අභාවප්‍රාප්ත මෙරට පළමු මහාචාර්යවරියගේ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත මහාචාර්ය ප්‍රියානි සොයිසා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිත අතර එම මහත්මියගේ දේහය මේ වනවිට ඒ.එෆ්. රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර තිබෙනවා.
ප්‍රියානි සොයිසා මහත්මිය පසුගිය අප්‍රේල් මස 7 වනදා අභාවප්‍රාප්ත වී තිබුණා.
වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙරට පළමු මහාචාර්යවරිය වන ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප්‍රියානි සොයිසා මහත්මිය මියයන විට 97 වන වියේ පසුවුණා.
ඇය ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනිය ලෙස වසර 25ක් කටයුතු කළ අතර 1991 විශ්‍රාම ගන්නා තුරු එම තනතුර දැරූ බවයි වාර්තා වන්නේ.
මව්කිරි දීම ප්‍රවර්ධනයට මහත් දායකත්වයක් ලබාදුන් ප්‍රියානි සොයිසා මහත්මිය රැකියාවේ නියුතු මව්වරුන්ට මාස තුනක ප්‍රසූත නිවාඩු දිය යුතු බවට රජයට නිර්දේශ ඉදිරිපත් කළ අතර එය ක්‍රියාවට නංවන තුරුම කටයුතු කළා.
එමෙන්ම පෝලියෝ රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා ද ඇයගෙන් නොමද සහායක් ලැබී තිබුණා.
1925 නොවැම්බර් මස 23 වනදා මොරටුවේ දී උපත ලැබු ප්‍රියානි සොයිසා මහත්මිය මොරටුව වේල්ස් කුමරි විදුහලෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් ව උපාධිය ලබා ගත්තා.
ලන්ඩනයේ දී වෛද්‍ය විද්‍යාව පිළිබඳ වැඩිදුර හදාරා ආචාර්ය උපාධිය ලබා යළි ලංකාවට පැමිණි ඇය වෛද්‍යවරියක ලෙස යාපනය ඇතුළු දිවයිනේ බොහෝ පළාත්වල සේවය කළා.
අනතුරුව කොළඹ වෛද්‍ය පීඨයේ සේවයට එක් වු ඇය එහි මහාචාර්යවරියක ලෙස කටයුතු කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපතිනිය ලෙස ද, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනිය ලෙස ද ඇය කටයුතු කර තිබෙනවා.