මොලි තුනෙන්ම ටෝක් කරන ප්‍රමිලා
“මගීන් කරුණාවෙන් සවන් දෙන්න. මේ කොටුව දුම්රිය ස්ථානයයි. තුන්වැනි වේදිකාවට දැන් පැමිණෙන දුම්රිය තව ස්වල්ප වේලාවකින් පොල්ගහවෙල බලා පිටත් වේ. දුම්රිය පොල්ගහවෙල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.”
ඒ 2006 අවුරුද්දේ දවසක කොටුව දුම්රියපොළෙන් ඇහුණු නිවේදනයක්. සිංහල නිවේදනයෙන් පස්සේ ඉංග්‍රීසි සහ දමිළ භාෂාවලිනුත් ඒ නිවේදනය කළේ එකම ස්ත්‍රී හඬකින්. ශබ්ද විකාශන යන්තරෙන් ඇහෙන සජීවී හඬ මී පැණි වත්කරනවා වගේ කනට සනීප නිසා පොල්ගහවෙල පැත්තට යන්නේ නැති මිනිස්සුත් සාවදානයෙන් ඒ හඬට ඇහුම්කන් දුන්නා.
2006ට කලින් ලංකාවේ දුම්රිය ස්ථානවල විකාශය වුණේ පටිගත කරපු හඬ නිවේදන. සිංහල, දමිළ, ඉංග්‍රීසි මාධ්‍ය නිවේදනය කළේ තුන්ගොල්ලක්. ඒකත් වැඩිපුර පිරිමි හඬින්. හැබැයි ඒ අවුරුද්දෙන් පස්සේ ඒක වෙනස් වෙනවා. ලංකාවේ ප්‍රධානම දුම්රිය ස්ථානයක් වන කොටුව ස්ටේෂන් එකේ භාෂා තුනෙන්ම සජීවී නිවේදනයක් ඇහෙන්න පටන්ගන්නවා.
ඔය සජීවි නිවේදක තනතුර හැදුනේ එක විශේෂ ගෑනු ළමයෙක් නිසා. අපි අර මුලදි කිව්වේ ඇගේ හඬ ගැන. ජනමාධ්යවේනියක්, රූපවාහිනී, ගුවන්විදුලි නිවේදිකාවක්, ලේඛිකාවක්, ගීත රචිකාවියක් විදියටත් ප්‍රසිද්ධ ඇය ප්‍රමිලා වීරසිංහ. මේ ඇයත් එක්ක කරපු කතාබහක සටහනයි
“මම ඉපදුණේ කොළඹ. ශුද්ධ වූ කන්‍යාරාමයෙන් වගේම ලින්ඩ්සේ බාලිකා පාසලෙනුත් ඉගෙනගත්තා. පස්සේ එංගලන්තෙට ගිහින් උපාධිය සම්පූර්ණ කළා. මගේ අම්මා දෙමළ. තාත්තා සිංහල. පොඩි කාලේ ඉඳලම ගෙදර අය භාෂා තුනම පාවිච්චි කළා. ඒ නිසා මතක ඇති කාලේ ඉඳලා මට භාෂා තුනම හොඳට පුළුවන්.”
භාෂා කිහිපයක් පුළුවන් වීම කියන එකම නිවේදකයෙක් වෙන්න සුදුසුකමක් නෙමෙයි. ඒකට උපන් පහන්කමත් අවශ්‍යයි.
“පොඩි කාලේ ඉඳලා මට හොඳට කතා කරන්න පුළුවන්. කියවීම, කථික තරඟ ඉස්සර ඔය හැම එකකටම යනවා. සිංහල භාෂා තරඟවලින් අවුරුදු 5ක් එකදිගට සමස්ත ලංකා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා.”
එංගලන්තෙන් උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරලා ආපු ප්‍රමිලා දුම්රිය දෙපාර්තමේන්තුවට සේවකයන් ගන්නවා කියලා දැනගත්තේ අහම්බෙන්ලු.
“රස්සාවක් කරන්න අදහසක් තිබ්බෙ නැහැ. හැබැයි නිකන් ඉන්න එකේ අයැදුම් කරලා බලන්න හිතුණා. ඉන්ටර්වීව් එකෙන් මාව තේරුණා. භාෂා තුනම පුළුවන් එක විශේෂ සුදුසුකමක් වුණා. භාෂා තුනම පුළුවන් නිසා මම වෙනුවෙන්ම ‘කොටුව දුම්රිය ස්ථාන ප්‍රධාන සජීවි නිවේදිකා’ කියලා අලුත් තනතුරක් හැදුවා.”
