අපේ මල්ලි ගෙදර තිබුණු කතුරකින් පෙකණිවැල කපලා කොණ්ඩ කටුවක් ගැහුවා
පහුගිය දින කිහිපයේම කොළඹට වැස්සෙන් අඩුපාඩුවක් තිබුණේ නැත. මිනිසුන්ට වැස්ස එපාවෙන තරමට දින ගණනාවක්ම කොළඹට වැස්සේය. එදාද කොළඹ අහස්කුස පුරාම වැස්සක පෙරනිමිති සටහන්ව තිබුණි. මැදිවයසේ පුද්ගලයෙක් අතදරුවෙකුද හරහට වඩාගෙන කලබලයෙන් මෙන් මරදාන පොලිසිය වෙත දිව ආවේ ඒ මොහොතේය. බැලූ බැල්මට පුංචි එකා ඉපදී දින දෙක තුනක් බව නිගමනය කළ හැකි විය.
“මොකද මොකද මේ පොඩි දරුවෙකුත් වඩාගෙන? මොකක් හරි ප්‍රශ්නයක්ද?”
පොලිස් නිලධාරියෙක් එසේ අසද්දී ඔහු වරක් දරුවා දෙස බැලුවේය. පසුව පොලිස් නිලධාරියා වෙතට අහිංසක බයාදු මුහුණක් පෙන්වා මෙලෙසින් පවසන්නට විය.
“සර්, මගේ රස්සාව ත්‍රීවිල් හයර් කරන එක. ඊයේ අර මහා වැස්සේ කරුවල වැටෙන්න කිට්ටුව බොරැල්ල කනත්ත ළඟදි ත්‍රීවිල් එකට ගෑනු කෙනෙක් නැග්ගා. අතේ ලොකු බෑග් දෙකක් එහෙමත් තිබුණා. මං එච්චර ගණන් ගත්තේ නෑ. පස්සේ ඉතින් එයා ටික දුරක් ගිහින් බැස්සා. මමත් එහෙමම ගෙදර ගියා. මෙන්න ගෙදර ගිහින් බලද්දි ත්‍රීවිල් එක පිටිපස්සේ ලොකු බෑග් එකක්. මං හිතුවෙම අර කනත්ත ළඟදි නැගපු ගෑනු කෙනාට බැරිවෙලා ගිහින් කියලා. ඔය අතරේ තමයි බෑග් එක අස්සෙන් අඬන සද්දයක් ඇහුනේ. මං ඉතින් ඇරලා බැලුවා. ඒ බලද්දි තමයි මේ මගේ අතේ ඉන්න පොඩි එකා ඒ බෑග් එක අස්සේ ඉඳලා හම්බවුණේ. මං ඉතින් පොඩි එකාව අරන් පොලිසියට ආවා.”
පැමිණිලිකරුගේ ප්‍රකාශය ගැන මරදාන පොලිසියේ නිලධාරීන් පුදුම වූයේ නැත. මන්ද එවන් පැමිණිලි මරදාන පොලිසියේ පැමිණිලි පොතට අලුත් ඒවා නොවේ. එහෙත් ඔවුන්ට පුංචි සැකයක් තිබුණේ ඊයේ හවස්යාමයේ පැමිණිලිකරු අතට පත්වූ බව කියන දරුවා උදෑසන තෙක් ඔහු සන්තකයේ තබාගත් එක ගැනය.
“ඒ වෙලාවේ වැස්සයි රෑ වෙලා හින්දයි මං උදේට පොලිසියට එන්න හිතුවේ. උදේ වෙනකල් මේ පොඩි එකා හිටියේ අපේ ගෙදර. එහෙම තියාගෙන ඉඳලා තමයි උදෙන්ම අරන් ආවේ.”
මෙසේ බොරැල්ල කනත්ත ළඟදී කාන්තාවක් ත්‍රීරෝද රථයේ දමා ගිය කිරිකැටි බිලිඳා මෝහිනීගේ වුවද පොලිස් නිලධාරීන්ට සියල්ලටම කලින් කළ යුතුව තිබුණේ කුඩා බිලිඳා ගැන බලන එකය. මන්ද රියැදුරා පවසන ආකාරයට කලින් දින පස්වරුවේ සිට ඒ පුංචි එකාට කිරි නැත. එනිසා හැකි ඉක්මනින් බිලිඳාව පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකු අත රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමට ඔවුන් පියවර ගත්හ.
“සර්, මං යන්නද?”
