කැඩුණු බිඳුණු ඔළුගෙඩි පිළිසකර කරන්නී
සිහින දකින තරමට ඒවා සැබෑ වන්නේ නැතත්, සැබෑ වීමේ සම්භාවිතාවක් ඇති සිහින කිසිවකුත් අතරමග අතහැර දමන්නේ නැත.
බෙල්ලන විහාරගම පදිංචි ආර්.ඒ.නිරෝෂා නිල්මිණීටද එවන් සිහිනයක් තිබුණි. ඒ සිහිනය වෙනුවෙන් ඇය මෙවර පාරට බැස්සාය. ඒ ‘හෙල්මට් කුෂන් අලුත්වැඩියාව ක්ෂණිකව’ යන බැනරයද තම කුඩා ලොරි රථයේ එල්ලාගෙනය.
මතුගම අලුත්ගම මාර්ගයේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය පසුකර මද දුරක් ඉදිරියට යද්දී මේ කියන ලොරි රථයේ හෙල්මට් අලුත්වැඩියා කරන නිරෝෂාගේ දසුන දැන් බොහෝදෙනෙකුට හුරුපුරුදුය.
“මගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා හිතලා තමයි මම මේ කාර්යයට අලුත් විදියට අත ගැහුවේ. ගොඩක් වෙලාවට පිරිමි අය තමයි හෙල්මට් අලුත්වැඩියා කටයුතුවල නියැලෙන්නේ. ඒත් හරියට දෙයක් ඉගෙනගත්තොත්, ගැහැනු අපටත් ඒ කටයුතු කරන එක අපහසුවක් නැහැ. මම ඒක අත්දැකීමෙන් දන්නවා. මම ලොරියෙන් හෙල්මට් අලුත්වැඩියා කරන්න ඇවිත් තවම ගතවුණේ සති පහක් විතරයි. හෙල්මට් එකක් හදාගන්න එන කෙනෙක්ට, තමන්ට දරන්න පුළුවන් මුදලකට එය අලුත්වැඩියා කර දෙන්න ලැබීම සතුටක්.”
ඒ නිරෝෂා නිල්මිණීගේ හඬය. ඇය හෙල්මට් අලුත්වැඩියා කරන කටයුත්තට අත ගසා දැනට අවුරුදු තුනකි. ඒ පටන්ගැන්ම සිදුවුණේ බදුරලිය නගරයේ කුලියට ගත් කුඩා කඩ කාමරයකය. කොරෝනා සමඟින් එය වසා දමන්නට සිදුවූ අතර, මීට මාස කිහිපයකට පෙර එය යළි විවෘත කළද, ලැබෙන ආදායම කඩ කුලිය ගෙවා දැමූ පසු ඉතිරි නොවූ තරම්ය.
“එහෙම නොවී මේ බිස්නස් එක කරන්න විදියක් තමයි ඊළඟට කල්පනා කළේ. ගොඩක් වෙලාවට මේ වගේ වැඩක් කරගන්න ගියහම රස්තියාදු වෙන්න වෙනවා. එහෙම නැතුව විනාඩි දහයෙන් පහළොවෙන් හෙල්මට් එක හදලා එවලෙම අරගෙන යන්න දුන්නම සමහර අය පුදුමත් වෙනවා. කොහොම වුණත් මේ කාලේ අලුත් හෙල්මට් එකක් ගන්නවා කියන එකත් කෙනෙකුට දුෂ්කරයි. ඉතින්, හෙල්මට් එකක් අලුත් කරන්න කියලා දුන්නම, ඒකේ ලොක් එක, කැප් එක, ඇණ පටි ගැනත් අවධානය යොමු කරන්න වෙනවා. මොකද හෙල්මට් එකකින් වෙන්නේ හිසට ආරක්ෂාවක් ලැබෙන එක. ඒ කාර්යය පුළුවන් උපරිම හොඳට කරලා දෙනවා. හෙල්මට් එකක් අලුත්වැඩියා කරහම රුපියල් හයසීයක් හත්සීයක් වගේ මුදලක් ගන්නවා. ඊට අවශ්‍ය කොටස් අනුවයි මිල තීරණය කරන්නේ. කොහොම නමුත් පැත්තකට කරන්න හිටපු හෙල්මට් එකක් හොඳින් අලුත්වැඩියා කරලා දුන්නම ඒ එන කෙනාටත් සතුටුයි.”
ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රශංසාව ඇයට මෙම කටයුතු වඩාත් හොඳින් කරගන්නට ලැබෙන ධෛර්යයකි.
නිරෝෂාගේ උපන්ගම බදුරලිය, අත්වැල්තොටය. ඇයට සහෝදර සහෝදරියන් හත්දෙනෙකි. පාසල් කාලයෙන් පසු රැකියාවක් ගැන නොසිතුවත්, ඉඳහිට ඥාතීන්ගේ තේ වතුවල දලු නෙළීමට ගිය බව නිරෝෂා කියන්නීය. විවාහයෙන් පසුව ද පවුලේ ආර්ථිකය නංවාලන්නට හකුරු හැඳි ගෑමේ කටයුතුවලද යෙදුනාය. ඒවා සාර්ථක නොවෙද්දී නිරෝෂාගේ හිත යන්නේ හෙල්මට් අලුත්වැඩියාව කෙරෙහිය. ඒ ඇයගේ වැඩිමල් සහෝදරිය වන ආර්.ඒ.අයි කුමාරි නිසාය. ඇය කලක් රැකියාව කර ඇත්තේ හිස්වැසුම් අලුත්වැඩියා කරන ආයතනයකය. කුමාරි එම ශිල්පය හොඳින් ලැබුවා සේම, නිරෝෂාටද ඒ ගැන සියල්ල කියා දුන්නාය.
