විශේෂාංග

පොලිසියට හැට හතර මායම් පෙන්නූ මාළඹේ අක්කා කොටු වුණු හැටි

මචං, නැද්ද හොඳ කෙල්ලෙක් එහෙම…?

නිමන්ත එහෙම ඇහුවේ කලකින් හමුවූ තරිඳුගෙනි. ඒ කොළඹ නගරයේ ප්‍රසිද්ධ සමාජ ශාලාවක් තුළදීය.

මං දන්න කෙනෙක්නම් ඉන්නවා. එයත් කිව්වා හො කොල්ලෙක් හිටියොත් සෙට් කරන්න කියලා. නම්බර් එක ගහගනින්කෝ

ජංගම දුරකතනය අතටගත් නිමන්ත කිව් පමාවෙන්ම ඒ අංකය තම දුරකතනයේ ගබඩා කරගත්තේය. එතැන් පටන් එම අංකය හිමි තරුණිය සමඟ සම්බන්ධයක් ගොඩනඟා ගත් ඔහු එය ආදරයකට පෙරළන්නට වැඩිකල් ගත්තේ නැත.

තිස්හත් හැවිරිදි නිමන්ත හොරණ ප්‍රදේශයේ වාහන අමතර කොටස් විකිණීමේ ව්‍යාපාරයක් සිදුකර ගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයෙකි. එසේම විවාහකයෙකු වූ ඔහු දෙදරු පියෙකි.

මට ඔයා මුණගැහෙන්න ආසයි.

ඒ ඉල්ලීම මුලින්ම ඉදිරිපත් වු‍ණේ නිමන්තගෙනි. පසුව දෙදෙනා හමුවූයේ මාළඹේ ප්‍රදේශයේදීය. ඡායාරූපවලින් පමණක් දුටු තරුණිය දැකගැනීමට නිමන්තට තිබුණේ පුදුම උනන්දුවකි. ඒ ඇය ඡායාරූපවල පෙනුණු තරම්ම හැඩකාරියක්ද යන වග සියැසින්ම දැක බලා ගැනීමටය. කථිකා කරගත් දිනයේදී දෙදෙනා හමුවූ අතර, ඇය එදින ඇඳසිටියේ නිල් පැහැති ඩෙනිමකුත්, තද නිල් පැහැති ටීෂර්ට් එකකුත්ය. ඒ නිසාදෝ ඡායාරූපවල දුටු පෙනුමකට වඩා පෙනුමකුයි නිමන්ත එදා ඇගෙන් දුටුවේ.

මාෂි නගින්නකෝ ජිප් එකට

නිමන්ත ඇයව තම ජිප් එකට නංවාගෙන කෙළින්ම ගියේ ඉංගිරිය ප්‍රදේශයේ හෝටලයක් වෙතය. එහිදී ඔහු මත්පැන් බෝතලයක්ද තම රථයට දමාගන්නට අමතක නොකළේය. කාමරයට ගොස් මුලින්ම ඔවුන් කළේ මත්පැන් බෝතලය කඩා වීදුරු දෙකකට දමා ගැනීමය. ඔය අතරවාරයේ තරුණිය නිමන්තගේ ඇස්වසා ඔහුගේ වීදුරුවට යමක් දැමූ බව ඔහු දැනසිටියේ නැත. එය අධික ලෙස මත්වී සිහිනැතිව යන අන්දමේ පෙත්තකි. මේ කිසිත් නොදන්නා නිමන්තට මතක මත්පැන් වීදුරුව එක හුස්මට උගුරට හලාගන්නවා පමණි.

මේ අතරතුර පැය කීපයකට හෝටල් කාමරයට ගිය ජෝඩුව අදාළ කාලය අවසන් වී සෑහෙන වෙලාවක් ගියද පිටතට නොපැමිණීම නිසා හෝටලයේ සේවකයින් තුළ යම් සැකයක් ජනිත විය. ඒ සැකය නිසයි ඔවුන් අදාළ කාමරය වෙත ගියේ. ඒ යනවිට නිමන්ත සිහියක් පතක් නොමැතිව හෝටල් කාමරයේ ඇඳ මත වැතිර සිටි අතර ඔහු හා පැමිණි තරුණිය එහි නොසිටියාය.

මහත්තයා මහත්තයා

කොතරම් කීද්දුවද නිමන්තගෙන් හැලහොල්මනක් නැත. මත්පැන් බෝතලයද හිස්ව නොතිබූ නිසා හෝටල් සේවකයින්ගේ සැකය තවත් වැඩිවිය. පසුව ඔවුන් සිද්ධිය පිළිබඳව හෝටල් කළමනාකරු දැනුවත් කර ඉංගිරිය පොලිසියට මේ බව දැනුම් දුන්හ.

