විශේෂාංග

විරෝධතාකරුවන් රකින්නට පොලිසියට කඳුළු ගෑස් ගැසූ සුනඛයා

මීට දොළොස් වසරකට පෙර උදාවූ 2010 අවුරුද්ද ග්‍රීසියට නම් කිසිසේත්ම අමතක නොවන අන්දමේ අවුරුද්දකි. ඒ ග්‍රීක රජයේ ආර්ථික සැලැස්ම සහ බදු ප්‍රතිපත්තිවලට විරෝධය පාමින් රට පුරාම ඇරැඹී තිබුණු විරෝධතා රැල්ල නිසාය. එය කොතරම් උග්‍ර විරෝධතා රැල්ලක්ද කිවහොත් පොලිසිය සහ විරෝධතාකරුවන් අතර දරුණු අන්දමේ ගැටුම් පවා ඇතිවිය. එනිසා මුළුමහත් ලෝකයක් කතා කරන අන්දමේ විරෝධතා රැල්ලක් බවට පත්වෙන්නට එයට වැඩි කාලයක් ගියේ නැත.

මේ කියන දිනයේත් ආණ්ඩු විරෝධී දැවැන්ත උද්ඝෝෂණ රැලියක් පැවැත්වීමට විරෝධතාකරුවන් සුදානම්ව සිටියහ. එය ආවරණය කරන්නට ආ දෙස් විදෙස් මාධ්‍යවේදීන් කලින්ම තම තමන්ගේ කැමරා ආම්පන්න අදාල තැන්වල ස්ථානගත කර තිබුණි. තවත් මොහොතකින් එරට වැසියන් දස දහස් ගණනකගේ හඬ එක් හඬින් ගිගුම්දෙමින් විරෝධය ආරම්භ කෙරුණි. නමුත් මේ දැවැන්ත විරෝධය මැද කාගේත් වැඩි අවධානයක් දිනාගත් එක් අපූරු විරෝධතාකරුවෙක් සිටියේය.

මේ අපූරු විරෝධතාකරු අනෙක් පිරිස මෙන් සටන් පාඨ කියා යටිගිරියෙන් කෑ ගැසුවේ නැත. හූ කිව්වේ ද නැත. ඔහුට කළ හැකි එකම කාරිය වූයේ විරෝධතාකරුවන් මඩින්නට ඉදිරියට එන පොලිස් බලමුළු ඉදිරියට කඩා පැනීම පමණි. ඒ වෙන කවුරුත් නොව ‘ලූකානිකොස්’ (Luakanikos) නම් Ginger Mongrel වර්ගයට අයත් දුඹුරු පැහැ සුනඛයාය. කවුරුත් ආදරේට ‘ලූක්’ යනුවෙන් කතා කළ මෙම සුනඛයාට ඒ වනවිට වයස අවුරුදු දහයක් පිරී තිබිණි. ඊට පෙර ග්‍රීසියේ අතෑන්ස් නුවර විදී අතර දඩාවතේ ඇවිදිමින් සිටි ලූක්,  ආණ්ඩු විරෝධී අරගලය ඇරඹුණු දා පටන් සිටියේ ජනතාව සමඟ ඔවුන් ඉදිරියේය. කොටින්ම කිව්වොත් උද්ඝෝෂණයක් කොතැනද ලූක් එතැනය.

කෑ ගහලා සටන් පාඨ කියන්න බැරිවුණාට අව්වට පිච්චි පිච්චි වැස්සට තෙමි තෙමී මිනිස්සු එක්ක මෙයත් තමන්ගේ රටේ මිනිස්සු වෙනුවෙන් සටන් කළා. අට්ටාල අස්සේ මිනිස්සු එක්ක නිදිවැරුවා. උද්ඝෝෂණ එක්ක සැතපුම් ගණනක් ඉස්සර වෙලා පයින් ගියා. ඒ ගිය හැමදාකම තමන්ට කන්න බොන්න දීපු මිනිස්සු වෙනුවෙන් පොලිසියෙන් ගහපු පළවෙනි ජල ප්‍රහාරය වගේම කඳුළු ගෑස් පහර කෑවෙත් ලූකානිකෝස් තමයි.

