ඩයනාගේ නම ගත්තාට තැන ගන්න කේට් කුමරියට පුළුවන් වෙයිද?
විලියම් කුමරු හා අතිනත ගනිද්දී, කේට් කුමරියට පැළැන්දුවේ ඩයනා පැළඳි මංගල මුදුවය. ඉන් වසර කිහිපයකට පසු ‘වේල්සයේ කුමරිය’ ලෙස ඩයනා දැරූ කිරුළ තම නාමය ඉදිරියේ ලියාගන්නට කේට් භාග්‍යමත් වී තිබේ. ඒ දෙවන එලිසබත් රැජිනගේ අභාවයත් සමඟ බ්‍රිතාන්‍ය කිරීටයේ සිදුවූ වෙනස්කම් සමඟිනි.
වසර හැත්තෑවක කාලයක් වේල්සයේ කුමරු ලෙස කිරුළු දරන්නට බලාසිටි චාල්ස් කුමරු තුන්වන චාල්ස් රජු ලෙස කිරුළ දරද්දී, වේල්සයේ කුමරා බවට පත්වුණේ විලියම් කුමරුය. වේල්සයේ කුමරිය කිරුළ, ඔහුගේ පාද පරිචාරිකාව වන කේට්ට හිමිවිය. ඉකුත් සැප්තැම්බර් නවවනදා චාල්ස් රජු එම තනතුරු නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
කෙසේ නමුත් අදටත් වේල්සයේ කුමරිය කී සැනින් අපේ මතකයට එන්නේ ඩයනා කුමරියගේ සුපහන් දෑසයි. ‘ජනතාවගේ කුමරිය’, ‘එංගලන්තයේ රෝස කුසුම’ ලෙස ඇය අදටත් බොහෝ හදවත්වල ජීවමානය. ඩයනා වේල්සයේ කුමරිය බවට පත්වුණේ 1981 වසරේ සිදුවූ චාල්ස්-ඩයනා සරණ බන්ධනයෙන් පසුය. 1997 වසරේ හදිසි අනතුරකින් ඇය ජීවිතක්ෂයට පත්වූ පසු, වසර විසිපහක් ‘වේල්සයේ කුමරිය’ කිරුළ පුරප්පාඩුවක් වශයෙන් පැවතිනි. එහෙත් දැන් එම කිරුළ කේට් කුමරියට හිමිව තිබේ. ඒ නිසා කේට්ගේ කතාවේ හොඳම පරිච්ඡේදය ඇරඹෙන්නේ දැන්ය.
කැතරින් එලිසබෙත් මිඩ්ල්ටන් හෙවත් කේට් 1982 ජනවාරි 09 වනදා උපත ලැබූවේ බර්ක්ෂියර් රාජකීය රෝහලේය. ඒ ද සාමාන්‍ය පවුලකය. ඇයට විලියම් කුමරු මුණගැහුනේ ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෲස් සරසවියේ ඉගෙනුම ලබද්දීය. 2003 දී ඇරඹුණ ඔවුන්ගේ පෙම් කතාව 2007 වසරේ බිඳීගියද 2010 වසරේ එය යළිත් ලිය දැමුවේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2011 අප්‍රේල් 29 වනදා කේට්, විලියම් හා විවාහවුණේ බ්‍රිතාන්‍ය රාජකීය පවුලට එක්වූ වයසින් වැඩිම මනාලිය ලෙසිනි.
විලියම්ගේ පෙම්වතිය වූ දා සිටම කැතරීන්ට මාධ්‍යයෙන් ගැලවීමක් තිබුණේ නැත. වරක් ඈ ඊට එරෙහිව නඩු මගටද බැස්සාය. නමුත් ඩයනා කුමරියට සේම ඇයටද සමසිතින් ඒවාට මුහුණදීමට සිදුවනු ඇත.
ඩයනා යනු අතිශය ආකර්ෂණීය රජ කුමරියකි. අසූව අනූව දශකයේදී ඇය පිළිබඳ සෙනෙහස උමතුවක් මෙන් ලොව පුරා පැතිර ගියේය. ‘ඩයනා කට්’ ලෙස ප්‍රසිද්ධියට පත් ඇගේ හිසකේ විලාසිතාව අදටත් බොහෝදෙනෙකුට අමතක නැත්තේ ඒ නිසාය. ‘එංගලන්තයේ රෝස කුසුම’ ලෙසින් හැඳින්වුණු ඇය 1997 අකාලයේ මිලින වෙද්දී නොහැඬූ කෙනෙකු නැතිතරම්ය. කේට් කුමරියද ඒ අතර ඉන්නට ඇත. එහෙත් ඇගේ ඇවෑමෙන් වසර 25කට පසු තමා වේල්සයේ කුමරිය වනු ඇතැයි එදා ඇයට සිතෙන්නට නැතුව ඇත.
කේට්, ඩයනා කුමරිය අනුගමනය කරන බව බොහෝ අවස්ථාවල දක්නට ලැබේ. ඇඳුම් විලාසිතා, හිස්වැසුම් සහ ආභරණ ආදයෙහිද ඒ බව දක්නට ඇත. ඇය ඩයනා කුමරිය කිසිදා දැක නැතත් සිය නැන්දණිය කෙරෙහි මහත් ගරුත්වයක් දක්වන්නියක බව සඳහන්ය. විවාහයට පෙර සිටම කේට් තුළ ඉලක්කගත අපේක්ෂාවක් තිබිතැයි, වරෙක බ්‍රිතාන්‍ය සඟරාවක පළව තිබුණි. එනම් විලියම් හා විවාහ වී රාජකීයයන්ගේ සැලකුම් මැද ගෞරවණීය චරිතයක් වන්නට ඈ මනසේ චිත්‍රයක් ඇඳී තිබූ බවයි.
දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයේදී කේට් කුමරිය රැජිනට මෙන්ම සිය නැන්දණියටද ගෞරව දැක්වූවාය. විවාහ තිළිණයක් ලෙස ලද ඩයනා කුමරියට අයත්ව තිබූ මුතු සහ දියමන්ති කරාබු ඈ එහිදී පැළඳ සිටියාය. එය කුමරියන් දෙදෙනාම වැඩි වශයෙන් භාවිත කර ඇති ආභරණයකි. වික්ටෝරියා රැජිනගේ කාලයේ සිටම මුතු සැලකෙනුයේ ශෝකයේ සලකුණක් ලෙසිනි. වික්ටෝරියා රැජින සිය ස්වාමියා මියගිය පසු වසර 40ක් පුරා කළු පැහැ ඇඳුම් ඇන්දාය. ආභරණද කළු හෝ අවර්ණය. ඈ සැලකුවේ මුතුවලින් කඳුළු නියෝජනය වන බවයි. එම සම්ප්‍රදාය දිගු කලක් නොනැසී පැවති අතර රාජකීය කාන්තාවෝ අවමංගල්‍ය අවස්ථාවලදී මුතු පළඳිති. කේට් කුමරියගේ ඇඳුමේ වූ කොල තුනක හැඩැති මුතු සහ දියමන්ති සහිත පළඳනාව දෙවැනි එලිසබත් රැජිනට අයත් වූවකි. ඒ වාගේම ඩයනා කුමරිය විශාල ආභරණ සහ කුඩා ඔටුනුවලට මහත් සේ ඇලුම් කළාය. කේට් කුමරිය හිස්වැසුම් සහ විවිධ මෝස්තරයේ රේන්දවලට ප්‍රිය කරන්නීය.
මෙයට අමතරව ඩයනා කුමරියගේ මෝස්තර රැසක් කේට් කුමරිය විසින් අනුගමනය කරනු ලැබූ අවස්ථා දක්නට ඇත. එමෙන්ම ජීවන චර්යාවලදීද ඩයනා කුමරිය තරමට රැඩිකල් නොවූවද වේල්සයේ නව කුමරියද එවැනි චර්යා ඇත්තියක බව පෙනේ. ඇය දරුවන් හදා වඩාගන්නා ආකාරය ඊට උදාහරණයකි. සිංහාසනයේ උරුමක්කරුවන් දෙදෙනෙකු එකම ගුවන්යානයක එකවර ගමන් නොකිරීම රාජකීය සම්ප්‍රදාය විය. එහෙත් ඩයනා කුමරිය එම රීතිය බින්දාය. 1983 දී ඩයනා කුමරියට සහ චාල්ස් කුමරුට ඕස්ට්‍රේලියා-නවසීලන්ත සංචාරයක් යෙදිණ. එහිදී සිය නවමස් වියැති වැඩිමහල් පුත් විලියම් ආයම්මා කෙනෙකුට පවරා යාමට ඩයනා කුමරිය එකඟ නොවූවාය. තිදෙනාම එකම යානයකින් ගුවන්ගත විය යුතු බවද ඇගේ තීරණය විය. සිය මවගේ මාර්ගයේ ගමන්ගන්නා විලියම් කුමරු සහ කේට් කුමරිය සිය දරු තිදෙනාද සමඟ ගමන් කරනුයේ එකටමය. දරුවන් සමඟ වඩා සමීප සබඳතාවක් පවත්වා ගැනීමටද ඔවුහු උත්සාහ දරති. ඩයනා ආදරණීය මවක ලෙස ප්‍රසිද්ධය. බොහෝවිට කේට් කුමරිය ක්‍රියා කරන්නේද එලෙසිනි. එනිසා ජනතාව ඈ කෙරෙන් ඩයනා කුමරියක දැකීමේ වරදක්ද නැත. එනිසා ඔවුන් දෙදෙනා සැසඳීම නවතාලීමද අපහසුය. එනිසා ඈ කෙරෙහි ජනතා අපේක්ෂා රැසකි.
එලිසබත් රැජින කිරීටය හිමිකම් ලැබීමේ ප්ලැටිනම් ජුබිලිය සැමරුමකදී කේට් කුමරිය හමුවේ බ්‍රිතාන්‍ය කාන්තාවක් මෙලෙස කීවාය.
“ඔබ වේල්සයේ දීප්තිමත් කුමරියක වේවි.”
ඉන් ප්‍රීතියට පත් කුමරිය සිනාමුසුව සිය සැමියා දෙසද බලමින් පිළිතුරු දුන්නාය.
“එය ඉතා කාරුණික අදහසක්. මා සිටින්නේ හොඳ දෑතක.”
ඔවුන් දෙදෙනාට එකිනෙකාගේ සහාය පෙරටත් වඩා අවැසි වනු ඇත. එහිදී වේල්සයේ කුමරිය ලෙස කේට් කුමරියගේ කාර්යභාරයද සුළුපටු නොවේ. ජනතාවගේ කුමරිය හෙවත් ඩයනාට හිමිවූ ගෞරවාදරය තමන් දෙසට හරවා ගනිමින් ඒ හිත්වල තමාටද ආදරණීය ඉඩක් වෙන්කරවා ගැනීමේ හැකියාව ඇත්තේ කේට් කුමරිය අතයි.
රෂ්නිකා ලියනගේ