“මාස තුනකින් වගේ අක්කා මට ඒ වැඩ ටික ඉගැන්නුවා. මුලදි අමාරුයි වගේ දැනුණත් ඉක්මනටම ඒ ශිල්පය මම ඉගෙනගත්තා. අක්කා වැඩ කරපු ආයතනයෙන් අයින්වෙලා විවාහ වුණ අයියා එක්ක ලොරියක හෙල්මට් අලුත්වැඩියා කරන ව්‍යාපාරයක් පටන්ගත්තේ ඊටපස්සේ. මටත් මේ අදහස එන්න හේතුවුණේ මගේ අක්කා නිසා. අද මගේ මහත්තයා වගේම පුතාත් මට මේ දේ කරගෙන යන්න ලොකු සහයෝගයක් දෙනවා.”
නිරෝෂාගේ සැමියා අසංක විලේබඩ ය. පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවය කරන ඔහු මේ දිනවල රැකියාවට යන්නේ නිවසේ සිටය. නිරෝෂා හෙල්මට් අලුත්වැඩියා කරන ස්ථානයට උදේම ලොරි රථය පදවාගෙන යන්නේ ඔහුය. හවසට එය ගෙනෙන්නේ ඔහු හෝ ඇයගේ සහෝදරයායි.
“මේ ලොරි රථය ගන්න මගේ සහෝදර සහෝදරියොත් මට උදව් කළා. රියදුරු බලපත්‍රය ගත්තත්, තවම මම තනියෙන් ලොරිය අරගෙන යන්නේ නැහැ. ඒත් මං කැමතියි ඒ අභියෝගයටත් මුහුණ දීලා බලන්න. තමන්ගේ ආත්ම ගරුත්වය තියාගෙන, තම හැකියාවෙන් ප්‍රයෝජන ගන්න අපි දක්ෂ වෙන්න ඕන.”
ඇය පවසන්නේ සිනාමුසුවයි. ඒ වගේම නිවාඩු දිනවල ඇය හා හෙල්මට් අලුත්වැඩියා කරන්නට ඇයගේ සැමියාද එන්නේය. ගෙදර ඉන්නේ නම්, ගෙදර වැඩවලට උදව් කරන්නට ඔහු දෙපාරක් සිතන්නේ නැතැයි ඇය කියන්නේ ඔහු දෙන ධෛර්යය ගැනද සිහිපත් කරමිනි. පුතු චමෝද් දේශාන් එකොළහ වසරේ ඉගෙනුම ලබන අතර, ඔහුද තමන්ට හැකි පමණින් උදව්වන පුතෙකු බවද කීවාය. චමුදි නවෝද්‍යා දියණිය හතර වසර පන්තියේ ඉගෙනුම ලබන්නීය. සැමියාගේ මවත්, සහෝදරියත් නිසා තම වැඩකටයුතු බොහෝ පහසුවන බවද ඇය කීවාය.
“මම උදේ පාන්දරම නැගිටලා උයලා දුවව ඉස්කෝලෙට දාලා තමයි මේ වැඩ පටන්ගන්න එන්නේ. කඩේ කරන කාලෙට වඩා කාලයක් දැන් මේ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඇත්තටම දැන් බඩු මිලත් එක්ක සැමියා විතරක් රැකියාව කරලා ගෙදරකට මදි. දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ගත්තත් දවසින් දවස ඒවට වෙන් කරන්න සිදුවෙන මුදල වැඩියි. එතැනදී අපිට පුළුවන් දේ කරලා කෙනෙකුට සේවය සලසන ගමන් පවුලේ ආර්ථිකය ශක්තිමත් කරගන්න හිතනවානම් ඒක වැදගත් කියලයි මං හිතන්නේ. එහෙම නැතුව අපට තියෙන බලාපොරොත්තුවලට යන්න අපට බැහැ.”
නිරෝෂාගේ වදන් තුළ ඇත්තේ තව කෙනෙක් දිරිමත් කරන වදන්ය. 2017 වසරේ ඔවුන් පදිංචිව සිටියේ අත්වැල්තොට ගමේය. එම ඉඩම් නායගිය බැවින් ඔවුන්ට බෙල්ලනට එන්නට සිදුවිය.
කාන්තාව ගැන, කාන්තාවගේ ධෛර්යමත් බව ගැන, අධිෂ්ඨානය ගැන වැඩිපුරම කතා කරන මාසයේ නිරෝෂා මෙන් පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්නට, සිතෙහි වන සිහින ජයගන්නට කොතැනින් හෝ පියවරක් තබන්නට ඔබටත් සිතේ නම් එය සතුටකි.
දීපා වසන්ති එදිරිසිංහ