Uncategorized

කෙල්ලෙක් ලියුම් බෙදන එක ගැන ගොඩක් අයට පුදුමයි සුනාලි රුවන්ගිකා නුගවෙල

ඒ පසුගිය නොවැම්බර් 17 වැනි බ්‍රහස්පතින්දාය. මතකය නිවැරදි නම් වෙලාව උදෑසන දහයට කිට්ටුකර තිබුණි. නමුත් අහස්ගැබේ වැස්සක පෙරනිමිති සටහන් වූ නිසාදෝ ඒ වෙලාව වලංගු වූයේ අතේ බැඳ සිටි ඔරලෝසුවටම පමණි. කොහොමින් හෝ එදින මා රාජකාරී වැඩක් වෙනුවෙන් කාර්යාල සගයෙකුද කැටුව යමින් සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ රුග්ගහවිල ප්‍රදේශයටය.

කොළඹ 07 විජේරාමයේ සිට තැපැල් කාර්යාල කීයක් පසුකරගෙන පැමිණියද තැපැල් කරන්නට තිබූ හදිසි ලියුම් කිහිපය සිහිවූයේ ඔය අල්ලපනල්ලේය. ඒ දවසට දෙතුන් සැරයක් හිතාමතාම අහන සතිෂ් පෙරේරාගේ ‘අවසන් ලියුමයි ඔබට ලියන්නේ’ සිංදුව ඒ මොහොතේ වාහනයේ දමා තිබූ එෆ් එම් චැනලයෙන් ඇහෙන්නට වූ නිසාවෙනි. එතැන් පටන් ඉදිරියටත් වඩා දෙපස බලන් වාහනය පැදවූයේ මතක් වූ වෙලාවේ හෝ ලියුම් ටික තැපැල් කරන්නටය. එලෙසින් යන්නට ලැබුණේ ටික දුරකි. දකුණ අත පැත්තෙන් අපට හමුවූයේ වේයන්ගොඩ ප්‍රධාන තැපල් කාර්යාලයෙන් පාලනය වෙන රුග්ගහවිල උපතැපැල් කාර්යාලයයි.

“මිස් මං ගිහින් එන්නම්…”

ලියුම් කිහිපය පෙට්ටියට දමා ආපසු එන්නට හැරෙද්දීම ඒ කටහඬ ඇහුනේ තැපැල් කාර්යාලය තුළිනි. මා යළි හැරී බලද්දී ලියුම් මිටියකුත් අතැතිව හැඩකාර තරුණියක් එහි දොරකඩය. තවත් තත්පර කීපයක් ගතවෙද්දී ලියුම් මිටිය අතැති තරුණිය අසළ තිබූ යතුරුපැදියට නැග ගියේ මටත් කටකොණින් සිනාසීගෙනමය. දැන් මට ප්‍රශ්නයකි. ඒ ඇය ගැනය.

“මහත්තයා පුදුමවෙලා බැලුවේ අර ගිය ගෑනු ළමයා දිහා වෙන්න ඇති. මමත් එයා මුලින් මෙතැනට පත්වෙලා එද්දි ඔය විදියට පුදුම වුණා පිරිමියෙක්ටවත් බෙදාගන්න බැරි මේ ලියුම් තොගේ කොහොමද කෙල්ලෙක් බෙදන්නේ කියලා. දැන් නම් හැබැයි ගෑනු ළමයෙක් කියලා බලන්නේ නැතුව ලස්සනට එයා ලියුම් බෙදන වැඩේ අල්ලගෙන යනවා.”

දෙලොවක් අතර තනිවූ මා දෙස බලාගෙන සිනාමුසු මුහුණින් එසේ පැවසුවේ රුග්ගහවිල උපතැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිනිය වන ජී.ජී.ඩී.යූ.ගමගේ ය. ඇය පැවසූයේ වේයන්ගොඩ ප්‍රදේශයේ තරුණියක වන 29 හැවිරිදි සුනාලි රුවන්ගිකා නුගවෙල පසුගිය වසරේ සිටම එහි ලිපි බෙදීමේ ආදේශිකාවක් ලෙස සේවයේ යෙදෙන බවයි.

පුංචි සන්ධියේ සිටම ලියුම් බෙදන පියුම් මාමලා කොතෙකුත් දැක තිබුණද ලියුම් බෙදන කෙල්ලෙක් දැක්කේ එදාය. ඒ නිසාමදෝ හිත බලකෙරුවේ යන්න ආ ගමන දෙවැනි තැනට දමා හෝ ලියුම් බෙදන සුනාලි රුවන්ගිකාව ඒ මොහොතේ මගේ පළමු රාජකාරිය කරගන්නටය.

