විශේෂාංග

අරගලේ වගේද මේ ආදරේ

අරගලබිමක රත්වුණු ලේ වාගේම, කකියන ආදරයද තිබීම එක් අතකට අරුමයකි. නමුත් මේ හදිසියේ පිබිදුනු අරගලබිම තුළ ඒ අරුමය අඩුවක් නැතුව තිබෙනයුරු අපි දුටුවෙමු. දිනාගැනීමට ඇති අරමුණු අතරේ ජාති, ආගම්, ලොකු කුඩා භේද නැතිව ඒ ආදරය මනරම් දියදහරක් සේ ගලායන අපූරුවද අපි දුටුවෙමු.

මුබස්සිරා අස්වර් හෙවත් මුබා කොළඹ විශ්වවිද්‍යාල සිසුවියකි. මුබා ඇතුළු සරසවි සිසු සිසුවියන් ආණ්ඩුවට විරෝධය පෑමට එක්වුණේ ගිනිගහන මද්‍යහනකයි. අරගලබිම සටන් පාඨවලින් උණුසම් වෙද්දී, සැඩ හිරුද ඊටම එක්ව ඒ බිම උණුසුම් කරන්නට පටන්ගෙන තිබුණි. තම විශ්වවිද්‍යාලයේම ඉගෙනගන්නා සුබෝධ පොඩි හාමුදුරුවෝද මේ අරගලකරුවන් අතර සිටියහ. මුබා තම අතවූ ෆයිල් කවරයකින් සුබෝධ හිමියන් අව්වෙන් නිරාවරණය කරගැනීමට සිතුවාය. එම දසුන මුහුණුපො​තේ සැරිසරන්නට වූයේ ‘‘මේ තමයි සංහිඳියාව, විය යුතු දේ වෙමින් පවතී’’ යන වදන් පෙළද ඉස්මතු කරමිනි. මුබාගේ ක්‍රියාව ඇයගේ යහළු යෙහෙළියන් වාගේම, මේ මොහොතේ එකමුතුකමින් එක් අරමුණකට රොක්වී සිටින සියල්ලන්ගේම පැසසුමට ලක්වීම විශේෂයකි.

මුබා ඒ ගැන කියන්නේ මෙසේය.

‘‘ඇත්තටම කැම්පස් එක ඇතුළෙදි මම දකින දෙයක් තමයි, භික්ෂූන් වහන්සේලාටත් උන් වහන්සේලා අඳින සිවුරටත් තිබෙන ගෞරවය. ඒ වෙලාවේ ඒ ගෞරවය ඒ හිමිනමට ලබාදෙන්න ඕන කියලා මට හිතුණා. මං මේ වෙලාවේ මාත් එක්ක කැම්පස් එකේ ඉගෙනගන්න සහෝදර සහෝදරියන්ට ස්තූතිවන්ත වෙනවා ඒක හොඳ ගතිගුණයක් කියලා පෙන්වලා දුන්නට.’’

ඇය ඒ මොහොතේ හිතට ආ සිතිවිල්ලක් අනුව කටයුතු කළද ඇයගේ එම ගරුත්වය හදවතින්ම නැගෙන්නකි. මුබා දුන් පණිවුඩය කොතරම් ලස්සනදැයි ගෝල්ෆේස් හි අරගලබිමෙන්ද ඒ හා සමානවම පෙනුණි. භික්ෂූන් වහන්සේලා, පියතුමන්ලා මෙන්ම මව්ලවිතුමන්ලාද සුහද පිළිසඳරවල යෙදෙනු පෙනුණි. ඒ වාගේම මේ ගෙවෙන්නේ මුස්ලිම් ජනතාවගේ නෝම්බි උපවාස කාලයයි. මෙදා අරගලයට සහාය දෙන්නට පැමිණි ඔවුන්ගෙන් කොටසක් සිටියේ උපවාසබිමේය. ඔවුන් උපවාස අතහරින්නට ආගම කියද්දී, මහ වැසි කඩා වැටෙන්නට වූයෙන් ඔවුනට කුඩ අල්ලාගෙන සිටියේ සිංහල කොල්ලන්ය. මේ ළෙංගතුකම, ආදරය රට පුරා එකම අයුරින් ගලායාම අලුත් සමාජ පරිච්ඡේදයක ආරම්භය යයි  බොහෝදෙනා හඳුන්වා තිබුණි.

ඒ වාගේම මලක මෙළෙක පිළිබඳව අමුතුවෙන් කිව යුතු නොවේ. උණ්ඩයකට හිතක් සිදුරුකළ හැකි වුවත් මලකට ආදරයේ, දයාවේ, කරුණාවේ පාලමක් තනන්නට හැකිය.

