තුරඟ තරඟ පිටියේදී සිදුවූ ඝාතනයට විශ්වවිද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට
කොළඹ තුරඟ තරඟ පිටියේදී විශ්වවිද්‍යාල සිසුවියකට උල් ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සැක කෙරෙන විශ්වවිද්‍යාල සිසුවාව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අද (17) සවස පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ඝාතනයෙන් පසු සැකකාර සිසුවා ද සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇති බවට තහවුරු නොකළ තොරතුරු වාර්තා වී ඇති බව පොලිසිය සඳහන් කළා.
ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා කුරුඳුවත්ත පොලීසියට රැගෙනවිත් තිබෙනවා.
කොළඹ තුරඟ තරඟ පිටියේදී ඝාතනයට ලක්වූ තරුණියකගේ මළ සිරුරක් අද දහවල් සොයාගැනුණු අතර පරීක්ෂණ තුලින් අනාවරණය වූයේ එම තරුණිය සරසවි සිසුවියක් බවටයි.
24 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් වන ඇය විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිට තිබෙනවා.
“විශේෂයෙන්ම මෙම ඝාතනය පිළිබඳව තොරතුරු ලැබීමත් සමග සැකකරුව කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩයම් කිහිපයක්ම කොළඹ ප්‍රදේශයේ යොදවනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද දින සවස් වනවිට මෙම සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබුණා.”
මෙම ඝාතනය සිදුකිරීමට භාවිතා කරනු ලැබූ ලේ තැවරුණු පිහියක් මෙන්ම ලේ තැවරුණු බෑගයක් ඔහු සිටි ස්ථානයෙන් සොයා ගෙන තිබෙනවා.”
“කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 24ක සිසුවෙක්.”
“මෙම ඝාතනය සිදුකළේ කුමණ කරුණක් නිසාද යන්න තවම අනාවරණයවී නොමැති අතර ඝාතනය සිදු කිරීමෙන් පසු අදාළ සැකකරු යම්කිසි ආකාරයක සියදිවි නසාගැනීමකට උත්සාහ දරා ඇති බවටත් තොරුතුරු ලැබී ඇති බවත් එය ස්ථිරව ප්‍රකාශ කර නොහැකි බවත් ” පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.