“මං ඉගෙනගත්තේ වේයන්ගොඩ ශාන්ත මරියා ජාතික පාසලේ. ඒ කාලේ ශිෂ්‍ය නායිකාවක් වෙලා එහෙමත් හිටියා. ඉතින් ඉස්කෝලේ ගිහින් ඉවරවෙලා ගෙදර ඉන්නකොට මං දැක්කා රජයේ රැකියාවක් විදියට ‘ලිපි බෙදීමේ ආදේශිකා’ කියන තනතුරක් ගැසට් කරලා තිබුණා. ඒ 2020 අවුරුද්දේ. පස්සේ මොකක් වුණත් රජයේ ජොබ් එකක් නිසා මං වැඩිය හිතන්නේ නැතුව අයැදුම් කළා. ඒ කරලා ඒකට අදාළ විභාගයත් ලිව්වා. එහෙම තමයි මට පහුගිය අවුරුද්දේ ඉඳන් රුග්ගහවිල උපතැපැල් කාර්යාලයට එන්න ලැබුණේ.”

සුනාලිත් සමඟ මා එසේ කතාබහට වැටුණේ ඇයව කතාබහක් වෙනුවෙන් අල්ලාගන්නට දැඩි ප්‍රයත්නයක් දැරුවාට පසුය. මන්ද මා තැපැල් කාර්යාලයේ සිට යනවිටත් ඇය බොහෝ දුරක් දක්වා යුහුසුළුව තම රාජකාරියේ යෙදී තිබුණි.

“ලියුම් බෙදන රස්සාවට ගෙදරින් නම් විරුද්ධ වුණේ නෑ. එයාලා කිව්වේ රජයේ රස්සාවක් නිසා හොඳ ඇති ගිහින් බලන්න කියලා. ඉතින් මට තවත් හිතන්න කිසිම දෙයක් තිබුණේ නෑ. ඒ නිසා මං මේ රස්සාවට ආවා. මුලදි ටිකක් අමාරුයි වගේ දැනුණත් දැන් නම් ආසාවෙන් වැඩේ කරගෙන යනවා.”

අපි දන්න පියුම් මාමලා ලියුම් බෙදුවේ බයිසිකලේ නැඟී වුවද සුනාලිගේ ගමන් සඟයා නම් යතුරුපැදියකි. තෙල් මිලත් අහස උසට ඉහළ ගොස් ඇති මොහොතක ඒ ගැනත් ඇගෙන් නොඅසාම බැරිවිය.

“රුග්ගහවිල උපතැපැල් කාර්යාලයට ලියුම් බෙදන්න ලොකු කොටසක් අහුවෙනවා. ඒ නිසා ලියුම් සෑහෙන්න බෙදන්න වෙනවා. මට හිතුණා මං ගෑනු ළමයෙක් නිසා බයිසිකලේ ගිහින් නම් ලියුම් බෙදන්න අමාරුයි කියලා. එහෙම හිතලයි මගේ බයික් එකේ ගිහින් ලියුම් බෙදන්න පටන්ගත්තේ. හැබැයි බයික් එකේ ලියුම් බෙදන එක පාඩුයි. මොකද තෙල් මිල ගැන ඉතින් අලුතින් කියන්න ඕන නෑනේ. එහෙමයි කියලත් වෙන විකල්පයක් නැති එකේ ඔන්න ඔහේ හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතාගෙන බයික් එකේම පුරුදු විදියට ලියුම් බෙදනවා.”

පුරුදු විදියට දැන් දැන් සුනාලි ලියුම් බෙදුවද ඇයටත් කාලයක්ම මෙය නුපුරුදු අත්දැකීමක් විය. මගෙන් ඇයට ලැබුණු ඊළඟ ප්‍රශ්නය ඒකය.

“ඇත්තටම ලියුම් බෙදිල්ල ලේසි නෑ. මුලදි නම් මට බයත් හිතුණා. ඒත් රුග්ගහවිල උපතැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපතිනිය ඇතුළු හැමෝම මට සහයෝගය දුන්නා. මට මතකයි මුල් දවස්වල ගෙවල්වලට ලියුම් දෙන්න යද්දි ඒ ගෙවල්වල අය පුදුමවෙලා මගේ දිහා බලාගෙන හිටියා. මොකද කෙල්ලෙක් ලියුම් බෙදන එක එයාලට අලුත් අත්දැකීමක්නේ. සමහරු නම් තේ එකක් බීලා යන්න එහෙමත් කතා කළා. ඒත් දැන් නම් මාව නොදන්න කෙනෙක් නෑ.”

