විශේෂාංග

අර තියෙන්නෙ මගේ ගෙදර හවස හයෙන් පස්සෙ එහෙට එන්න – මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් නායිකාවගේ මඟ හැදුනු හැටි

මේ අක්කා බැඩ්මින්ටන් රැකට් එකක් අරන් හැමදාම උදේට කොහෙද යන්නෙ?”

චීත්ත ගවුමකින් සැරසී පන්මල්ලකුත් අතැතිව අච්චුපාන් ගෙනඒමට කඩයට යන පුංචි කෙල්ලට තිබුණේ ප්‍රහේලිකාවකි. නමුත් ඒ ප්‍රශ්නාර්ථය ඇයව ජීවිතේ කිසිදා විශ්වාස නොකළ තැනකට රැගෙන යාවි යැයි ඇය එදා නොසිතන්නට ඇත.

රසාංජලී චන්දිමා සිල්වා කෝට්ටේදී උපත ලබන්නේ සහෝදර සහෝදරියන් හයදෙනෙකුගෙන් යුත් පවුලකය. පවුලේ සහෝදරයින් තුන්දෙනෙකි. ඉතිරි තිදෙනා ගැහැනු ළමෝ වූහ. අසල්වැසි නිවෙස්වල බහුතරය පිරිමි දරුවන්ය. සියලුදෙනා සෙල්ලම් කිරීමට එකතුවන්නේ රසාංජලීගේ නිවසට ඉදිරියෙන් වූ හිස් ඉඩමකටය. එතැනට රැස්වන පිරිමි ළමුන්ගේ වයසට ගැලපෙන එකම කෙල්ල රසාංජලී ය. මේ නඩය එකතුවන්නේ ක්‍රිකට් ගැසීමටයි. ඇතැම් අසල්වාසීන් නිසා එතැන ක්‍රිකට්වලට අමුතු රීතිය. වහලයට බෝලය වැටෙනවාට අකමැති කාන්තාවකි. එනිසා ඇගේ වහලයට ඉහළින් පහර එල්ල කළ යුතුය. වහලයේ ගැටුණහොත් දැවී යාමකි. පසෙකින් වූ තවත් වත්තකට බෝලය ගියහොත් නැවත නොලැබේ. එනිසා හරවා පහර එල්ල කිරීම තහනම්ය. රසාංජලී ඉතාම විශ්වාසයෙන් එල්ල කරන ‘Straight Drive’ පහරේ උපත එයයි. කොල්ලන්ට මේ එකම කෙල්ල දැඩි අභියෝගයක් විය. රසාංජලීගේ පහරවල් වළකාගත නොහැකි නිසාම ඇගේ චක් බෝලය කොල්ලන්ගේ දෝෂදර්ශනයට ලක්විය. එහි ප්‍රතිඵලය ලෙස රසාංජලී තනිව පුහුණු වී නිවැරදිව පන්දු යැවීමටද උගත්තාය.

ක්‍රීඩාශීලී කෙල්ලක වූ රසාංජලී ශ්‍රී ජයවර්ධනපුර බාලිකාවේ ඉගෙනගන්නා අතරේ සහභාගී නොවූ ක්‍රීඩාවක් නැතිතරම්ය. එහෙත් ඒ කිසිවක් විධිමත්ව ඉගෙනගන්නා අයුරු ඈ දැන නොසිටියාය. නිවසේ සහෝදර සහෝදරියන් හයදෙනාටම අම්මා වැඩ පවරා තිබිණ. රසාංජලීට තිබුණේ පාසල් යාමට පෙර උදෑසනම කඩයට ගොස් අච්චුපාන් රැගෙන ඒමයි. අලංකාර ක්‍රීඩා ඇඳුමින් සහ වටිනා පාවහන්වලින් සැරසී බැඩ්මින්ටන් රැකට්ටුවක්ද රැගෙන යන අපූරු තරුණියක රසාංජලීගේ නෙත ගැටුණේ ඒ අතරතුරදීය. හිතේ තියෙන ගැටලුව මුවින් පිට කිරීමට තරම් ඈ දිනක් නිර්භීත වූවාය.

අක්කෙ, ඔයා හැමදාම උදේට බැඩ්මින්ටන් රැකට් එකක් අරන් කොහෙද යන්නෙ?”

අනපේක්ෂිත පැනයෙන් අන්දමන්ද වූ තරුණිය ටික වෙලාවකින් පිළිතුරු දුන්නාය.

මම පිටකෝට්ටේ චර්ච් එකත් එක්ක තියෙන ක්ලබ් එකකට සෙල්ලම් කරනවා. හැම ස්පෝර්ට් එකක්ම එතැන තියෙනවා.

