දේවාලේ නැති දෙවියෝ තෙල් පෝලිම්වල වැඩ සිටියෝ…
ඒ පසුගිය බදාදා උදෑසනය. ඒ වනවිටත් අතිශය ජනාකීර්ණ බිබිල නගරයේ ප්‍රධාන ඉන්ධන පිරවුම්හලේ තිබුණේ දිගු තෙල් පෝලිමකි. බිබිල නගරයට එය අලුත් අත්දැකීමකුත් නොවේ. මන්ද සෑම දිනකම පාහේ එහි එවන් පෝලිම්ය. පෝලිම්වල සිටි රියැදුරෝ තමන්ගේ වාරය එනතෙක් බලා සිටියහ.
ඔය අතරතුර හිස් බෝතලයක් අතැතිව පිරවුම්හළට ගොඩවුණේ කාන්තාවක්ය. ඒ තමාගේ යතුරුපැදිය අතරමඟ නතරවීම නිසා බෝතලයට පෙට්‍රල් ටිකක් රැගෙන යන්නටයි. එහෙත් බෝතල්, කෑන්, බූලි ආදියට තෙල් ලබා නොදෙන බවට ඒ වනවිටත් අදාළ ඉන්ධන පිරවුම්හල නිවේදනය කර තිබූ බවක් ඇය දැන සිටියේ නැත. එනිසා තෙල් අවශ්‍ය නම් කළ යුතුව තිබූ එකම දේ වූයේ වාහනය රැගෙන තෙල් පෝලිමට එකතුවීමයි. නමුත් ඇගේ යතුරුපැදිය තිබුණේ තල්ලු කරගෙන හෝ පැමිණිය හැකි දුරක නොවේ.
‘‘දැන් ඔයාට බෝතලේට තෙල් දුන්නොත් අනිත් අයත් එහෙම ඉල්ලයි.’’
ඇගේ ආයාචනය හමුවේ ඉන්ධන පිරවුම්හල් සේවකයින්ගෙන් ලැබුණේ එහෙම පිළිතුරකි. කරන්නට කිසිත් නොවූ කල ඇය කළේ වාහන පෝලිම අගින් ප්ලාස්ටික් හිස් බෝතලයක් අතැතිව හිටගැනීමයි. දිගු පෝලිමක තම වාහනය තබාගෙන තම වාරය එනතෙක් බලා සිටි රියැදුරන්ට මේ දසුන වාවන්නට නොහැකි වූ තැන ඔවුන් ඇයට ඉදිරියට පැමිණීමට අවස්ථාව ලබාදුන්හ. නමුත් පිරවුම්හලේ සේවකයින් එවරද බෝතලයට ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කළහ.
‘‘මට බයික් එක අරන් ෂෙඩ් එක ගාවට එන්න විතරක්වත් තෙල් ටිකක් දෙන්න.’’
බැරිම තැන එසේ කීවද ඒ වචනවලටත් පිරවුම්හල් සේවකයින්ගේ හිත් උණුවුණේ නැත. අවසානයේ කුමන මොහොතක හෝ තෙල් ටිකක් ලැබේවි යැයි සිතා ඇය නිහඬ වූවාය.
මේ අතරවාරයේ මේ සිදුවීම දෙස එක්තරා පුද්ගලයෙක් ඉතා ඕනෑකමින් බලා සිටියේය. ඒ QX 11XX ත්‍රීරෝද රථයේ රියැදුරු තරුණයාය. ඔහුට මේ කාන්තාව ගැන ඇතිවූයේ අනුකම්පාවකි. ඒ නිසාම ඔහු රථයෙන් බැස හනි හනිකට කාන්තාව අසළට ගියේය.
‘‘අම්මේ, කෝ දෙන්න තෙල් අරන් යන්න ගෙනාපු බෝතලේ…’’
කුමක් සිදුවීමට යන්නේද යන වග එතැන සිටි සියල්ලන්ටම ප්‍රශ්නාර්ථයක් විය.
‘‘අරුන්ට ටෝක් කරලා තෙල් අරන් දෙන්න වගේ හදන්නේ…’’
බොහෝමයක් දෙනා තමන්ට ආ ප්‍රශ්නාර්ථයට පිළිතුරු නිර්මාණය කරගත්තේ එහෙමය. එහෙත් ඔවුන්ගේ සිතුවිල්ල වැරදි කරමින් බෝතලය අතටගත් තරුණයා හනි හනිකට ගියේ තම ත්‍රීරෝද රථය පිටුපසටය. එසේ ගිය ඔහු චැසිය විවෘත කර කෙළින්ම ඉන්ධන බටය ගළවා දැම්මේය. අනතුරුව එය බෝතලයට ඇතුල් කර ත්‍රීරෝද රථයේ වූ පෙට්‍රල්වලින් හිස් බෝතලය පිරෙව්වේය.
‘‘ආ බෝතලේ ගන්න. ගිහින් බයික් එකට දාගන්න.’’
ඔහුට පින් යැයි කියන්නට කටට ආ වචන ගොනු කරගන්නට බැරුව ඇගේ දෑස් දිගේ කඳුළැලි දෝර ගලන්නට විය. අතේ ගුලිකර උන් මුදල් නෝට්ටු කිහිපයක් ඔහුගේ අතේ ගුලිකර ඇය යන්නට හැරුණා පමණි. ත්‍රීරෝද රථ රියැදුරා ඇයව යළිත් නැවතීය.
‘‘මට සල්ලි එපා.’’
එසේ කියමින් ඔහු නැවත තෙල් පෝලිමට එකතු විය. පෙර දිනක වරු ගාණක් පෝලිමේ සිට ගසාගස් තෙල් ටික එසේ දන්දෙන්නට තරම් ඔහුගේ පපුව කොතරම් උණුහුම් විය යුතුද? අවසානයේ අපට හිතුණේ එපමණකි.
භාතිය වෙඩිවර්ධන