Latest News

පොලිස් කාන්තාවකට අතවර කළ ස්ථානාධිපතිවරයා රිමාන්ඩ්

පොලිස් කාන්තාවකට අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සෙවනගල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඊයේ (29) ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්වරයා වෙත භාරවීමෙන් පසු ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, කේ. වී. දීපාල් නමැති පොලිස් ස්ථානාධිපතිවරයෙක්.

අතවරයට ලක්වූ 21 හැවිරිදි පොලිස් කාන්තාව මේ වන විට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

කොළඹ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරමින් අදාළ පොලිස් කාන්තාව සඳහන් කර ඇත්තේ,ඉකුත් ජනවාරි, පෙබරවාරි මාසවලදී වරින් වර මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරියට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අතවර කර ඇති බවයි.

ඒ අනුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේ දී ඔහු අධිකරණය හමුවේ අපේක්‍ෂිත ඇප ඉල්ලා ඇති බව වාර්තා වනවා.

එම අපේක්‍ෂිත ඇප ප්‍රතික්‍ෂේප වූ පසුව සැකකරු ඊයේ (29) ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.