ඉරිදා හැරුණුකොට සුනාලිට හැමදාම වැඩය. ඒ නිසාම උදේ 8.00 වනවිට ඇය කුකුළාත් අතින් අරගෙනම තැපැල් කාර්යාලය වෙත පැමිණිය යුතුය. එතැන් පටන් 11.00 වෙනතෙක් ඇගේ රාජකාරිය වන්නේ ලියුම් තෝරා වෙන්කිරීමයි. එසේ තෝරා වෙන්කළ ලියුම් බෙදීම පටන්ගන්නේ ඉන්පසුය. බොහෝ දිනවලට ඇය ලියුම් බෙදා ආපසු එනවිට හවස තුන හතරටත් කිට්ටුය. එයින්ම ඇයට ප්‍රදේශය පුරා බෙදන්නට ඇති ලියුම් ප්‍රමාණය ගැන සිතාගත හැකිය.

“වැස්සයි බල්ලොයි තමයි මේ රස්සාවේ බාධාවකට කියලා තියෙන්නේ. වැස්ස කාලෙට ලියුම් බෙදන්න අමාරුයි. මොකද ලියුම වතුරට තෙමුණොත් පෑනෙන් ලියපු ඇඩ්‍රස් එහෙම මැකෙන්න පුළුවන්. බල්ලෝ නම් ඉතින් කොහොමත් බුරනවා. ඒත් සමහර ගෙවල්වල ඉන්න බල්ලෝ නම් දැන් මාව නිතරම දැකලමද කොහෙද හොඳට අඳුරනවා.”

ඇගේත් මගේත් කතාබහ මැද්දෙන් මගේ ඇස් ක්ෂණයෙන් නැවතුණේ සුනාලිගේ වමතේ වූ මංගල මුදුව ළඟය. ඒ මෙතෙක් වේලා මා ඇයව අවිවාහක තරුණියක් ලෙස සිතා සිටි හෙයිනි.

“මං විවාහකයි. එයා වැඩ කරන්නේ හමුදාවේ. ඒක ඉස්කෝලේ කාලේ ඉඳන් තිබුණු ප්‍රේම සම්බන්ධයක්. එයත් මං මේ රස්සාව කරන එකට විරුද්ධ නෑ. දැන් අපිට අවුරුදු දෙකයි මාස හතරක පුංචි දුවෙකුත් ඉන්නවා. මගේ පවුලේ වෙන ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි. ඉතින් දුව අම්මට දාලා තමයි මං වැඩට එන්නේ. ඒත් දුව පුංචිම කාලේ නම් එයාව ගෙදර දාලා වැඩට එන්න ටිකක් අමාරු වුණා.”

පිරිමින්ට කියා සින්නක්කර නොලියා තිබුණද මෙතෙක් කාලයක් ලියුම් බෙදන රස්සාව කළේ පිරිමිය. ඒත් සුනාලි නිසා දැන් එය පිරිමින්ගේ රස්සාවක් යැයි කියන්නට පුළුවන්කමක් නැත. මා දන්නා තරමින් සුනාලි හැරුණුකොට ලංකාවේ ලියුම් බෙදන වෙනත් තරුණියක් නැත. සුනාලි සිතා සිටින්නේද එහෙමය. කොහොමින් හරි ඇය ගැන අපට නම් ඇත්තේ ආඩම්බරයකි.

“අද ගොඩාක් ගෑනු ළමයි එයාලට හරියන ජොබ් නෑ කිය කියා ගෙවල්වල නිකරුණේ කල් ගෙවනවා. ඒක වැරදියි. කොහෙවත් පිරිමින්ට මේ ජොබ් ගැහැනුන්ට මේ ජොබ් කියලා වෙන්කරපු ජොබ් නෑ. මං මේ ජොබ් එකට එනකොට කවදාවත් ලියුම් බෙදපු කෙල්ලෙක් දැකලා තිබුණේ නෑ. ඒත් මං බය නැතුව ඉල්ලුම් කළා. මං දැන් ලියුම් බෙදන වැඩේ කරන්නේ ගොඩාක් සතුටින්. ජොබ් එක මොකක් වුණත් ඒකට කැපවීමෙන් හැඩගැහුණොත් ඒක සතුටින් කරන්න බැරිකමක් නෑ.”

රුවන් එස්.සෙනවිරත්න