විශේෂාංග

ගෙදර මිදුලක් නැති නිසා අපි එළවලු වවන්නේ ගරාජ් එකේ

අපි කරන්නේ ගරාජ් එකක්මාත් එක්ක තවත් මල්ලිලා හත්දෙනෙක් මෙතන වැඩ කරනවා. ඉස්සර නම් මෙතනට කට්ටිය ආවේ වාහන වැඩ කරගන්න විතරයි. ඒත් දැන් අපේ එළවලු වගාව දැකලා සතුටු වෙලා අපිටත් මෙහෙම කරන්න පුළුවන් නේද කියන අදහස අරගෙන යන අයත් ඉන්නවා.

ඒ රසික සමීර යි. මේ කියන ගරාජය ඇත්තේ දළුගම කැලණිය පරණ පාරේය. පර්චස් හතළිහක පමණ ඉඩකඩක් එම භූමියේ තිබුණත් ගරාජය පිටුපස කොටස ඉස්සර තිබුණේ කැලෑවට ගොසිනි. කොරෝනා පළමු රැල්ලෙන් රට වසා දමද්දී, සමීරලාටද ගරාජයේ වැඩ නැතිව ගියේය. එය මුළු ලොවටම බලපෑ ප්‍රශ්නයක් බැවින් ඔවුන්ටද බලපෑවේය. ඒ නිසා ඔවුන් අලුත් දෙයක් ගැන කල්පනා කළේ මේ කාලයේදීය.

ඒ වෙද්දි මේ ගරාජ් එකේ පිටුපස තියෙන ඉඩමත් ප්‍රයෝජනයට ගන්න ඕන කියන අදහසක් ඇවිත් තිබුණේ. මාත් ගරාජ් එකේ තවත් මල්ලිලා දෙන්නෙකුත් එක්කරගෙන ඒකට අඩිතාලම දැම්මා. වත්ත සුද්ද කරලා එළවලු හිටවන්න අපි තීරණය කළා. මුලදිම නම් ඒ ගැන ලොකුවට අදහසක් තිබුණේ නැහැ. ඒත් එළවලු, මිරිස් වර්ග හිටවන්න ගත්තට පස්සේ අත්දැකීමෙන් වගේම අපි අන්තර්ජාලය ඔස්සේ ඒ දැනුම ලබාගත්තා. දියර පොහොර, කාබනික පොහොර හදන හැටි ඉගෙනගත්තා. ඒ වගේම සාර්ථක අස්වැන්නක් ලබාගන්න නම් අනුගමනය කරන්න ඕන මොනවද කියලා අපිම හුනාගත් අවස්ථා තිබුණා.

සමීරගේ උපන්ගම අක්මීමන ය. පියා එකල ගොවිතැන් කටයුතුවලද නියැලී ඇත. ඒ තමන් කළ රැකියාවට අමතරවය. ඒ අනුව කොළපලා වර්ග මෙන්ම, මෑ, දඹල වැනි එළවලු වර්ගද ගෙවත්තෙන් ලබාගත් අවස්ථා ගැන මතකය ඔහුට තිබේ. වගාව ගැන එතැනින් එහාට ගිය ලොකු මතකයක් එකල නැතත් දැන් නම් වගාව තමන්ට බෙහෙවින්ම සමීප, ඒ වාගේම ලස්සන බලාපොරොත්තුවලින් එකක්ව තිබේ. සමීර සමඟ ගරාජයේ වැඩ කරන සචින් චින්තක සූරියවැව ප්‍රදේශයේ පදංචිකරුවෙකි. ශිවකුමාර් දිනේෂ් නුවර ය. සමීරගේ වගා කටයුතුවලට ඔවුන්ගෙන් ලැබෙන්නේ නොමද සහායකි. ඔවුන් වගාවට සාත්තු සප්පායම් කරන්නේ උදෑසනම පැමිණය.

ඇත්තටම ගරාජ් එකේ වැඩ අඩු වුණාමනේ අපි වගාව පටන්ගත්තේ. දැන් වැඩ තිබුණත්, අපි වගාව වෙනුවෙන් සැහෙන කාලයක් යොදවනවා. කිට්ටුව පිට්ටනියක් තියෙනවා. එතැනින් තමයි ගොම ගේන්නේ. තියෙන කඩෙන් ඉවත දාන ලූනු පොතු, සුදුලූනු පොතු ගෙනැත් කාබනික පොහොර, දියර පොහොර හදාගන්නවා. කුස්සියේ ඉවත ලන දේවල් එකතු කරලා වෙනමම කොම්පෝස්ට් එකක් හදාගන්නවා. කෙසෙල් ලෙලි දියර පොහොර මල් හටගන්න ඉතාම හොයි. අපේ වගාව සියයට සියයක් කාබනිකයි.

අමුමිරිස්, කොච්චි මිරිස්, කොළපලා වර්ග, මෑ, වම්බටු, ගෝවා, වැටකොලු, පිපිඤ්ඤා, දඹල, බෝංචි, බණ්ඩක්කා, ආලංගා, රාබු, බඩඉරිඟු මෙන්ම ගොරකා තක්කාලි, කරවිල, පස් පුරවලා විශේෂ විදියට හදපු කංකුං කුලුනු කිහිපයකින්ද මේ වනවිට අස්වැන්න ලැබේ. ඒ අස්වැන්න විකුණන්නේ නැතත්, ගරාජයේ වැඩ කරන අයටත් පවුලේ හිතවතුනටත් ඒවා ලබාදෙන්නේ වගාවක සතුට කොතරම්දැයි අත්දැකීමෙන් උකහා ගනිමිනි.

