විශේෂාංග

මිලාන් යළි නොඑන බව සඳුනිට අමතක කරවන්න හදන රැෆී

විවාහයෙන් මාස තුනකට පසු සඳුනි හා මිලාන් වෙනම ගෙදරක පදිංචියට ගියේ ජීවිතය නිදහසේ සතුටින් විඳින්නටයි. විවාහවී මාස හතක් ගෙවී ගිය 2021 වසරේ දෙසැම්බර් 31 වැනිදා ඔවුන් කොළඹ සිට හබරණ බලා ගියේ ‘31 රෑ’ සමරන්නටම නොවේ. ඊටත් වඩා විශේෂ කාරණාවක් ඉන් දින දෙකකට පසු එළැඹෙන ජනවාරි 02 වැනිදාට යෙදී තිබුණ නිසාය. විවාහයෙන් පසු පළමුවරට එළැඹෙන මිලාන්ගේ උපන්දිනය එදිනට යෙදී තිබුණි. මිලාන්ගේ විසි අටවැනි උපන්දිනය වූ එය ත්‍රිකුණාමලයේදි සමරන්නට ඔවුන් දෙදෙනා සැළසුම් කළේ බොහෝ දිනකට කලිනි. කෙසේ වුවද හබරණ විලේජ්හි දෙසැම්බර් තිස්එක රාත්‍රිය ගෙවී ගියේ සතුටෙනි. එදා ඔවුන් නින්දට ගියේද ජනවාරි පළවැනිදාට උදාවූ පාන්දරය. උදා වූ අවුරුද්දේ සතුටත් හදේ පුරවාගෙනම ඔවුන් එදා දවල් දොළහට පමණ හෝටලයෙන් පිටත් වූයේ ත්‍රිකුණාමලය බලා යන්නටයි. වාහනය පිටත් වනවාත් සමඟම මිලාන් සඳුනිට පුරුදු දුරකතන ඇමතුම ගන්නට මතක් කළේය.

ඒ ‘රැෆී’ ගැන අම්මාගෙන් අහන්නටයි. රැෆී ඔවුන් දෙදෙනා දරුවෙකු සේ හදන ගෝල්ඩන් රිට්‍රීවර් වර්ගයේ බලු සුරතලාය. මිලාන් සඳුනිට රැෆීව ගෙනත් දෙන්නේ ඇගේ අවුරුදු දහතුනක් වයසැති ‘රෙක්ස්’ ඔවුන්ගේ විවාහයට සතියකට පෙර මියගිය නිසාය. නිරන්තරවම රෙක්ස් සිහි කරමින් දුක් වූ සඳුනිට ඒ වියෝවෙන් මසක් පිරෙන දා මිලාන් රැෆීව රැගෙන දුන්නේය. සුරතල් බලු පැංචියට රැෆී යන නම දුන්නේද මිලාන්මය. එතැන් පටන් රැෆී ඔවුන්ට දරුවෙක් විය. සඳුනිත් මිලානුත් රැෆීට අම්මා හා තාත්තා වූහ.

නිවසින් පිට රැය ගත කරන්නට නතර නොවෙන ගමන්වලදී ඔවුන් රැෆීව කැටුව ගියත් දිනක් දෙකක් නිවසින් පිට රැය ගත කරන ගමන්වලදී ඇයව බාරවන්නේ සඳුනිගේ අම්මාටයි. සඳුනිගේ බාල සහෝදරයාටත් දැඩි සේ ඇලුම් පාන රැෆීට ඒ නිවසේදී ඒ නිසා සඳුනී හා මිලාන් නැති අඩුව ලොකුවට දැනෙන්නේ නැත. ඒත් සඳුනිටත් මිලාන්ටත් නිතර රැෆී මතක් වුණේය. ඒ නිසා අනිවාර්යයෙන්ම උදේ, හවස, රෑ අම්මා සමඟ කතා කර සඳුනි රැෆීගේ තොරතුරු අසන්නීය. එදා ඒ මොහොතේත් සඳුනි අම්මා සමඟ රැෆීගේ තොරතුරු අසමින් ගියාය. මිලාන් වාහනය පැදවූ අතර පහුවෙන ගස්, ගල්, ගොඩනැගිලි, වංගු කිසිවක් ඈ මතකයේ නොවුණේ අම්මා හා කරමින් සිටි කතාවට හිත බැඳී තිබූ නිසාය. අම්මාගේ ටෙලිෆෝනය ආච්චිට මාරු වෙද්දී සඳුනිගේ කතාව අතරේ මිලාන් කිලෝමීටර් තුනකට ආසන්න දුරක් ගොස් සිටියේය. ඔහු සිටියේ ගල්වංගුව පසු කරමිනි. සඳුනි හදිසියේම දුටුවේ ඔවුන් ඉදිරියට වේගයෙන් බසයක් එන අන්දමය. ඇයට මතක එච්චරමය. ඉන්පසු ඇයට ඇස් ඇරුණේ හබරණ රෝහලේදීය.

