Latest News

හිටපු ජනපතිනිය ඝාතන නඩුවේ චූදිතයින් තිදෙනෙකුට ජනපති සමාව

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චූදිතයින් බවට පත්වී බන්ධනාගාරගතව සිටි රැඳවියන් තිදෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබෙනවා.

ඒ ඊයේ (24) දින දෙමළ සිරකරුවන් 08 දෙනකුට ජනපති සමාව ලබා දුන් අවස්ථාවේදී යි.

මෙහිදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමසා ඇති අතර එහිදී සිදුවූ එකඟතාවය ද සහිතව අදාළ රැඳවියන් නිදහස් කිරීම සඳහා අවශ්‍ය මූලික පසුබිම සකසා ඇති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාවට ප්‍රකාරව ශ්‍රී ලංකා‍‍වේ අධිකරණයකින් වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාව ලබා දීම සම්බන්ධව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම සමාව පිරිනමා තිබෙනවා.

දෙමළ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා සමග සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

කෙසේවෙතත් ඔවුන් පිළිබඳව පූර්ව තොරතුරු අධීක්ෂණයක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සිදු කර තිබෙනවා.

පසුව අදාළ එකඟතා වාර්තාව පිළිබඳ අධිකරණ අමාත්‍යවරයාගෙන් හා ඔහු මගින් නීතිපති වීමසීමෙන් අනතුරුව මෙම තීරණයට එළෙඹ තිබෙනවා.