ප්‍රමිලා ලංකාවේ පළමු සජීවි ත්‍රි භාෂා නිවේදිකාව වුණේ ඔහොමයි.
“එතකොට මට අවුරුදු 20යි. ඉතින් හිතේ පොඩි චකිතෙකුත් තිබ්බා. පරණ රෙකෝර්ඩින් අහලා ඒ විදියට කරන්න කිව්වා. මුලදි මුලදි නම් මට වැරදුණා. හැබැයි පස්සේ මම වැඩේ ඉගෙනගත්තා. පරණ ඒවගේ විදියටම නැතිව මටම කියලා අනන්‍යතාවයක් හදාගත්තා. දුම්රිය මගී නිවේදනවලට අමතරව දුම්රිය කාර්යාලයීය නිවේදන එහෙමත් කළා.
උදේ නවයට වැඩ පටන්ගත්තාම එක දිගට නිවේදනය කරන්න ඕනේ. දවසට නිවේදන 100ක් විතර කරනවා. භාෂා තුනෙන්ම කතා කරන නිසා වෙලාවකට කට රිදෙනවා. ඒ මොනවා වුණත් හරි ආසාවෙන් මම ඒ වැඩේ කළා.”
දුම්රිය ස්ථානාධිපති කාර්යාලයේම පිහිටි පුංචි වීදුරු කුටියක තමයි ඇය නිවේදන කරයුතු කරලා තියෙන්නේ. ඉතින් ලස්සන කටහඬක් තියෙන ලස්සන පොඩි කෙල්ල කවුද කියලා බලන්න දුම්රිය මඟීන් නිතරම ඇගේ කුටිය ළඟට එනවලු.
“මම කතා කරනවා බලන්න කට්ටිය හරි ආසයි. ඉතින් ගොඩක් වෙලාවට මම ඉන්න වීදුරු රූම් එක වටේට පිරිලා කට්ටිය බලාගෙන ඉන්නවා. ගොඩක් අය කටහඬ ලස්සනයි කියනවා. ඒ කාලේ ප්‍රවාහන ඇමති හිටියේ ඒ.එච්.එම්. ෆවුසි මහත්මයා. එතුමත් දවසක් දුම්රිය අමාත්‍යාංශයේදි මාව අගය කරලා තිබුණා.”
භාෂා තුනකින් එකවර සජීවීව නිවේදනය කරන ඇය වගේ තරුණියක් රටට සම්පතක් කියලයි එදා අමාත්‍යවරයා කියලා තිබුණේ.
“දුම්රිය නිවේදන කරන අතරතුරේ ගුවන්විදුලි නාළිකාවලිනුත් ආරාධනා එන්න ගත්තා. ගුවන්විදුලි නිවේදිකාවක් වෙන්නත් ආසාවක් තිබුණු නිසා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අයින්වෙලා TNL එකේ ඇසුර ගුවන්විදුලියේ නිවේදිකාවක් විදියට වැඩ කරන්න පටන්ගත්තා. එතැනදි වැඩසටහන් නිවේදනයට අමතරව ප්රවෘත්ති නිවේදිකාවක්, පුවත් සංස්කාරකවරියක් විදියටත් වැඩ කළා.
දුම්රිය නිවේදිකාවක් විදියට වැඩ කළ කාලය වගේම ඒ කාලයත් විශේෂයි. 2009 ප්‍රභාකරන්ව මැරුව වෙලාවේ අපේ චැනල් එකේ බ්‍රේකින් නිව්ස් එක කිව්වේ මම. අවුරුදු 30ක් දුක් වින්ද මිනිස්සුන්ට සාමය ලැබුණා කියලා පණිවිඩේ කිව්ව ඒ දවස තමයි මගේ වෘත්තීය ජීවිතේ මට අමතක නොවන දවස.”