‘‘ඒක හරි භයානක රිය අනතුරක්. ඒ ආව බස් එක හරි මැදින් වැදිලා මීටර් විස්සක් විතර කාර් එක ඇදගෙන ගිහින්. මං ඉඳලා තියෙන්නේ බස් එක ඇතුළෙ හිරවෙලා. මගේ මූණෙ ඉඳලා දකුණු පැත්තම ඩැමේජ් වෙලා තිබ්බේ. දකුණු අත, උරහිස කැඩිලා, මැණික් කටුව ළඟින් කැඩිලා, දකුණු ඇහැ එළියට ඇවිත් තිබුණා. ඇඟ පුරාම තුවාල. මං ඇහුවෙ මිලාන් කෝ කියලා. එයා කොළඹ අරන් ගියා කිව්වා. එයාට සිහිය එනකල් කිව්වා බලාගෙන ඉන්නෙ. ඒත් ඒ මට කියලා තියෙන්නෙ බොරු. මිලාන් හොස්පිට්ල් එකට අරන් ගිහින් විනාඩි පහක් යනකොට නැතිවෙලාලු. එයාගේ අවසන් කටයුතුවලට මාව ගෙදර එක්ක එනකොට තමයි මං ඒක දන්නේ…’’

විසිපස් හැවිරිදි සඳුනි පමුදිතාට ඒ සියල්ල ඉවසා දරා සිටින්නට සිදුවුණේ පැහැදිලිවම ඔහු යළි නේන බව ඇස්වලට පෙනුණ නිසාය. ඊටද ඒ දරුණු රිය අනතුර ඇගේ පියවි සිහිය නැති කර තිබුණි. ඈ සිටියේ සිහිනයක සේය. කටාර් ගුවන් සමාගමේ රැකියාව කරන සඳුනි පමුදිතා හා මිලාන් විජේසිංහ විවාහ වූයේ 2021 මැයි 13 වැනිදාය. ඒ වසර එකහමාරක් පෙම් කිරීමෙන් අනතුරුවය. මිලාන් පෞද්ගලික සමාගමක ආයෝජන උපදේශකවරයෙක් විය.

‘‘ඔක්කෝම ඉවර වුණා. මිලාන් මාවයි රැෆීවයි දාලා සදහටම යන්න ගියා. මගේ ළඟ ජීවිතේ මහා වේදනාවකුත් දරුණු තනිකමකුත් ඉතුරු වුණා. ඒත් අපේ රැෆී මට තනියම අඬන්න දෙන්නෙ නෑ. කල්පනා කරන්න දෙන්නෙත් නෑ. මොනව හරි කරලා කල්පනාව කඩනවා. තනිවෙන්න දෙන්නෙත් නෑ. මං දුකෙන් නම් බෝලයක් අරන් එනවා සෙල්ලම් කරන්න. මං උඩ ඉඳලා පහල තට්ටුවට ගියත්, මිදුලට බැස්සත්, බාත්රූම් එකට ගියත් හෙවනැල්ල වගේ මගේ පස්සෙන් ඉන්නවා. එයාව අවධානයට යොමු කරනවා. මං හොස්පිට්ල් එකෙන් ඇවිත් කැඩුණු අත්, තුවාල මූණ එක්ක ඉන්නැද්දි මගේ ඇඟේ නැගලා කරදර කරයි කියලා කිසි කෙනෙක් එයාට ළඟට එන්න දුන්නෙ නෑ. ඒත් එයා කොහොම හරි හොරෙන් ආවා. ඒ ඇවිත් මගේ ළඟටම වෙලා හිටියා. එදා ඉඳලා අද වෙනකල් රැෆී මගේ ජීවිතේ කොටසක් වෙලා…’’

රිය අනතුර වී මිලාන් වෙන්ව ගොස් මාස හතරක් වුවත් සඳුනිගේ මුහුණේ තුවාල සහ ඇඟේ කැඩුණු බිඳුණු තැන් සුව වී නැත. වියෝ වේදනාවත් සමඟ ඇයට විඳින්නට සිදුව ඇත්තේ තදබල ශාරීරික වේදනාවකි.