කලකට ඉහතදී ඇමරිකාව විසින් වියට්නාමයට පහර දෙද්දී, පෙන්ටගනයට රැස්වූ ස්වදේශිකයින් ඊට විරෝධය පෑ බව සඳහන්ය. 1967 ඔක්තෝබර් 21දා ඇමරිකානු ඡායාරූප ශිල්පී බර්නි බොස්ටන් විසින් ගත් අපූර්ව ඡායාරූපයක් ‘වොෂින්ටර් ස්ටාර්’ පුවත්පතේ පළවී තිබුණේ ‘ෆ්ලවර්’ ලෙස නම් කරමිනි. එහිදී ජෝර්ජ් හැරිස් නම් විරෝධතාකරුවෙකු විසින් සෙබළෙකු අත තිබූ රයිෆලයේ බැරලයට කානේෂන් මලක් තැබීය. ඒ පෙන්ටගනයේ පඩිපෙළ අසලදී විරෝධතාකරුවන්ව නතර කරන්නට සොල්දාදුවන් උත්සාහ කළ මොහොතේයි. අනතුරුව රැස්ව සිටි සෙසු විරෝධතාකරුවෝද සෙසු සොල්දාදුවන් අතවූ රයිෆල්වලටද කානේෂන් මල බැගින් තැබීය. එය කළේ ගැටුමට වඩා සාමය වටිනා බව කියන්නටය.

ඒ කතාව තරමක් වෙනස් වුවත් මෙවර අරගල භූමියේදීද එවන් දසුනක් දැකගත හැකි විය. මාර්ග බාධක, කඳුළු ගෑස්, ජල ප්‍රහාරක රථ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ පැවති ජන විරෝධයේදීද දැකගන්නට ලැබුණි. පොලිස් නිලධාරීන් මාර්ග බාධක වැටට එහා පසින් සිටියදී, මෙහා පසින් ඇවිද ආවේ රෝස මලක් අතින්ගත් සුන්දර යුවතියකි.

‘‘ඔයාලගේ අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා ගෙවල්වල ඉන්නවනේ. ඒ අයටත් අපිට වගේම මේ ප්‍රශ්නය දැනෙනවා ඇති. මේ රෝස මල එයාලා වෙනුවෙන් අරගන්න.’’

කසුන්සලා කියද්දී එහි සිටි පොලිස් නිලධාරියෙක් එම රෝස මල අතට ගත්තේ, වදනක් හෝ නොකියා නමුත් එම ක්‍රියාව තුළ නොකියූ කියාගත නොහැකි වදන් දහසක් තියෙන්නට ඇත. මලක් දීම පුංචි දෙයක් සේ කෙනෙකුට සිතුණත් ඒ තුළින් දුන් පණිවුඩය පුංචි නැත. රාගම වෛද්‍ය පීඨයේ සිසුවියක වන කසුන්සලා, කවිකාරියක බවද සඳහන්ය. අරගලබිමේ කවිකාරිකගේ සුන්දර ‘අවිය’ රෝස මලක් වීම ඉතින් අරුමයක් නම් නොවේ.

නීතිය සාමය රකින පොලිසියේ, හමුදාවේ නිල දරුවන්ට මේ මොහොතේ  තම හෘදසාක්ෂියේ කතාව සඟවාගෙන හිඳින්නට සිදුව ඇති බව නොරහසකි. ඒ නිසා මෙදා ඔවුන් හා අරගලකරුවන් දෙපිලක්ව බෙදී ඇත. එහෙත් ඒ දෙපිලේද ආදරය උතුරා යන අවස්ථා එමටය. කඳුළු ගෑස් වැදුනු තරුණයෙකුට මුහුණ සෝදන්නට වතුර බෝතලයකින් වතුර දෝතක් දෙන්නේ පොලිස් නිලධාරියෙකි.

‘‘අපිව මුර කරලා මහත්තයලටත් මහන්සි ඇතිනේ. බොමුද සීතල වතුර බෝතලයක්?’’

වතුර බෝතලයක් පොලිස් නිලධාරියෙකු වෙත පාමින් තරුණයෙකු කියද්දී, ඒ ඇස්වල ඇඳෙන කතාව පැහැදිලිය. පොලිසියේ, හමුදාවේ නිල දරුවන් රාජකාරිය අකුරටම ඉටු කළත්, මේ ලැබෙන ආදරය පසෙක දමන්නේ නැත.

එදා සිඟිති දරුවෙකු වඩාගෙන මිරිහානට පැමිණි අම්මා කී කතාව සංවේදීය. ඇය මහ රෑ ඒ තම ආදරය කරපින්නාගෙන පැමිණයේ රටට කියන්නට දෙයක් තිබූ නිසාය. එම අරගලය අල්ලාගෙන දිවා රෑ වෙහෙසෙන මිනිසුන් අතරේ ‘ධරණී’ මෙම සටහන තබන්නේ, අරගලය මැද හමුවන ‘ආදරය’ අනෙක් සියලු ඉල්ලීම් සහ දිනාගැනීම් වලට වඩා උත්තරීතර බව කියන්නටය.

දීපා වසන්ති එදිරිසිංහ