නවතම ප්‍රවෘත්ති

NASA එකට මෘදුකාංග හදන අතරෙම මම නිරූපණ ශිල්පිනියක් විදියටත් වැඩ කරනවා

පුලසි කෙවින්මා. ඒක ටිකක් වෙනස්ම නමක්. හැබැයි නම විතරක් නෙවෙයි ඒ නමේ අයිතිකාරියත් ටිකක් වෙනස් කෙනෙක්. ඇත්තටම පුලසි කියන්නේ මේ වෙනකොට ‘නාසා’ ආයතනයේ සේවය කරන මෘදුකාංග ඉංජිනේරුවරියක්. ඒ වගේම ජාත්‍යන්තරය ජයගන්න හීන මවන දක්ෂ නිරූපණ ශිල්පිනියක්. එතැනින් ගියාම ගායනයට, නර්ථනයට විතරක් නෙවෙයි අශ්වයින් පදවන්නත් ඇය සෑහෙන්න දක්ෂයි. අන්න ඒ විදියට දක්ෂකම් ගොඩාක් තියෙන හැඩකාර පුලසි කෙවින්මාගේ සුන්දර රුවෙන් තමයි අද ‘ධරණී’ කවරය හැඩවෙලා තියෙන්නේ.

මං පුංචි කාලේ හිතාගෙන හිටියේ වෛද්‍යවරියක් වෙන්න. මොකද මගේ අම්මලාගෙ ආසාව වුණේ ඒක. එයාලගේ ආසාව ඉෂ්ට කරන්න පොඩි උත්සාහයක් ගත්තත් ඒක මට හරිගියේ නෑ.

දරුවන්ට පාර පෙන්වන එක දෙමාපියන්ගේ වගකීම බව ඇත්ත. ඒත් තමන්ගේ හීන දරුවන්ගේ පිට පටවන එකනම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද තමන්ගෙ අකමැත්තෙන් අනුන්ගේ හීන පාට කරන්න ගිහින් සාර්ථක වුණු මිනිස්සු හරි අඩුයි. මුලදි පුලසිට වු‍ණෙත් ඒක. හැබැයි හැමදේම වෙනස් වෙන්න ගියේ ටික කාලයයි.

ඔය අතරේ අම්මලා කිව්වා වෛද්‍යවරියක් වෙන්න අකමැති නම් මම ආස දෙයක් කරන්න කියලා. මට ඉතින් හරි සතුටුයි. පස්සේ මං මෘදුකාංග ඉංජිනේරු (Software Engineering) පැත්ත ගැන වැඩිදුරටත් ඉගෙනගත්තා. මෘදුකාංග ඉංජිනේරුවරියක් වුණාට පස්සේ ඇමෙරිකාවේ උසස් තනතුරක් දරණ ප්‍රසිද්ධ පුද්ගලයෙකුට මං පෞද්ගලිකව ඊමේල් එකක් දැම්මා. ඒ එක්ක මං හදපු මෘදුකාංගයකුත් (Software) යැව්වා. එතැනින් පස්සේ මට විශේෂ අවස්ථාවක් ලැබුණා ඒ ආයතනයේ වැඩ කරන්න. ඒක තමයි මං මෘදුකාංග ඉංජිනේරුවරියක් විදියට කරපු මුල්ම රැකියාව. දැනට මං මේ වෘත්තියට ඇවිත් අවුරුදු අටක් වගේ වෙනවා.

ඔය අතරෙයි පුලසිට කාටවත් ලේසියෙන් නොලැබෙන අවස්ථාවක් ලැබෙන්නේ. ඒ අවස්ථාව ඇයට කොච්චර වටිනවද කියලා ඇගේ වචනයෙන්ම කිව්වේ මෙහෙමයි.

මගේ ජීවිතේ මට ලැබුණ වටිනාම අවස්ථාව තමයි නාසා (NASA) ආයතනයට සම්බන්ධ වෙන්න ලැබුණු එක. මං මෘදුකාංග ඉංජිනේරුවරියක් නිසයි ඒ අවස්ථාව මට ලැබුණේ. එතැනදී මගේ කාර්යභාරය තමයි අභ්‍යාවකාශ යානා ඉංජිනේරු තාක්ෂණය සඳහා අවශ්‍ය යම් යම් මෘදුකාංග ඒ අදාළ ඉංජිනේරුවන් සඳහා නිර්මාණය කරන එක වගේම ඒවා වැඩිදියුණු කරදෙන එක. ඇත්තටම ඒ වගේ තැනකට යන්න ලැබුණු එක ගැනනම් ගොඩක් සතුටුයි.

මේ දවස්වල පුලසි ලංකාවට ඇවිත් හිටියට ඇයගේ ජීවිතේ වැඩි කාලයක් ගෙවිලා තියෙන්නේ ලංකාවේ නම් නෙවෙයි. ඇත්තටම ඇය ඉපදුණේ හැදුනේ වැඩුනේ ඒ හැමදේම වුණේ විදේශ රටක කියලයි ඇය අපිත් එක්ක කිව්වේ.

මගේ අම්මා තාත්තා දෙන්නම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ රැකියා කරන අය. එයාලා ගොඩාක් වෙලාවට ඉන්නේ පිටරට. ඒ නිසයි මගේ ජීවිතේ වැඩි කාලයක් විදේශ රටක ගෙවුණේ. දැන් නම් මං ලංකාවට ඇවිත් ඉන්නේ. ගෙවල් කොට්ටාවේ. මට තව නංගි කෙනෙක් ඉන්නවා.