‘‘මේ වෙනකොට ඔපරේෂන් හතරක් කරලා තියෙන්නේ. තව ඔපරේෂන් අටක් කරන්න තියෙනවා කියලා ඩොක්ටර්ස්ලා කිව්වා. ඇහැ හදාගන්න තව අවුරුදු එකහමාරක්වත් ඉන්න වෙනවා කිව්වා. දැන් ඇහැ වැහිලා තියෙන්නේ. තවම බෙහෙත් බොනවා. හැම සතියකටම පාරක් හොස්පිට්ල් යනවා බෙහෙත් කරන්න.’’

ජීවිතයට සෙවන දෙන්න සිටි ඒ මහා වෘක්ෂය ඉදිරී වැටුණ බව සඳුනි දැන සිටියත් රැෆී ඒ බැව් දන්නේ නැත. රැෆී තාමත් ඔහු එනතුරු මග බලන්නේ ඒ නිසාය.

‘‘රැෆීට ගොඩාක් දේවල් තේරුණාට මිලාන් ආයෙ එන්නෙ නෑ කියලා දැනෙන්නෙ නෑ. තාත්ති එනවද බලන්න කිව්වම බැල්කනියට ගිහින් ඉස්සර වගේම බලාගෙන ඉන්නවා. එයාව ගේ පුරා හොයනවා. මිලාන්ගේ හෝදපු නැති ඇඳුමක් අහුවුණාම අරන් ගිහින් ඒ උඩ නිදාගෙන ඉන්නවා. එයාව පස් යට දාපු සෙමෙට්‍රියට එක්ක ගියාම මුල් දවසේ ඒ පස් කන්දට නැගලා අත් දෙකයි කකුල් දෙකයි දෙපැත්තට දාලා වරුවක් විතර ඒ උඩ නිදාගෙන හිටියා.

දැන් මට රැෆීව වඩාගන්න බෑ. දකුණු අතින් කිසිම බරක් උස්සන්න එපා කියලා තියෙන්නේ ආයෙත් අත කැඩෙන්න පුළුවන් කියලා. ‘අම්මිට ඌවා වෙලා’ කියලා මං කිව්වම ලොකු හුස්මක් අරන් ඒක බිමට දාලා මගේ දිහා දුකෙන් බලා ඉන්නවා. මිලාන් නැති ජීවිතේ දුක නැති කරන්න රැෆී මහන්සි වෙනවා කියලා මට දැනෙනවා.’’

දුක තුනී වෙනවා වෙනුවට ඇත්තේ දුක එකතුවන දේවල්ය. පසුගිය 26 වැනිදා රැෆීගේ පළමු උපන්දිනය යෙදී තිබුණි. මිලාන් හිටියානම් රැෆීගේ උපන්දිනය සමරන්නට තිබුණා නොවේදැයි සඳුනිට එදා දවස පුරාම සිතුණි.

‘‘මං වගේම මිලානුත් සත්තුන්ට හරිම ආදරෙයි. අපි කැනඩා යන්න දාලා තිබ්බෙ. ඇත්තටම මේ වර්ගෙ සුරතලෙක් හැදුවෙත් එයාව එතකොට අරන් යන්න ලේසි නිසා. ඒත් මේක වුණේ මට වීසා ඉන්ටවිව් එකට සති දෙකක් තියෙද්දි. මට හැමදේම නැතිවුණා. මට අද මිලාන්ගෙන් කියලා ඉතිරි වුණේ මඟුල් මුද්දයි, රැෆියි විතරයි…’’

ඇගේ ඒ කතාව අස්සේ තවත් අතුරු කතාවක් ඇත්තේය. ඈ කියන්නේ රිය අනතුර වූ මොහොතේ වාහනයේ තිබූ සියලු දේ නැතිවූ බවයි. ඇගෙත් මිලාන්ගේත් කර බැඳි චේන්ද කවුරුන් හෝ සොරාගෙනයි. සඳුනිගේ මුදල් පසුම්බියද නැතිවිය. එහි තිබූ මුදල්වලට වඩා ඇගේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගන්නා පසුගිය වෛද්‍ය වාර්තා සියල්ල ද නැතිවී තිබුණි.

බියංකා නානායක්කාර