නවතම ප්‍රවෘත්ති

බඩට බත් වේලක් නැතත් මදි නොකියන්න ගුටිකන අම්මලා දිනපතාම අපිට මුණගැහෙනවා

ගෙදරක පුංචි බබෙක් ඉපදුණාම අම්මටයි බබාටයි මාස කිහිපයක්ම නොමිලේ ත්‍රිපෝෂ හම්බෙනවනේ. අම්මලා ඉතින් ඒ ත්‍රිපෝෂ පැකට් දෙක ගෙදර ගෙනිච්චම ගෙදර ඉන්න අනිත් අයගෙත් ඉහේ මල් පිපෙනවා. ඔය ත්‍රිපෝෂ පැකට් අම්මලාට බෙදලා දෙන්නේ ගමේ ඉන්න පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය නැත්තම් මිඩ්වයිෆ් නෝනා. ඒ නිසා ලොකු පොඩි  ඕනම කෙනෙක් මේ නෝනාව දන්නවා.

එහෙම කිව්වම දන්නවා වුණාට ඔය වැඩේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සේවාවලින් අංශුමාත්‍රයක් විතරයි. දරු සම්පතක් මේ ලෝකෙට දායාද කරන අම්මා කෙනෙක්ට ඇප උපකාර කරන උතුම් රාජකාරියකයි ඔවුන් නිරත වෙන්නේ. ඒ රාජකාරිය වෙනුවෙන් සමහරවෙලාවට ඔවුන්ට  කිලෝමීටර් ගාණක් පයින් ඇවිදින්න වෙනවා. ඒ නිසා තමයි ලංකාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සේවය අගයන්න ජාත්‍යන්තර සම්මාන පවා ලැබිලා තියෙන්නේ. ඒ තරමට ඔවුන්ගේ සේවය ගුණාත්මකබවින් ඉහළයි. ඉතින් වැඩි වයසක් නැතත් අම්මාවරුන්ට අම්මා කෙනෙක් වෙච්චි එහෙම කෙනෙක් එක්ක පුංචි කතාබහක නිරත වෙන්න‍යි මේ ලකලෑස්තිය. අද ‘ධරණී’ කවරය සරසන ඇය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පියුමි සුපුන්කුමාරි.

 

*සෞඛ්‍ය සේවා නිලධාරිනියක් වුණේ වෘත්තියට ආසාවටද? නැත්තම් රජයේ රස්සාවක් කරන්න ඕනේ කියලා හිතිලද?

අනේ නැහැ. මගේ ගම නුවර. අපේ පළාතේ ගොඩක් පවුල්වල උදවිය ඒ පැත්තේ මිඩ්වයිෆ් මිස් එක්ක හරි එකතුයි. ඉතින් ඒ අය ගමට කරන සේවය මම පුංචි කාලේ ඉඳලම දැකලා තියෙනවා. මේක රැකියාවකට එහා ගිහින් සමාජයට ලොකු සේවයක් කරන්න පුළුවන් වෘත්තියක්. එහෙම හිතලයි මම මේ වෘත්තිය තෝරගත්තේ.

 

*එතකොට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් විදිහට වැඩ පටන්ගත්තේ කොයි කාලෙද?

උසස් පෙළින් පස්සේ මම පවුල් සෞඛ්‍ය සේවා තනතුරට ඉල්ලුම් කළා. ඊටපස්සේ ඒ අදාළ සම්මුඛ පරීක්ෂණ, විභාග ආදියට සාර්ථකව මුහුණ දීලා 2019 දී වැඩ බාරගත්තා. බොරැල්ල ග්‍රාමීය මාතෘ හා ළමා සායනයේ තමයි දැන් වැඩ කරන්නේ.

 

පවුල් සෞඛ්‍ය සේවිකාවක් විදිහට ඇයට පැවරිලා තියෙන රාජකාරි ගැනත් අපි ඇයගෙන් අහලා බැලුවා. ළදරු හා මාතෘ මරණ පාලනය, ඔවුන්ගේ සෞඛ්‍ය යහපත් අන්දමට පවත්වා ගැනීම, ජනගහන වර්ධන පාලනය, එතකොට අනවශ්‍ය ගැබ්ගැනීම් වළක්වාගැනීම ඇතුළු තවත් සේවා කිහිපයක්ම ඒ අතරට ඇතුළත් බවයි ඇය කිව්වේ.

 

අපිට පැවරෙන ප්‍රදේශයේ ගෙවල්වල ගර්භිණී අම්මා කෙනෙක් හරි බබෙක් ලැබුණු අම්මා කෙනෙක් හරි ඉන්නවා නම් අපි සති කීපයකට වරක් ඒ අයව බලන්න ඒ ගෙදරට යනවා. ඒ අම්මගෙයි බබාගෙයි පෝෂණය සහ සෞඛ්‍ය ගැන හොයලා ගැටලු තියෙනවා නම් අදාළ පිළියම් යොදනවා. අවුරුදු 35-40 පැන්න කාන්තාවන්ට නිසි කාලයට ගැබ්ගෙළ සහ පියයුරු පිළිකා පරීක්ෂණවලට යොමු වෙන්න කියනවනේ. හැබැයි ගොඩක් අය ඕවට යන්නේ නැහැ. ඉතින් අපි ගෙයින් ගෙට ගිහින් ඒ අයව ඒ කටයුතුවලට යොමු කරනවා. ඒ විතරක් නෙමෙයි ග්‍රාමීය සෞඛ්‍ය හා පෝෂණ දැනුවත් කිරීම්වලට එහෙමත් අපි සම්බන්ධ වෙනවා.