වෘත්තීය ජීවිතේ අමතක නොවන මතක ගැන ඈ කිව්වේ එහෙම. ලංකාවේ ප්‍රකට මාධ්‍ය ආයතන කිහිපයක ප්රවෘත්ති ප්‍රධානී විදියටත්, තාක්ෂණ හා පර්යෙෂණ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරිය විදියටත් ප්‍රමිලා කාලයක් වැඩ කළාලු. නිවේදන කටයුතුවලට අමතරව ඇය ලේඛිකාවක් විදියටත් කටයුතු කරනවා.
“ඉස්සර අපේ ගෙදර හැමදාම සතිඅන්ත පුවත්පත ගන්නවා. මුලින්ම අම්මයි තාත්තයි පත්තරේ කියෝනවා. ඊටස්සේ මමයි මල්ලියිත් අනිවාර්යයෙන්ම පත්තරේ කියවන්න ඕනේ. ඒ අය අපිට පොත් කියවන්න පුරුදු කළේ එහෙමයි. මට ලියන්න පුළුවන් වුණෙත් ඒ කියවන පුරුද්ද නිසයි. හැබැයි දැන් කාලේ අම්මලා තාත්තා ෆෝන්වලට ඇබ්බැහි වෙලා නිසා ඉස්සරහට කියවන දරු පිරිසක් බිහිවෙයි කියලා හිතන්න අමාරුයි.”
කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියනවනේ. ඉතින් පොතපත කියවන්නේ නැතිකොට අසම්පූර්ණ මිනිස්සු බිහිවෙනවයි කියලයි ඇය කිව්වේ. හැබැයි ඇගේ ‘බඹර කලාපය’, ‘පශ්චාත්තාපය’ වගේ පොත් නම් බොහෝදෙනෙක් ආදරෙන් කියවනවලු.
“මට පොඩි දරුවෙක් ඉන්නවා. එයාට තාම අවුරුදු පහයි. දරුවා ලැබුණට පස්සේ මම ස්ථිර රැකියාවෙන් අයින් වුණා. ඒත් දැන්වීම් හඬකැවීම්, සජීවී නිවේදන වගේ දේ කරනවා. මේ කාලෙ දරුවට මාව ඕන නිසයි මම අයින්වුණේ. ඒත් තව ටිකක් ලොකුවුණු ගමන් ආයෙත් වැඩ පටන්ගන්නවා. කසාද බැන්දය, දරුවෝ ලැබුණය කියලා අපේ දක්ෂතා යටපත් කරගන්න ඕනේ නැහැ. වෙනත් විදියකට හරි දක්ෂතාවෙන් ප්‍රයෝජනයක් ගන්න. නැත්තම් අපරාදේ.
මම නැගිටින්නේ උදේ 4ට. මම ගෙවතු වගාවක් කරනවා. දරුවගේ වැඩයි මගේ අනිත් වැඩයි සේරම කරන්න කාලය ඇති. හැබැයි සමහර කාන්තාවෝ ඉන්නවා උදේ නැගිට්ට වෙලාවේ ඉඳලා කරන්නේ අනුන්ගේ ඕපාදූප හොයන එක. එතකොට ඉතින් තමන්ගේ කාලය, ජීවිතය මඟහැරිලා යනවා. තමන්ගේ දියුණුව ගැන හිතන මිනිස්සුන්ට අනුන්ගේ ඕපදූප හොයන්න වෙලාවක් නැහැ කියන එක ඔලුවට ගන්න ඕනේ.”
කතාව අතරතුරේ සැමියා චානක පෙරේරාගෙන් ලැබෙන සහාය ගැනත් ඇය මතක් කළා. ඇය මේ දවස්වල කරන තවත් විශේෂ වැඩක් ගැනත් අවසානෙදි ප්‍රමිලා අපිට කිව්වා.
“මොලි තුනෙන්ම ටෝක් කියලා යූටුබ් චැනල් එකක් පටන්ගත්තා. දෙමළෙන් ‘මොලි’ කියන්නේ භාෂාවට. මේ ප්‍රෝග්‍රෑම් එක භාෂා තුනෙන්ම කරනවා. භාෂා තුනකින් කතාබහ කරන ලංකාවේ එකම යූටුබ් චැනල් එක මේක.”
සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ඉස්සරහට වැඩ ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවයි කියලයි ප්‍රමිලා කිව්වේ. ඉතින් ඇගේ ඒ පැතුම් ඉටුවෙන්න කියලායි අපෙත් පැතුම.
සෙව්වන්දි හෙට්ටිආරච්චි