හොදි ඒදන්නත් පුළුවන් – කූරු ගාන්නත් පුළුවන් දොසක් නැතුව වෙරි වෙන්නම බොන්නත් පුළුවන්
අද මම කතා කරන්නේ ගොඩක්දෙනා කතා නොකරන හැබැයි රැල්ලක් වෙමින් පවතින මාතෘකාවක් ගැන. මේ වගේ සිද්ධි කිහිපයකටම මැදිහත් වෙන්න වුණු නිසා මේ ගැන කතා කළොත් හොඳයි කියලා හිතුනා.
මේ කියන්න යන සිද්ධියේදී සැමියා තමයි මට මුලින්ම කතා කළේ.
‘‘බලන්න මිස් මම ගෙදර ගෑනි වගේ… මගේ ගෑනි ගෙදර මිනිහා වගේ…’’
ඔහුගේ වචනවලින්ම කිව්වොත් ඔහු මට කිව්වේ ඔන්න ඔහොම කතාවක්. මේ යුවළ විවාහ වෙලා ඒ වෙනකොටත් අවුරුදු අටක්. මට කතා කරපු මේ සැමියා මත්පැන්, මත්ද්‍රව්‍ය කිසිම දෙයක් භාවිතා කරන පුද්ගලයෙක් නෙවෙයි. මේ දෙන්නට අවුරුදු පහක විතර පුංචි පුතෙකුත් ඉන්නවා. දරුවට යමක්කමක් තේරෙන වයසට ආවට පස්සේ මේ බිරිඳත් රැකියාවක් කරන්න පටන් අරන්.
මේ ඔෆීසියේ ඉඳලා තියෙන්නේ නවීන පන්නෙට හිතන කරන බවලත්තු. ඉතින් රස්සාවට ගිහින් මාස දෙක තුනක් වෙද්දි මේ බිරිඳත් නවීන පන්නෙට අඳින්න පළඳින්න විතරක් නෙවේ හීනියට වයින් එක්ක, බියර් එකක් වගේ එහෙමත් බොන්න පටන් ගත්තලු.
තමන් මත්පැන් පාවිච්චි කළේ නැති වුණාට මේ සැමියා බිරිඳට තහංචි පනවන්න ගිහිනුත් නැහැ.
ඔහොම ටික දවසක් යද්දි මේ බිරිඳ ටිකක් සැර ජාතියේ ඒ කියන්නෙ හාර්ඩ් ලිකර් එහෙමත් ගන්න හුරුවෙලා. පස්සේ පස්සේ මෙයා හැමදාම ඔෆීසියේ උදවිය එක්ක බීලා රෑ දෙගොඩහරියේලු ගෙදර ආවේ.
මේක හරියන සෙල්ලමක් නෙවෙයි කියලා තේරුණු නිසා ඔෆිස් එකේ අයත් එක්ක නොබී දරුවට නොපෙනෙන්න ගෙදරට ගෙනල්ලා බොන්න කියලා ඔහු බිරිඳට නීතියක් පනවලා. හැබැයි මේ බිරිඳ නෙමෙයි ඒ කතා කනකට අරන් තිබුණේ.
‘‘මොකද කියන්නේ, අද හවසට සෙට් වෙමුද?’’
සතිඅන්තෙ ගෙදර ඉන්න දවස්වලටත් බිරිඳගේ ෆෝන් එකට පිටස්තර පිරිමින්ගෙන් ඔන්න ඔහොම කෙටි පණිවිඩ එනවලු. ඒ විතරක් නෙමෙයි බීමතින් රිය පදවලා ඇය දවස් කීපයක් පොලිස් අත්අඩංගුවටත් පත්වෙලා තියෙනවා. පස්සේ මේ ප්‍රශ්න නිසා බිරිඳගේ ඔෆිස් එකේ අයත් එක්ක එළියට යන්න එකතුවෙන්න මේ සැමියා උත්සාහ කරලා තියෙනවා.
‘‘තමුසෙව තැනකට එක්කරගෙන යන්න පුළුවන්ද? අරක්කු බොන්නේ නැති පිරිමියෙක් කියලා දැනගත්තොත් යාළුවෝ මට හිනාවෙයි.’’
ඔන්න ඔහොම කියලා ඒ ගමන බිරිඳ ඔහුව මගඇරලා තියෙනවා.
තව දවසක් මේ සැමියට බිරිඳ එක්ක එකට කාපු බීපු මනුස්සයෙක්ගෙන් කෝල් එකක් ඇවිල්ලා, බීමතින් හිටපු වෙලාවක බිරිඳ වෙනත් පුද්ගලයෙක් එක්ක යාළු මිත්‍රත්වයට එහා ගිය කතාබහක නිරත වෙනවා දැක්කා කියලා තමයි ඔහු කියලා තිබුණේ. ඒ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් තමන්ගේ බිරිඳව ඔහුට විශ්වාසයි කියලා තමයි ඔහු නම් මාත් එක්ක කිව්වේ. හැබැයි බිරිඳගේ මේ හැසිරීම් රටාව වෙනස් කරගන්න බැරි වුණොත් දරුවත් බලාකියාගෙන ඇයගෙන් වෙන් වෙනවා කියලත් ඔහු කිව්වා.
මේ සැමියා ඉවසීමේ ගුණ ඇති බොහොම නිවුණු පුද්ගලයෙක් කියන එක ඔහුගේ කතාබහෙන්ම මට තේරුණා. දැන් කාලේ ඇතැම් කාන්තාවන් තත්ත්වය තරාතිරම එහෙමත් නැත්නම් ‘පොෂ් බව’ පෙන්වන්න හිතාගෙන අරක්කු, සිගරට් වගේ දේවල්වලට හුරුවෙනවා. බොහෝදෙනා නොදන්නවා වුණත් මේක දැන් රැල්ලක් බවට පත්වෙලා.