මමත් ආසයි සෙල්ලම් කරන්න. මටත් එන්න බැරිවෙයිද අක්කෙ?”

අර තියෙන්නෙ මගෙ ගේ. හවස හයෙන් පස්සෙ ඔයා එහෙට එන්න.

මේ වටිනා පණිවිඩය මවට පවසන තුරු රසාංජලීට ඉස්පාසුවක් නොවීය. අච්චුපාන් දෙක දමාගත් පන්මල්ලද රැගෙන අඩියට දෙකට ගෙදරට ගිය ඇය අම්මාගෙන් ගමනට අවසරය ගත්තාය. එදා ඔරලෝසුව වෙනදාට වඩා අඩු වේගයකින් කැරකෙන්නේ දැයි රසාංජලීට සැක සිතිණ. නිසි වේලාව ළඟා වූ විට වැදගත් ගමනකට ගැලපෙන චීත්ත ගවුම ඇඳ, කොණ්ඩ කරල් දෙකක් ගොතා යාවජීව ආරක්ෂක පොඩි අයියා සමඟ ඇය ගමන ඇරඹුවාය. ජේත්තුකාර අක්කාගේ නිවස අමුතුම මාදිලියකය. නිවසේ සියල්ලන්ගේ කතාබහ ඉංග්‍රීසියෙනි.

ඔයා සෙනසුරාදා නවය වෙද්දි පල්ලියට එන්න.

ඒ ගෙදර අක්කාගෙන් ලද පණිවිඩයෙන් පසු සෙනසුරාදා තෙක් රසාංජලී ඇඟිලි ගැන්නාය. එදිනද සුපුරුදු චීත්ත ගවුම, රබර් සෙරෙප්පු සහ කොණ්ඩ කරල් දෙක සමඟ පොඩි අයියාවද තනියට රැගෙන රසාංජලී දේවස්ථානයට ගියාය. ක්‍රීඩා පුහුණුවීම් කෙරෙන තැන අමුතු ලෝකයකි. නානාවිධ ක්‍රීඩා ඇඳුම්, සපත්තු සහ ඉංග්‍රීසි කතාබහ අතරේ සිටගෙන සිටීමට තරම් රසාංජලීට ආත්ම විශ්වාසය තිබිණ. ඇයට වූයේ ක්‍රීඩා කිරීමේ අරමුණ පමණි. ඉංග්‍රීසියෙන් වූ අයැදුම්පත්‍රයක් ලැබිණ. ගෙදරට පැමිණ තාත්තා ලවා ඇය එය පුරවාගත්තාය. මව නුගේගොඩින් බාස්කට් බෝල් ක්‍රීඩාවට උචිත කලිසමක් සහ ටී ෂර්ටයක් රසාංජලීට අරන් දුන්නාය. දිනපතා පුහුණුවීම් සඳහා සහභාගී වී හොඳින් ක්‍රීඩා කළද ඇයට කණ්ඩායමක සාමාජිකත්වය හිමි නොවීය. සමාජ මට්ටම ඊට හේතුවන්නට ඇත. එහෙත් ඒවා නොතැකූ රසාංජලී අඛණ්ඩව පුහුණුවීම් කළාය. දිනක් සිය සාමාජිකාවන් සහභාගී වන තරඟයක් නැරඹීමට ඇය තම ක්‍රීඩා ඇඳුමින් සැරසී ගියාය. ඈ නරඹන්නන් අතරය. කණ්ඩායමේ සාමාජිකාවක පැමිණ නොසිටියාය. එනිසා අහම්බෙන් රසාංජලීටද අවස්ථාවක් හිමිවිය. තරඟයට ක්‍රීඩා කළද  බටහිර පන්නයේ සාමාජිකාවන් සමඟ ඇගේ වැඩි කතාබහක් නැත. පල්ලියේ ක්‍රීඩා පුහුණුව කරන කොල්ලන් රසාංජලීට වෙනසක් කළේ නැත. එනිසා ඔවුන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඇයට අවස්ථාව හිමිවිය.  බාස්කට් බෝල් තරඟාවලිය අතර දේවස්ථාන රථගාලේ පිරිමි ළමෝ ක්‍රිකට් ක්‍රීඩා කළහ. ටික වේලාවකින් රසාංජලීද ඊට එක්වූවාය. ඒ අහම්බය ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය විය. පල්ලියට පැමිණි කාන්තාවක් රසාංජලීගේ වේගවත් පිති හරඹය නරඹමින් සිටියාය. ඇය නමින් ටානියා පෙරේරායි. ඇගෙන් රසාංජලීට කැඳවීමකි.