 

*මේ දවස්වල රටේ තියෙන ප්‍රශ්න එක්ක රාජකාරි කටයුතුවලට යන්න අපහසුද?

එහෙමත් නැහැ. මොකද අපි ඉතින් පයින්මනේ යන්නේ. අනික කොච්චර අමාරු කාලෙක වුණත් අපි වැඩ නොකර ඉන්නේ නැහැ. කොවිඩ් ලොක්ඩවුන් කාලෙදිත් අපි ගෙයින් ගෙට ගිහින් අම්මලාව, බබාලව බලාගත්තා.

 

ඇය සේවය කරන්නේ ජනගහනය වැඩි නගරබද ප්‍රදේශයක නිසා හැම දවසකම වගේ ඇයට විවිධ අවශ්‍යතා ඇති අම්මලා මුණගැහෙනවලු.

 

මම සේවය කරන ප්‍රදේශයේ ටිකක් වතු ජනගහනය වැඩියි. එහෙ ගොඩක් අම්මලාගේ සැමියෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා. නැත්තම් සැමියන් දාලා ගිහිල්ලා. ගොඩක් අඩු වයස්වල අම්මලත් ඉන්නවා. මේ අම්මලාට සැමියන්ගෙන් වෙන හිංසනත් හරි වැඩියි. එහෙම තත්ත්වයකදී නිරෝගී දරු උපත් වෙනුවෙන් අපිට වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. මොකද මේ අම්මලාගේ මානසික සෞඛ්‍ය ගැනත් බලන්න ඕනනේ. ගොඩක් අම්මලා අඬ අඬා අපිත් එක්ක ඔවුන්ගේ ප්‍රශ්න කියනවා. ඒ වෙලාවට ඉතින් මිනිස්සු විදිහට අපිත් හරියට සංවේදී වෙනවා.

 

*ඔය හිංසනවලට ලක්වෙන අම්මලා වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද?

සැමියගේ පහරදීම්වලට ලක්වෙන ගර්භිණී අම්මලා දිනපතාම වගේ අපිට මුණගැහෙනවා. එහෙම වුණාම මුලින්ම අපි ඒ අයගේ හිත හැදෙන්න කතා කරනවා. ඊටපස්සේ ගෙදරට ගිහින් සැමියා එක්කත් කතා කරනවා. පස්සේ දෙන්නව පවුල් උපදේශන සේවාවලට යොමු කරනවා. එහෙම කරලා දැන් ලස්සනට පවුල් කන අයත් ඕනතරම් ඉන්නවා. ආර්ථික අපහසුතා තියෙන අම්මලාව විවිධ සුබ සාධන සේවාවලට යොමු කරන්නත් කටයුතු කරනවා.

 

කෙනෙක්ගේ දුක අහලා ඒ දුකට පිහිට වෙන්න ලැබෙන මේ වෘත්තිය තෝරගත්තු එක ගැන ඇය ආඩම්බර වෙනවලු. ඒ වගේම මේ හැම කටයුත්තක්ම සාර්ථක කරගන්න ඇගේ සැමියා, මව, පියා, සහෝදරිය සහ සහෝදරයාගෙන් විශාල පිටිවහලක් ලැබෙන බවත් ඇය කිව්වා.

 

අම්මලාව ගෙයින් ගෙට ගිහින් බලන සෞඛ්‍ය සේවාවන් තියෙන රටවල් හරි අඩුයි. හැබැයි අපිට ඒක ලැබිලත් ගොඩක් අයට මේකේ අගයක් නැහැ. සාමාන්‍යයෙන් යමක් කමක් තියෙන පවුල්වල උදවිය අපේ සේවාව ලබාගන්න ලැජ්ජයි. සමහරවිට ඒක එයාලට මදිපාඩුවක් කියලා හිතනවත් ඇති. සල්ලි ගෙවලා යන ඉස්පිරිතාලවලට ගිහින් බබාගේ බර අඩු වුණාම අපිව හොයාගෙන එන අම්මලා ඉන්නවා. ඒ සමහර අම්මලට හරියට බබාට කිරි දෙන්නවත් උගන්නලා නැහැ. නිරෝගී සෞඛ්‍ය සම්පන්න දරුවෙක් සමාජයට බිහි කරන්න අපිටත් ඔයාලට උදව් කරන්න පුළුවන්. ඒකට ගමේ ක්ලිනික් එකෙන් ලොකු සේවයක් වෙනවා. ඉතින් ඒ සේවය ලබාගන්න කියලයි මම හැමෝටම කියන්නේ.

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප ක්‍රිෂාන් කාරියවසම්