නගරබද ජීවිත ගතකරන කාන්තාවන් විතරක් නෙවෙයි වර්තාමානය වෙනකොට ගම්බද කාන්තාවන් පවා මත්පැන්වලට වැඩි නැඹුරුතාවයක් දක්වනවා. කවුරු කොහොම කිව්වත් තවමත් අපේ රටේ සංස්තෘතියක්, සභ්‍යත්වයක් කියලා දෙයක් තියෙනවා. උදාහරණයක් විදියට ගෙදරක අම්මයි, තාත්තයි දෙන්නම හවසට බීලා ගෙදර එන සංස්කෘතියක් තවම අපේ රටේ නැහැනේ.
තාත්තා බිව්වට කමක් නැහැ අම්මට අරක්කු බොන්න තහනම් කියන එක නෙවේ මම මේ කියන්නේ. ගෑනුන්ට මේවා ආවේණිකයි, පිරිමින්ට මේවා ආවේණිකයි කියලා යම් යම් දේ බෙදා වෙන් කරන්න බැහැ. ගෑනු වුණත් පිරිමි වුණත් මේ වගේ දේවල් හරි විදියට කළමනාකරණය කරගන්න ඕන කියන එකයි මම කියන්නේ.
මේ කියන බිරිඳට වෙනත් සබඳතා නොතිබුණා වුණත් බීමතින් ඉන්න වෙලාවක ඇයට වෙනත් පිරිමියෙක්ගෙන් අතවරයක් වුණත් වෙන්න ඉඩ තිබුණා.
අනික හිතන්නකෝ තමන්ගේ බිරිඳට අර විදිහේ කෙටි පණිවිඩයක් එනකොට සැමියෙක්ට ඇතිවෙන හැඟීම මොනවගේද කියලා? ඊටපස්සේ ඉතින් දෙන්නා දෙමහල්ලෝ අතර රටේ නැති ප්‍රශ්න ඇතිවෙන එක නවත්තන්න බැහැ.
මේ වගේ තැනකදී සැමියාට තමන්ගේ බිරිඳ ගැන තියෙන ගෞරවය නැතිවෙන්න පුළුවන්. ඒ වගේම දරුවන්ගේ හිතේ අම්මා ගැන තියෙන උතුම් හැඟීම නැති කරන්නත් මේ දේ වලට පුළුවන්.
‘‘අරක්කු බොන්නේ නැත්නම් ඒ මිනිහා පිරිමියෙක්ද?’’ කියලා හිතන උදවියත් ඕනතරම් අපේ රටේ ඉන්නවා.
තමන්ට ඉන්නේ බොන අය දාහක් මැද වුණත් නොබී ඉන්න සැමියෙක් නම් ඇත්තටම ඒ බිරිඳ වාසනාවන්තයි කියන එකයි මගේ පෞද්ගලික අදහස.
අනික බේබදුකම ඉහට ගත්තු සැමියෙක්ට බිරිඳ ගැන දරුවො ගැන හිතන්න වෙලාවක් නැහැ. මොකද ඒ අය ආදරේ බෝතලේටනේ. ඒ නිසා එහෙම බිරිඳකට සතුටින් ඉන්න ලැබෙන කාලවේලාව හරි අඩුයි.
අනිත් කාරණාව තමයි සැමියා වේවා බිරිඳ වේවා මත්පැන්වලට නිතර මුදල් වියදම් කරනවා නම් ඒ පවුලේ ආර්ථිකය නිනැතින්ම වගේ කඩා වැටෙනවා කියන එක අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ.
ඉඳලා හිටලා හරි අඩියක් ගහන්නේ නැති සැමියෙක්, තාත්තා කෙනෙක් ඉන්න ගෙයක් හොයාගන්න එක දැන් නොමළ ගෙයකින් අබමිටක් හොයන ගානයිනේ. ඉතින් ස්වාමිපුරුෂයගේ නැත්නම් ගෙදර තාත්තගේ බීමත්කම නිසා ලංකාවේ පවුල් බොහෝමයක් විනාශ වෙනවා කියන එක අලුත් කතාවක් නෙවෙයි. ඉතින් හිතන්නකෝ එහෙම පවුලක අම්මත් බීමට ඇබ්බැහි වුණොත්? ඒ පවුලේ දරුවන්ට යන කලදසාව ගැන අපිට හිතාගන්නවත් බැහැ.
අම්මයි, තාත්තයි දෙන්නම බේබදුකමට ඇබ්බැහිවුණු බහුතරයක් පවුල්වල දරුවෝ නොමග යනවා කියන එක යුරෝපා රටවල කරපු සමීක්ෂණවලින් පෙන්වලා දීලා තියෙනවා.
ඕනම දෙයක සීමාව දැනගෙන මනසින් හිතලා මතලා කටයුතු කළමනාකරණය කරගන්න ඕනම කෙනෙක් දක්ෂ වෙන්න ඕනේ කියන එක තමයි මට කියන්න ඕනේ. ඒ වගේම රැල්ලට වගේ අනිත් අය කරන කරන එක කොපි කරන්න යන්නත් එපා. මොකද ඒ රැලි අන්තිමට සුනාමි රැල්ලක් වෙලා මුළු පවුලම විනාශ කරන්නත් බැරි නැහැ.
ඉතින් අවසානයේදී මේ කිව්ව කරුණු කාරණා ටික අර බිරිඳටත් තේරුම් කරන්න මට පුළුවන් වුණා කියන එකත් කියන්නම ඕනේ.
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා
රත්නා පුෂ්ප කුමාරි
සෙව්වන්දි හෙට්ටිආරච්චි