Latest News

අහසට වෙඩි තබා දරුවා පැහැරගත් නීලක, පොලිස් වෙඩි පහරින් මරුට

ටී 56 ගිනි අවියකින් අහසට වෙඩි තබා, මිත්තණියගේ නිවසේ සිටි සිය දරුවා පැහැරගෙන ගිය සැකකරු පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබෙනවා.

හොරණ – අඟුරුවාතොට ප්‍රදේශයේ දී අදාළ සැකකරු සහ පොලිසිය අතර ඇතිවූ වෙඩි හුමවාරුවකදී මෙම සැකකරු මියගොස් තිබෙනවා.

ඒ, ඔහු සැඟව සිටි යැයි කියන නිවසක් අද දහවල් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය වැටලූ අවස්ථාවේදීයි.

මෙලෙස මියගොස් ඇත්තේ හොරණ ඉලිබ ප්‍රදේශයේ පදිංචිව සිටි ඊශ්වරගේ දොන් නීලක සඳරුවන් නමැත්තා වන අතර මොහු මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවයි පොලීසිය පවසන්නේ.

සිය මිත්තණිය භාරයේ සිටි 7 හැවිරිදි කුඩා දරුවා, ඔහුගේ පියා වන හොරණ නීලක නැමැත්තා විසින් ඊයේ දිනයේ පැහැරගෙන ගොස් තිබුණා.

මෙම සැකකරු මීට සතියකට පමණ ඉහතදී ද සිය බිරිඳගේ අත්පා වෙන් වන ලෙස තියුණු ආයුධවලින් කපා බරපතළ ලෙස තුවාල කර තිබුණා. එම සිදුවීමෙන් අනතුරුව එම දරුවා බිරිඳගේ මව භාරයේ තබා තිබුණා.

කෙසේවෙතත් හෙට දිනයේ දී අදාළ දරුවා, පරිවාස භාරයට පත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදු කරනවා.