ගැබිණි මව්වරුන් සඳහා කළ යුතු අනිවාර්ය පරීක්ෂණ දෙකක් ඇනහිටියි
ගැබිණි සමයේ මවුවරුන්ට අනිවාර්යයෙන් ම සිදුකළ යුතුව තිබෙන එච්.අයි.වී. (HIV) සහ වී.ඩී.ආර්.එල්. (VDRL) පරීක්ෂණ මේ වන විට සම්පූර්ණයෙන් ම ඇනහිට තිබෙන බව ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ උපසභාපති හා මාධ්‍ය ප්‍රකාශක, ශ්‍රී ලංකා ලිංගික සෞඛ්‍ය සහ එච්.අයි.වී. වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාර්ථීන්ගේ සංසදයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහ පවසනවා.
මේ හේතුවෙන් මවුගෙන් දරුවාට එච්.අයි.වී. සහ උපදංශය වැනි රෝග ආසාදනය වීම වැළැක්වීම සඳහා මෙතෙක් ගෙනගිය වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබෙනවා.
එච්.අයි.වී. වෛරසය සහ උපදංශය මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීම සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව 2018 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ලබාගෙන තිබුණා.
ඒ අනුව 2025 වසරේදී ඒඩ්ස් සම්පූර්ණයෙන්ම රටින් තුරන් කිරීමේ ඉලක්කයක් ඇතිව සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක වූ බව කී හතුරුසිංහ මහතා අවධාරණය කලේ,ඖෂධ හා උපකරණ හිඟය හේතුවෙන් එම වැඩපිළිවෙළ මේ වන විට අඩාල වී තිබෙන බවයි.
ජාතික මට්ටමේ දත්ත අනුව එච්.අයි.වී. සහ වී.ඩී.ආර්.එල්. පරීක්ෂණ ගැබිනි මවුවරුන්ගෙන් 95%කට වැඩි සංඛ්‍යාවකට සිදුකර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මිනුම් දඬුවලට අනුව ඉතා ඉහළ තත්ත්වයක සිටියත් දැන් එය බරපතළ කඩා වැටීමකට ලක්ව තිබෙන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කලේ, පරීක්ෂණය දරු පිළිසිඳ ගැනීමක් සිදුව සති 14ක් ගතවන්නට මත්තෙන් සිදුකළ යුතු බවත් එසේ කරනු ලබන්නේ, යම් හෙයකින් එච්.අයි.වී. සහ වී.ඩී.ආර්.එල්. පරීක්ෂණ මගින් මවට ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝගයක් තිබෙන බවට හඳුනා ගතහොත් දරුවාට ඉන් ඇතිවන බලපෑම අවම කිරීම සඳහා ප්‍රතිකාර කිරීමට කාලයක් අවශ්‍ය නිසා බවයි.
එමෙන්ම පවතින ආර්ථික ගැටළු හේතුවෙන් ලිංගික වෙළෙඳාම සඳහා කාන්තාවන් යොමුවීම ඉහළ ගොස් තිබෙන බැවින් මේ නිසා අදාළ පරීක්ෂණ මවුවරුන්ට පමණක් නොව සැක සහිත ලිංගික හැසිරීමක නිරත වූ සියලුදෙනා සිදුකර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව ඔහු සඳහන් කළා.
ඩොලර් අර්බුදය හේතුවෙන් අදාළ පරීක්ෂණ සිදු කිරීමේ පහසුකම් නොමැති වීමේ ප්‍රතිඵලයක් ලෙස මවගෙන් දරුවාට එච්.අයි.වී. සම්ප්‍රේෂණය වූ දරුවෙකු බිහි වුවහොත් ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව ද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවා.
මෙරට සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය සැලකීමේදී රෝග වැළැක්වීමේ අංශයේ ප්‍රගතිය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන බවත් පවතින තත්ත්වය තුළ ලෝක මට්ටමින් ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශයට හිමිව තිබෙන ස්ථානය පහත වැටීමට ඉඩ තිබෙන බවත් ඒ මහතා සඳහන් කළා.