පොලිස් පොතේ පැමිණිල්ලක් සටහන් කිරීමෙන් පසු ඒ ගැන විමර්ශනය කිරීම පොලිසියේ සිරිතය. ඒ අනුව පැමිණිලිකරුට නැවත යන්නට දුන්නේ අවශ්‍ය වුවහොත් නැවත පොලිසියට කැඳවන බවටද පවසමිනි. ඉන් අනතුරුව පොලිසිය එකී සිදුවීම ගැන විමර්ශන ඇරඹීය. ඔවුන් එය ඇරඹුවේ ත්‍රීරෝද රථ රියැදුරා ප්‍රකාශ කළ වේලාව අනුව බොරැල්ල කනත්ත අවට ඇති සීසීටීවී කැමරා ගණනාවක්ම පරීක්ෂා කිරීමෙනි. නමුත් පැමිණිලිකරු කී කාලයේ ගමන් මලු දෑත දැරූ කාන්තාවක ත්‍රීරෝද රථයකට ගොඩවන ආකාරයක් ඒ එකදු කැමරාවකවත් සටහන්ව තිබුණේ නැත. ඒ නිසා පොලිසිසේ සැකය වැඩිවිය. ඒ අනුවයි මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ.අයි.කේ.ඇපලකොටුව මහතා මරදාන පොලිස් ස්ථානය භාර කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාද දැනුවත්කොට මරදාන ජලාශ පාරේ පදිංචිකරුවෙකු වූ පැමිණිලිකරු නැවත මරදාන පොලිසීය වෙත කැඳවූයේ.
“අපිට ඇත්ත කියනවා. තමුන්ගේ අතට මේ ළමයා ආවේ කොහෙන්ද? මේ සැරේ ඇත්ත නොකීවොත් අමාරුවෙ වැටෙයි.”
පොලිස් ස්ථානාධිපතිවරයා රෞද්‍ර පෙනුමක් මවාගෙන එසේ අණ කරද්දී නම් පැමිණිලිකරුට තවදුරටත් ඇත්ත සඟවාගෙන ඉන්නට බැරිවිය. ඔහු එතැන් පටන් සියල්ලම පාපොච්චාරණ කළේය.
“එදා මං කිව්වේ බොරු සර්. මේ ළමයා මගේ මල්ලිගේ. එයා ජොබ් එක කරන තැනක ගෑනු කෙනෙක් තමයි මේ දරුවාගේ අම්මා.
මගේ මල්ලි කසාද බැඳපු කෙනෙක්. එයා අර කියපු ගෑනු කෙනත් එක්ක අනියම් සම්බන්ධයක් පවත්වලා. එයත් බැඳපු කෙනෙක්මයි. දන්නෙම නැතුව ගෑනිගේ බඩට දරුවෙක් ඇවිත්…”
පැමිණිලිකරු පොලිසියට රැගෙන ඇවිත් තිබුණේ ඔහුගේම සහෝදරයාගේ අනියම් සම්බන්ධයක් නිසා උපන් බිලිඳාය. ඒ මොහොතේ නම් කතාව අසා සිටි පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු අනෙකුත් නිලධාරීන්ට සුසුම් හෙලුනි. ඒ මෙලෙසින් උපදින දරුවන්ට අත්වෙන ඉරණම් ගැන අමුතුවෙන් කියන්නට උවමනා නැති නිසාය. නමුත් පැමිණිලිකරු බිලිඳාට හානියක් නොකර නිරුපද්‍රිතව පොලිසියට බාරදීම ගැන ඔවුන්ට තිබුණේ සැනසීමකි.
“අපේ ගෙවල් ළඟම තැනක තමයි ඒ ගෑනු කෙනා දරුවා ලැබෙන්න නවත්තලා හිටියේ. මල්ලිමයි පෙකණිවැල කතුරකින් කපලා එතැනට කොණ්ඩ කටුවක් ගැහුවේ. පස්සේ ලේ එන එක නවත්තන්න ෆාමසියකින් බෙහෙතක් ගෙනැත් දුන්නා. දරුවා ලැබිලා දවස් දෙකක් විතර දරුවා හිටියේ එතැන. කරන්න දෙයක් නැතිම තැනයි මං හිතුවේ දරුවා පොලිසියට ගෙනැත් දෙනවා කියලා. මොකද සර් මමත් කසාද බැඳපු කෙනෙක්. ඒ නිසා දරුවව බාරගන්න මටත් පුළුවන්කමක් නෑ.”
කෙසේ හෝ අවසානයේ දරුවා පානදුර ප්‍රදේශයේ ළමා නිවාසයකට බාරදුන් අතර අධිකරණය හමුවට පමුණුවන ලද බිලිඳාගේ මව, පියා සහ ත්‍රීරෝද රථ රියැදුරු ඇප මත මුදාහැරුණි. කෙසේ වෙතත් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵල අනුව සැකකරුවන් තිදෙනාට එරෙහිව නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
මෙකී කතන්දර පොලිස් පොත්වලට අලුත් නැත. එහෙත් අනියම් සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස මෙසේ ලැබෙන දරුවන්ගේ ඉරණම ගැන තහනම් ගස්වල ගෙඩි කන්නෝ වරක් දෙවරක් නොව සියවරක් හෝ සිතාබැලිය යුතුය. මන්ද ඔවුන්ගේ ඉහවහා ගිය හැඟුම්වලට දාව උපදින පුංචි උන් ළමා නිවාසවල දුක් විඳිය යුතු හෝ උපන්ගෙයි මියැදිය යුතු නැත. උප්පැන්න සහතිකයේ මවගේ නමත් පියාගේ නමත් ලියන තීරුව හිස් වූ විට දැනුම් තේරුම් ඇති වයසක ඔවුන්ට දැනෙන හැඟෙන දේහැඟීම වචනවලට පෙරලනු හැකිද?
භාතිය වෙඩිවර්ධන