සර්, අපේ හොටෙල් එකට කපල් එකක් ආවා. ඒත් මේ වෙනකොට ගෑනු කෙනා රූම් එකේ නෑ. පිරිමියා ඇඳ උඩ වැටිලා ඉන්නවා. සිහියත් නෑ.

වහාම ක්‍රියාත්මක වූ ඉංගිරිය ප්‍රධාන පොලිස් පරීක්ෂක, ස්ථානාධිපති ඩබ්ලිව්.ඩී.සී.ජනක ඇතුළු පිරිස හෝටලයට පැමිණියේ සීසීටීවී චෙක් කරමු කියාගෙනමය. එහිදී පෙනෙන්නට වූයේ අදාළ කාන්තාව නිමන්තගේ ජිප් රථය රැගෙන පලායන දසුනයි. මේ අතර නිමන්ත 1990 ගිලන් රථයකින් හොරණ රෝහල වෙත රැගෙන ගියේය. ඒ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවූ නිසාය.

කටඋත්තරයක් ගන්නට තරම් හොඳ ශරීර සෞඛ්‍යයකින් නිමන්ත නොසිටි නිසා පොලිසියට සිදුවීම ගැන තිබුණේ යම් දෙගිඩියාවකි. ඒ අතරතුර ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනකගේ උපදෙස් මත සිද්ධිය පිළිබඳ විමර්ශන කරවූ පොලිස් පරීක්ෂක පාදුක්ක ඇතුළු පිරිසට අපරාධ විමර්ශන කණ්ඩායමෙන් හෝඩුවාවක් ලැබුණි. ඒ ඉංගිරිය අරණවිල ප්‍රදේශයේ මාර්ගයක් අසළ නිමන්තගේ ජිප් රථය දමාගොස් ඇති බවයි.

කෙසේ වුවද දින කීපයකින් පසු නිමන්ත පියවි සිහියට පැමිණි අතර ඔහුට පොලිසිය ඉදිරියේ දෙන්නට තරම් කටඋත්තරයක් නොතිබුණේය. ඔහු කී එකම කතාව වූයේ මිතුරෙකු මාර්ගයෙන් අදාළ තරුණිය දැනගත් බවත්, ඇය සමඟ ඉංගිරිය හෝටලයකට ගිය බවත් එහිදී ඇය මත් වෙන්නට යමක් දුන් බවත් පමණි.

තමුන්ගේ මොනවා හරි දෙයක් නැතිවෙලාද බලන්න.පොලිස් නිලධාරියෙක් නිමන්තගෙන් ඇසුවේය.

නිමන්තට උන්හිටි තැන් අමතක වූයේ එවිටය. ඒ ඔහු සතුව තිබූ ලක්ෂ ගණනක් වටිනා නිල් මැණික් ඇල්ලූ මුද්දක්, පවුම් විසිපහක රත්තරන් මාලයත්, පවුම් අටක් වෙන පෙන්ඩන්ට් එකත් නොමැති බව දැනගත් විටය. එසේම ජිප් රථයේ වූ ලක්ෂ ගණනක මුදලුත් ඇය සමඟින්ම අතුරුදන්ව තිබුණි.

කාන්තාව අල්ලා ගැනීමට පොලිසිය කොතෙකුත් උපක්‍රම යෙදුවද ඒ උපක්‍රම කිසිවක් සාර්ථක වූයේ නැත. අවසානයේ ඔවුන් ඇගේ දුරකතන අංකය පිටුපස පන්නන්නට වූයේ ඒ මොහොතේ එය හොඳම තුරුම්පුව වූ නිසාය. දුරකතන සමාගමට දන්වා සිම්පත ගැන සොයා බැලූ විට පෙනී ගියේ ඇය මාළඹේ ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි. ඒ අනුව පොලිසිය අදාළ නිවසට ගියේ ඇයව අල්ලා ගැනීමේ අරමුණු ඇතුවය.

එහි යනවිට එම නිවසේ විවාහකයින් යැයි සිතිය හැකි අන්දමේ ජෝඩුවක් සිටි අතර පොලිසිය දුටු සැනින් ඔවුන්ගේ මුහුණු අඳුරු විය.

අනේ නෑ සර් මං එහෙම කෙනෙක් නෙවෙයි. මට හොඳට සල්ලි තියෙනවා. ඉතින් ඇයි මං මෙහෙම දෙයක් කරන්නේ…?

ප්‍රශ්න කිරීම් හමුවේ කාන්තාව එසේ පැවසුවත් පොලිසිය ඇයට සීසීටීවී දර්ශන පෙන්නුවේය.