අනාගතයේ තමන් කවුරු වෙනවද කියන ප්‍රශ්නෙට එදා පුලසිට නිශ්චිත උත්තරයක් තිබුණේ නෑ කිව්වනේ. ඒත් ඇයට පුංචි කාලේ ඉඳන්ම හිත යට එක පුංචි ආසාවක් තිබුණු බවනම් ඇය අපිට කිව්වා.

නිරූපණය පැත්තට මං පුංචි කාලේ ඉඳන්ම ආසයි. ඒ පැත්තෙන් ගමනක් යන්නත් පොඩි ආසාවක් හිතේ කොණක තිබුණා. මට මතකයි ඒ කාලේ මං ඇස් පියාගෙන මගේ ෆොටෝවලින් පත්තරවල මුල් පිටු හැඩවෙලා තියෙන හැටි මවාගත්තා. ඒත් ඒ තැනට හරියට එන්නේ කොහොමද කියලා දැනගෙන හිටියේ නෑ. ඔය අතරෙයි මගේ ආදරණීය ගුරුතුමිය ත්‍රිකලා ධරණී මට මුණගැහෙන්නේ. පස්සේ මං එයාගේ නිරූපණ පාසලෙන් නිරූපණය ගැන ඉගෙනගත්තා. දැනට ලංකාවේ නිරූපණය ගැන ජාත්‍යන්තර විෂය නිර්දේශය කරන එකම පාසල ඒක. ඉතින් අවසානේ එහි නිරූපණ ශිල්පිනිය (Top Model) විදියටත් මං තේරුණා. මේ වෙනකොට මං ජාත්‍යන්තර නිරූපණ තරඟයකට යන්න ලෑස්තිවෙනවා. ඉතින් හොඳ නිරූපණ ශිල්පිනියක් වෙන්නත් ලොකු හීනයක් තියෙනවා.

මේ හැමදේම අස්සේ පුලසිට තවත් සුවිශේෂී හැකියාවක් තියෙනවා කියලයි ඇය කිව්වේ. ඒ අශ්වයෝ පදවන්න. බොහෝ තරුණියෝ ඒ වගේ අවදානම් ක්‍රීඩාවන් පැත්තට වැඩිය නැඹුරු නොවෙන හින්දම ඒ ගැනත් අපි ඇයගෙන් ඇහුවා.

මට හොඳට අශ්වයෝ පදවන්න පුළුවන්. මං පිටරට ඉන්නකොට තරඟවලට පවා යනවා. අවසානෙට මං ගියේ නවසීලන්තයේ තිබුණු තරඟයකට. මං ඒකෙන් දෙවෙනි තැන ගත්තා. ඒ විතරක් නෙවෙයි මට ගායනය, නර්ථනය එහෙමත් පුළුවන්.

පුලසි එහෙම කිව්වේ චුට්ටක් හිනාවෙන ගමන්. ඒ හිනාවත් ආදරේ හොයන තරුණයෙකුට ඉනාවක් වගේ පෙනුණු නිසාම ආදරේ ගැනත් ඇයගෙන් අහන්න අපි අමතක කළේ නෑ.

ආදරේ කියන්නේ ලොකු වටිනාකමක් තියෙන දෙයක්. තමන්ට ගැලපෙන කෙනා ජීවිතේට ළංවුණාම ආදරේ කවදාවත් කාටවත් දුකක් වෙන්නේ නෑ. එහෙම ආදරයක් මටත් මේ වෙනකොට තියෙනවා.

ඇත්තටම පුලසිගේ ලෝකේ මේ වෙනකොට ඇය දිනලා ඉවරයි. ඒ හින්දම ඕනම කෙනෙක්ට පොදුවේ ඇගේ ජීවිත කතාව ආදර්ශයට ගන්න පුළුවන්. ඉතින් මෙහෙම ආදර්ශයක් ගන්න පුළුවන් ජීවිත කතා හරි අහඹු නිසාම අපි ඇගෙන් පුංචි ඉල්ලීමක් කළා. ඒ ඇගේ කතාවම ආදර්ශයට අරන් ‘ධරණී’ කියවන සමස්ත තරුණියන් වෙනුවෙන් පණිවිඩයක් දෙන්න කියලා.

සමහරු හිතනවා ගෑනු ළමයෙක් වුණාම කරන්න පුළුවන් දේවලුත් තියෙනවා, බැරි දේවලුත් තියෙනවා කියලා. ඇත්තටම ගෑනු ළමයින්ට කරන්න බෑ කියලා දෙයක් නෑ. මං නම් කියන්නේ කිසිම ගෑනු ළමයෙක් රාමුවක් ඇතුළේ කොටුවෙලා ඉන්න ඕනේ නෑ. එහෙම ඉන්නකොට ඒ අයට වෙන්නේ එකම තැන පල්වෙන්න. ඒ නිසා රාමුවෙන් පිටට ඇවිත් හිතට එකඟව හරියට දෙයක් කළොත් ඕන කෙනෙක්ට තැනකට එන්න පුළුවන්.

 

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූපසමන් අබේසිරිවර්ධන