ඒ එවකට මාධ්‍ය ලූකානිකෝස් ගැන කියූ හැටිය. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇතිවූ ගැටුම් කොතරම් දරුණු වුවද ලූක් හැමදාම සිටියේ විරෝධතාකරුවන්ගේ පැත්තේය. කොයිම මොහොතකවත් ගැටුම් මඟහැර යන්නට ලූකානිකෝස්ට හිතක් තිබුණේ නැත. විරෝධතාකරුවන් පළවා හරින්නට පොලිසිය ජල ප්‍රහාර එල්ල කරද්දී ඒ වේගවත් ජලප්‍රහාර එක්ක ඔට්ටු වෙන්නට බැරි පුංචි ශරීරය නිසා ලූකානිකෝස් බිම ඇද වැටුනේය. එහෙත් ඊළඟ නිමේෂයේ යළි නැගිටින මේ සුනඛයා පොලිසියෙන් එල්ල කරන කඳුළු ගෑස් ප්‍රහාරවලින් තම සඟයන් බේරාගැනීමට කඳුළු ගෑස් උණ්ඩ කටින් ගෙනගොස් නැවත පොලිසියේ මහත්වරුන් ඉදිරිපිටට දමන්නේය. එවන් අවස්ථාවල නම් බොහෝ විට ලූකානිකෝස්ට සිදුවූයේ කාකි ඇඳුමට වැසුණු මහත්වරුන්ගේ බූට් සපත්තු පාර කන්නටය.

එවකට ග්‍රීසියේ විරෝධතා ආවරණය කළ මාධ්‍යවේදීන් පවසා සිටියේ තමන් විරෝධතාවයේ දරුණුම අවස්ථාවල ගත් ඡායාරූපවල පවා මේ අපූරු විරෝධතාකරුවා සිටි බවයි. තමාගේ කුසගින්න නිවන  මිනිසුන් වෙනුවෙන් ජලප්‍රහාරවලට ලක්වෙන්නට, කඳුළු ගෑස් කන්නට පමණක් නොව බූට් සපත්තු පහර කන්නට වුවද ලූකානිකෝස් කවදත් තම සගයන් හැර ගියේ නැත. එමෙන්ම මේ සුනඛයාට හොඳ බුද්ධියක්ද තිබුණි. ඒ නිසා සැමවිටම ඔහු පීඩිත පන්තිය පැත්තේ සිටගෙන ඔවුන්වම රැක්කේය.

මිනිසුන්ට අපමණ ආදරේ කරමින් මිනිසුන් හා එකට සටන් වදින මේ සුනඛයා ගැන 2011 වසර වනවිට ලෝකයම දැනගෙන සිටියේය. යුක්තිය සාධාරණය වෙනුවෙන් අරගල කළ මේ අපූරු විරෝධතාකරුවාට තම උපරිම ගෞරවය දිය යුතු බව ලෝක ප්‍රසිද්ධ Time සඟරාව සිතුවේ ඒ නිසා විය හැකිය. ඒ ඔවුන් ඔවුන් තම සඟරාවේ මුල් පිටුව සරසන්නට ලොව බලවත්ම මිනිසා තෝරාගන්නා කාලයයි. නමුත් තිරිසන් කුලයක ඉපදුණ ලූක් ද බලවත් මිනිසුන් සමඟ එවර නාමයෝජනා අතරට එකතුවිය. සඟරාවේ කවරයට පෙනී ඉන්නට තරම් සුදුසුකම් නොලැබුවද ඔවුන් වසරේ හොඳම චරිතය ලෙස නම් කරනු ලැබුවේ ලූක්ය. ඒ ඉතා ඉහළ ගෞරවයක්ද සමඟිනි. එදා පටන් ග්‍රීසියේ මිනිසුන්‍ට ලූකානිකෝස් ජාතික වීරයෙක් විය.

2011 වසර වනවිට ග්‍රීසියේ විරෝධතා කෙමෙන් කෙමෙන් අඩුවෙමින් පැවතුණි. නමුත් අධික ලෙස කඳුළු ගෑස් ප්‍රහාරවලට නිරාවරණය වීම නිසා ඒ වනවිට  ලූකානිකෝස්ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වෙමින් තිබුණි. වෙනදා දුව පැන සටන් කළ ලූක් ඒ නිසා වැඩි කාලයක් ගතකළේ නින්දේය. එසේම පොලිස් නිලධාරීන්ගේ බූට් සපත්තු පහරවල් නිසා ලූක්ගේ ශරීරයේ ඇතැම් තැන් දරුණුවටම ඉදිමී තිබුණි. තත්ත්වය බලාසිටිය නොහැකි තැන එක් විරෝධතාකරුවෙක් ලූකානිකෝස් තමාගේ නිවසට රැගෙන යාමට කටයුතු කළේය. නමුත් වැඩිකල් ජීවත්වීමට වරම් නොලද ලූක්  2012 වසරේදී සදහටම සමුගෙන ගියේ ග්‍රීසියේ ජනතා අරගලයට උර දුන් සැබෑ වීරයෙකු ලෙස ඉහළම ගෞරවයද හිමිකරගෙනය. එදා ග්‍රීසියේ අතැන්ස් නගරය මැද ලූකානිකෝස් මිහිදන් කරන විට මිනිසුන්ගේ ඇස්වලින් මහපොළොවට වැටුණේ ඒ ගෞරවයේ අසීමිත කඳුළු බිඳුය.

රුවන් එස්.සෙනවිරත්න