ඔයාට ඔච්චර හොඳට ක්‍රිකට් ගහන්න පුළුවන් වුණේ කොහොමද?”

මං අයියලා එක්ක සෙල්ලම් කරනවා.

ඔයා කැමතිද ලංකාවෙ තියෙන හොඳම ක්ලබ් එකකට සෙල්ලම් කරන්න?

අම්මෝ, මං ගොඩක් කැමතියි. අනේ තැන්ක් යූ අක්කේ.

ටානියා පෙරේරාගේ දැනුම්දීම යටතේ රසාංජලී,  කෝල්ට්ස් ක්‍රීඩාංගණයට ගියේද චීත්ත ගවුමෙන් සැරසී පොඩි අයියා සමඟිනි. ටානියා පෙරේරා විසින් කණ්ඩායම් නායිකාවට හඳුන්වාදීමෙන් පසු රසාංජලීට මෙන්ම ඇගේ පොඩි අයියාටද ඔවුන්ගේ වියදමින් ක්‍රිකට් සමාජයේ සාමාජිකත්වය හිමිවිය. එතැන් සිට පුහුණුව ඇරඹූ රසාංජලී සහභාගී වූ පළමු තරඟාවලියේදීම පිටියේ සිය අණසක පැතිරුවාය. සියලු සම්මාන ඈ ඉදිරියේ විය.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරඟ කරමින් සිටියදී 1997 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට සංචිතයක් පිහිටුවීමට තෝරාගැනීම් තරඟ පැවැත්විණ.  දිනක් තෝරාගැනීම් තරඟ සඳහා විශේෂ පුද්ගලයෙක් පැමිණියේය. ඒ සුප්‍රසිද්ධ ක්‍රීඩක ගයි ද අල්විස් ය. කෝල්ට්ස් පුහුණුකරු රංජිත් සිල්වා තමන්ගේ විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙස ගයි ද අල්විස්ට හඳුන්වා දුන් රසාංජලී පිටියට පිවිසි වහා ලකුණු නොලබාම හැරී ආවේ ප්‍රතිවාදී ක්‍රීඩිකාවගේ පන්දුව හමුවේ විකට් කූරු තුනම ගැලවී ගිය බැවිනි. එදින කිසිවකුට මුහුණ නොදී සිටියද සියලු තරඟ අවසානයේ රසාංජලීට සංචිතයේ තැනක් හිමිවිය. ඒ, ඇය ඊට සුදුසු වූ බැවිනි. ලෝක කුසලානය සඳහා පුහුණුව ගයි ද අල්විස් යටතේය. එය පහසු නැත. ගයි ක්‍රීඩිකාවන්ගේ පොදු සතුරා බවට පත්වන්නට වැඩි කලක් ගියේ නැත. එහෙත් ඒ පුහුණුව කෙතරම් වටින්නේද යන්න ඔවුනට වැටහුණේ වෙනත් රටවල තරඟ වදින විටය. එනිසාම බිය මුසු වූ ගෞරවයක් ඔහු කෙරෙහි සියල්ලන්ට තිබිණ. 1997 ලෝක කුසලානයේදී වැනේසා බෝවන් නායකත්වය දැරූ අතර රසාංජලී උපනායිකාවයි. එම තරඟාවලියේදී රසාංජලී නෙදර්ලන්තයට එරෙහිව දක්ෂතම ක්‍රීඩිකාව වූවාය. පසුව මෙරට ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායිකාව වූයේද ඇයයි. සිය ආරම්භක තරඟයේදීම පාකිස්තානයට එරෙහිව ලකුණු 57කට කඩුලු 8ක් බිඳ හෙළීමට ඇය සමත් වූවාය. එය අදටත් මංගල තරඟයකදී ලොව හොඳම පන්දු යැවීමේ වාර්තා අතර දෙවැනි තැන පවතී. එමෙන්ම නායකත්වය දරමින් දැක්වූ හොඳම දක්ෂතා අතර ලොව තෙවැනි තැන ඈ රැඳී සිටී. ඉන්දීය ක්‍රිකට් රසිකයින් අතර ඇය කෙතරම් ජනප්‍රියවීද යත් එරටදී ඇයට විශේෂ ආරක්ෂාවක්ද හිමිවිය. ආරම්භක පිතිකාරිය මෙන්ම ආරම්භක පන්දු යවන්නිය ලෙසද ක්‍රීඩා කළ ඈ වසර කිහිපයක්ම කාන්තා එක්දින ක්‍රිකට් ජාතික කණ්ඩායමේ නායිකාවද වූවාය.

