ඉන්නවා ප්‍රශ්න කරනකොට දරිද්‍රතාවය, පවුලේ ප්‍රශ්න කියලා ‘වෙන මොනවද මිස් කරන්නෙ මම’ කියලා අපෙන් අහන. නමුත් මෙතන බහුතරයක් දෙනා මත්ද්‍රව්‍ය භාවිතකිරීමේ අරමුණින් තමා මුදලට ලිංගික ශ්‍රමය සපයලා තියෙන්නෙ. අපි ඒ බවත් සනාථ කරගත්තා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් හරහා ඔවුන්ගේ රුධිරයේ මත්ද්‍රව්‍ය මිශ්රවෙලා තියෙනවද කියල බලලා. ඉතින් මෙහෙම අත්අඩංගුවට ගන්න ලිංගික ශ්‍රමිකයන්ව අපි පුනරුත්ථාපනයට පවා යොමු කරනවා. නමුත් පුනරුත්ථාපනයෙන් පස්සේ ඔවුන් පුරුදු විදියටම තමන්ගේ පැරණි රස්සාවට තමයි ආපහු යොමුවෙන්නේ.
*මෙම අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ පෑලියගොඩ පොලිස් මූලස්ථානය මේ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග වශයෙන් ලබාගත්තු පියවර මොනවාද?
පෑලියගොඩ පොලිසියේ ආසන්නතම වැටලීම වශයෙන් මේ විදියට සමාජ රෝග ආසාදිත ලිංගික ශ්‍රමිකයන් 25ක් අත්අඩංගුවට ගැනීමත් එක්ක පෑලියගොඩ පොලිස් මූලස්ථානාධිපතිතුමා අනෙක් පොලිස් මූලස්ථානවලට මේ පිළිබඳ දැනුම් දුන්නා. ඒ හරහා රටේ ප්‍රදේශවල මෙහෙයුම් දියත් කරලා මුදලට ලිංගික ශ්‍රමය සපයන්නන් අත්අඩංගුවට ගැනීමත් ඔවුන් හැකි ඉක්මනින් වෛද්‍ය පර්යේෂණවලට යොමු කරලා සමාජ රෝග ආසාදිතයින්ද නැද්ද යන වග අවධාරණය කර ගැනීමටත් පියවර ගනිමින් පවතිනවා. ඉන් පස්සේ ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමටත් කටයුතු කරනවා. නෛතික වශයෙන් ගත්තම අපිට මේ වෙනුවෙන් කරන්න පුළුවන් සියලුම දේවල් ඒ විදියටම ඉටු කරන්න අපි බැඳිලා ඉන්නවා.
*මෙහෙම සමාජ රෝග ආසාදිත ලිංගික ශ්‍රමිකයන් අත්අඩංගුවට පත්වීම ප්‍රාදේශීය ව්‍යසනයකට වඩා සමාජ ව්‍යසනයක් නේද?
ඔව් ඇත්තටම මේ ලිංගික ශ්‍රමිකයන් එක්ක එකතු වෙන පාරිභෝගිකයන් ගෙදර ගිහිල්ලා තමන්ගේ බිරිඳ සමඟ හිටියම ඔවුන්ටත් මේ සමාජ රෝග ආසාදනය වෙනවා. අනිත් කරණාව මේ පාරිභෝගිකයන් රටේ විවිධ ප්‍රදේශවල නිසා ඔවුන් සොයාගෙන මේ පිළිබඳ දැනුවත් කිරීම් සිදු කරන්න අපිට හැකියාවක් නැහැ. ඉතිං එතැනදී ඔවුන් හරහා වෙනත් ලිංගික ශ්‍රමිකයන්ට හෝ වෙනත් ප්රජාවකට මේ සමාජ රෝග ව්‍යාප්ත වීමේ අවධානම අනිවාර්යයෙන්ම පවතිනවා. සමාජ රෝගයක් කියන එක අපිට බොහොම සරල සුගම විදියට හිතලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද සමාජ රෝගයක් වැළදුනාට පස්සේ ජීවිත කාලය පුරාවටම මේ රෝගය පුද්ගලයාගේ ශරීරය තුළ පවතිනවා. ඖෂධවලින් යම්තාක් දුරකට රෝග පාලනය කළත්, ඖෂධ නැවැත්තුවාට පස්සේ නැවත මේ රෝග උත්සන්න වීම සිද්ධ වෙනවා. ලිංගික ශ්‍රමිකයන් රට තුළ ව්‍යාප්ත වීමටත් වඩා භයානකයි මේ සමාජ රෝග රට තුළ ව්‍යාප්ත වීම.
*අවසාන වශයෙන් ඔබතුමියට මෙවැනි තත්ත්ව අවමකිරීම සම්බන්ධයෙන් සමාජයට ලබාදිය හැකි දැනුවත් කිරීමක් තියෙනවද?
මම කලින් කිව්වා වගේ ලිංගික ශ්‍රමිකයන් පුනරුත්ථාපනය කරලා නැවත ඔවුන් සමාජයට මුදා හැරියාට පස්සේ නිවැරදිව සමාජගත වීම සිද්ධවෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් පරණ රස්සාවම නැවත කරන්න පටන්ගන්නවා. ඉතින් මුදලට ඇඟ විකුණන එකම නෙවෙයි මුදල් උපයන්න ඕන තරම් ස්වයං රැකියා ගැන දැනුවත් කිරීම සෑම ප්‍රදේශයකම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් හරහා සිද්ධ කරනවා. රටේ රස්සාවක් නැති ඕනම කෙනෙක්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා එහි විද්‍යා හා තාක්ෂණ නිලධාරියාව මුණගැහුනට පස්සේ ඔහු හරහා ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික දැනුම ලබාගැනීමේ අයිතිය මේ රටේ ඕනෑම පුරවැසියෙක්ට තියෙනවා. හැබැයි මෙහෙම සේවයක් තියෙනවද කියලවත් රටේ සැලකිය යුතු ප්රජාවකින් කොටසක් දැනුවත් නැහැ. ඒ නිසා මෙහෙම මාධ්‍ය හරහා හෝ අපි විරැකියාවෙන් පෙළෙන පුද්ගලයන්ට පවත්වන පාඨමාලා පිළිබඳව දැනුවත් කිරීම වැදගත්. මෙතැනදි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ අයව අපිට ඒ රැකියාවෙන් මුදවන්න අවකාශයක් නැති වුණත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවුණු මුදලට ලිංගික ශ්‍රමය පමණක් සපයන අනෙක් කාන්තාවන්ව ඉන් මුදවා ගැනීමේ සාධනීය ප්‍රවණතාවක් තියෙනවා.
පවනි වාසනා