ඇත්තටම අපි මේක හරියටම අස්වනු ලබන්න පටන්අරගෙන අවුරුද්දක් වගේ වෙනවා. වගා භෝගයක් හිටෙව්වම ඊට කරන සාත්තුව, පලදාව ලැබෙන්න බලපානවා. ඒ වගේම ශාඛයක ආයු කාලයක් තියෙනවා. ඒවා හරියට බලලා දැනගෙන පෝෂණය ලැබෙන්න ඕන කාලේ ඊට පොහොර ටික, වතුර ටික දාන්න ඕන. අඛණ්ඩව වගාවක් පවත්වා ගන්න නම් එළවලු ශාඛයේ ආයු කාලය අනුව අලුතෙන් පැළ හිටවන්න ඕන. අපි දන්නවා ස්වභාවිකවත් අව්වෙන් වැස්සෙන් පැළවලට හානිවෙන අවස්ථා තියෙනවා. එහෙම වුණා කියලා වගාව අතහැරලා දාන්න හො නැහැ. කොහොමහරි අපි බලන්නේ මේ වගා භෝග අතරට තව තවත් භෝග වර්ග එක්කර ගන්නයි.

සමීරගේ කුඩා පුතුන් තිදෙනාද වගාවට කැමතිය. ඔවුන්ද නිවාඩු දිනවල වගා සාත්තුවට එන්නේ කැමැත්තෙනි. එහිදී වගා භෝග අතර වන තණකොළ ගලවා දමන්නේත්, පාත්තිවලට වතුර දාන්නේත් ඔවුන්ය. එහිදී ඔවුන්ට වගා සාත්තුව වාගේම එළියේ දුවපැන ඇවිදින්නටද ඉඩ ලැබේ.

දරුවන්ට පුංචි කාලේ මේ වගේ අත්දැකීම් ලැබෙන එකත් හොයි. අපිට ගෙදර මිදුලක් නෑ. මල් පැළයක් හරි මිදුලේ හිටවන්න ඉඩක් නෑ. ඒ නිසා වගා කරන්න හිතෙන හැම දෙයක්ම අපි වවන්නේ ගරාජ් ඉඩමේ.

ඒ වගාවට බිරිඳගේද සහයෝගය ලැබෙන බව ඔහු කීවේය. කාබනික පොහොර සකසන්නට මුළුතැන්ගෙයින් ඉවතලන අඩුම කුඩුම ටික එකතු කර දෙන්නේ ඇයය. ඒ වාගේම ඔවුන්ගේ කාබනික වගාව දැක බලාගන්නටද ඇතැමුන් ඇවිත් යන බව ඔහු කීවේය. ඒ එන ඇතැමෙක් ආපහු යන්නේ වගාව ගැන හිතක් ඇති කරගෙනය.

වගාවේ අස්වනු නෙළුවම හිතේ සතුටට එක්ක අපි මේ පින්තූර මුහුණුපොතට දානවා. ඒ දැකලා සමහරු වගාව බලන්නම කියලා එනවා. සමහරු කතා කරලා තොරතුරු අහනවා. දන්න දෙයක් තවත් කෙනෙකුට කියලා දෙනවා වගේම, මේ ගැන තවත් දේ ඉගෙනගන්න මම වගේම වගාව කරගෙන යන මේ මල්ලිලා දෙන්නත් උනන්දුයි.

තක්කාලි වැනි දෑ වවන්නට ඇතැම් අවස්ථාවල අමාරු වුවත්, පැළයක් නිසි ක්‍රමවේදයට වගාකොට අස්වනු ලබන්නට නම් එය නිසිලෙස රැකබලාගත යුතු බව ඔහු කියන්නේය. ඊට මුලින්ම ඕනෑ කරන්නේ වගාවට ලැදි හිතයි.

ඒ හිත තියෙනවානම් කරන්න බැරි දෙයක් නෑ. වස විස කනවා, එළවලු ගණන් කියනවට වඩා තමන්ට තියෙන පොඩි ඉඩකඩේ හරි වවන්න හිතෙන්නේ එතකොටයි. ඒ වගේම අපි වවලා අපි කනවා කියන එකේ සතුටත් වෙනමම දෙයක්. මේ වගාව දකින සමහරු කියන දෙයක් තමයි වගාව දැක්කත් සතුටුයි කියලා. ඇත්තටම අපිත් උදේට ගරාජ් එකට එන්නේ ඒ සතුට ඇස්වලට අරගන්න බලාගෙන. ඒක සොබාදහම එක්ක බැුණු හරි අපූරු ළෙන්ගතුකමක්.

ඒ වගා ළෙන්ගතුකම දවසේ කටයුතුවලටද ඔවුනට ආශිර්වාදයකි. ඉඩක් වේ නම් ඒ ඉඩ හැඩ කරන්නට සිත සිතා නොසිට අදම පටන්ගැන්ම හොඳ බව සමීරලා රටට කියන්නේය.

දීපා වසන්ති එදිරිසිංහ