අනේ සර්, ඔය මං නෙවෙයි. මේ වීඩියෝවල ඉන්නේ කොණ්ඩේ දිග ගෑනු කෙනෙක්නේ. ඒත් මගේ කොණ්ඩේ කොටයිනේ. ඒත් ඔය වීඩියෝවල ඉන්න ගෑනු කෙනා නම් ඇඳගෙන ඉන්න ටීෂර්ට් එක මගේ එකක්

ඇගේ කතාවෙන් පොලිසියේද දෙකොණ මූට්ටු විය. ඒ එය බැලූ බැල්මට හතරබීරී කතාවක් වූ නිසාය.

ඔය සමන්ති. සැලුන් එකකදි අපි මුණගැහුනේ. දවසක් එයා අපේ ගෙදර ආවා. එදා කෑමක් ඇඟේ හැලිලා මං එයාට ඇඳගන්න ටීෂර්ට් එකක් දුන්නා. ඒක තමයි ඔය තියෙන්නේ. මේ ඉන්නේ සමන්ති

ගොනා හැරෙද්දී ඒ පොල් පැළේටද තල් පැළේටද කියා කියන්නට පොලිසියට හැකියාව තිබුණි. ඒ ඔවුන් මෙවැනි සිද්ධියකට අතගැසුවේ මුල්වරට නොවූ නිසාය. ඒ නිසා විමර්ශනයට එක්වූ කළුතර අපරාධ කොට්ඨාස අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගෙන් පොලිස් නිලධාරීන්ට ලැබුණේ සුපුරුදු අණකි.

මුළු ගෙදරම සර්ච් කරන්න.

මොහොතකින් පොලිස් නිලධාරියෙකුට නිවසේ අල්මාරියක සඟවා තිබූ කුඩා පාර්සලයක් හමුවිය. එහි නිමන්තගේ නැතිවූ සෑම රත්තරන් බඩුවක්ම තිබුණි. නමුත් ඒ මොහොතේ නිවසේ උන් කාන්තාව පවසා සිටියේ ඒවා ගෙනැත් තැබුවේද සමන්ති බවයි.

පොලිසියට ඇගේ කතන්දරය සැබෑවටම අපැහැදිලිය. එය පැහැදිලි කරගැනීමට නම් එතැනට අවශ්‍ය කවුදැයි යන්න පොලිසියට සිහිවූයේ එවිටය. ඒ අනුවයි එතැනට නිමන්ත ගෙන්වූයේ.

සර්, මේ ගෑනි කියන්නේ බොරු. මෙයා තමයි මාෂි. බොරු නම් බලන්න මෙයාගේ ඇඟේ ටැටූ එකක් ඇති

පොලිස් නිලධාරිනියන් යොදවා ඇගේ ශරීරයේ ටැටූ එකක් ඇත්දැයි සොයාබලන විට නිමන්ත කී අයුරින්ම එය තිබුණි. ඒ නිසා ඇයට තවත් පොලිසිය ඇන්දවීමට හැකියාව ලැබුණේ නැත. ඒ මොහොතේම අත්අඩංගුවට පත්වූ ඇය පසුව හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. පොලිසියට හැට හතර මායම් පෙන්නූ මාළඹේ අක්කාගේ කෙරුවාව එසේ අවසන් වෙද්දී ඒ පිළිබඳව අදහස් දක්වමින් ඉංගිරිය ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති ඩබ්ලිව්.ඩී.සී.ජනක මහතා පවසා සිටියේ මෙවැන්නකි.

මේ කාන්තාව මෙහෙම දෙයක් කරපු පළවෙනි වතාව මේක වෙන්න බෑ. මේ සිද්ධිය වෙලා ටික දවසක් යනකල් ඇය පොලිසියේ ඇස්වහලා හැංගිලයි හිටියේ. ඒත් අපිට පුළුවන් වුණා පසුගියදා ඇයව හොයාගන්න. මෙහෙම සිදුවීම් ඕනතරම් සමාජේ වෙනවා. ඒත් ඒවට මුහුණ දීපු අය ලැජ්ජාවට පොලිසියට කියන්නේ නෑ. අපි මිනිස්සුන්ට දෙයක් කියන්න කැමතියි. පවුල් ජීවිත හොඳින් පවත්වාගන්න නම් මේ වගේ අනියම් සම්බන්ධතා තියාගන්න එක හොඳ නෑ. නිකන් හිතන්න දැන් කොහොමද ඒ මිනිස්සු තමන්ගේ ගෙදරට, සමාජයට මූණදෙන්නේ? එහෙම මූණදෙන්න බෑනේ. ඒ නිසා දෙයක් කරන්න කලින් දෙතුන්පාරක් නෙවෙයි සියපාරක් හරි හිතන්න. මොකද නමට කැළලක් ඇතිවුණොත් ඒක මකාගන්න හිතන තරම් ලේසිවෙන්නේ නෑ.

(පුද්ගල නාම මනකල්පිතයි)

භාතිය වෙඩිවර්ධන