මගේ ක්‍රීඩා දිවියේ හොඳම කාලෙදි පන්නල MAS කණ්ඩායමට ක්‍රීඩා කළා, නායිකාව විදියට. එතැනින් අපට හොඳටම සැලකුවා. විශේෂයෙන් කළමනාකර අධ්‍යක්ෂ වූ ඩයන් ගෝමස් අපි හැමෝවම ළමයි වගේ බලාගත්තා.

2000 වසරේ නවසීලන්තයේ පැවති ලෝක කුසලානයෙන් පසු රසාංජලී ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නේ ගයි ද අල්විස් සමඟ විවාහවීමටයි. විටිනි ද අල්විස් සහ ටරිනි ද අල්විස් දියණියන් සමඟ ඔවුන්ගේ ජීවිතය වෙනස් රිද්මයකින් ගමන් කළේය. එහෙත් ජීවිතය එතරම් පහසු නොවන බව රසාංජලීට වැටහුණේ වැඩිමල් දියණියට වයස අවුරුදු 10ක් වනවිට සිය ආදරණීය සැමියා ජීවිතයෙන් සමුගැනීමත් සමඟිනි.

එයා හරිම හොඳ හස්බන්ඩ් කෙනෙක්. ග්‍රවුන්ඩ් එකේ හිටපු කෙනාට හාත්පසින් වෙනස් ගෙදර හිටපු කෙනා. එයා නැතිවෙද්දි මට අවුරුදු 40යි. එයා ඉතුරු කරපු දේවල් මම නාස්ති කළේ නෑ. වැඩිදියුණු කළා. ඊටපස්සෙ මට කාන්තා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරය හිමිවුණා. එතකොට තරඟ හැමඑකම බලන්න ඕනෙ. දූලා දෙන්නගෙ වැඩ කරන ගමන් මම ඒවත් හරියටම කළා. මට අපේ නෑදෑ කෙනෙක් දුවලා බලාගන්න උදව් කළාඒ වගේම ක්‍රිකට් කළමනාකාරීත්වය මට විශාල සහායක් දුන්නා. රට පුරාම තරඟවලට ගිහින් පාන්දරට හරි ගෙදරට ආවා. අද මට ඒ හැම දේකම ප්‍රතිඵල තියෙනවා. ව්‍යාපාරයක් තියෙනවා. ලොකු දුව ඕස්ට්‍රේලියාවෙ ග්‍රිෆිත් සරසවියෙ ඉගෙනගන්නවා. පොඩි දුව වෛද්‍ය විද්‍යාව හදාරන්න බලාපොරොත්තු වෙනවා. අම්මා කෙනෙක් විදියට මට සතුටු වෙන්න පුළුවන්.

ජීවිතයට එම පන්නරය ලැබීමට දෙමාපියන් වගේම ක්‍රීඩාව ද හේතු වූ බව රසාංජලී චන්දිමා කියයි.

මගෙ පළවැනි විශ්වවිද්‍යාලය වගේම උපාධිය අම්මයි, තාත්තයි. එයාලා අපට ජීවිතේ කියලා දුන්නා. අම්මා එක්ක මම තවම ජීවිතේ බෙදාගන්නවා. ක්‍රීඩාවෙන් අපි කැපවීම ඉගෙනගත්තා. ක්‍රීඩාවක් කරන්න නිකං බෑ. කන බොන දේ පවා කැප කරන්න වෙනවා. ආසාවට ඕන ඕන දේවල් කන්න බොන්න බෑ. තරඟ කීයක් සෙල්ලම් කරලද ජාතික කණ්ඩායමට එන්නෙ. ඒ දරාගැනීම ජීවිතේටත් හැමදාටම වැදගත්. ක්‍රීඩාවක් නිවැරදිව කරපු කිසිකෙනෙක් අතරමං වෙන්නෙ නෑ. ඒ වගේම ගෑනියෙක් වුණා කියලා කිසිදෙයක් අත අරින්න හොඳ නෑ. හිත ශක්තිමත් නම් ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ මොහොත සතුටින් ගත කරන්න ඕනෙ. ඒත් අපේ සීමා අපි දැනගෙන ඉන්න එකත් වැදගත්. ජීවිතේ දිනන්න මං දකින කාරණා තුනක් තියෙනවා. උත්සාහය තියෙන්න ඕනෙ. වැටෙන වෙලාවක ගෑනු විදියට අපට ඇඬෙනවනෙ. ඒත් අඬලා අඬලා හරි නැගිටින්න ඕනෙ. ඒ වගේම යම් තැනකට ආපු දවසක නිහතමානී වෙන්න ඕනෙ. එතකොට කවදාවත් වරදින්නෙ නෑ.

රෂ්නිකා ලියනගේ