දුව දොස්තර නෝනා කෙනෙක් වුණාට මම තාම ඇඟලුම් කම්හලේ වැඩට යනවා
මේ සිදුවීම මට වුණේ අපේ පංතියකදී නෙවෙයි. මම ගියා එක්තරා ඇඟලුම් කම්හලක දේශනයකට. මම ඒ දුවලට කිව්වා මං දේශන කරන විට ඔයාලට හිතෙන දේ ලියලා එවන්න කියලා. ඒ දුවලා මහලොකු දැනඋගත් අය නොවෙන හින්දා මම ඒ අයගෙන් මහලොකු ප්‍රශ්න බලාපොරොත්තු වුණෙත් නැහැ. එක දුවෙක් මෙන්න මෙහෙම ලියලා එවලා තිබුණා.
‘විජය එනවිටත් අපි හිටියෙ
ඇඳුම් මහ මහ
මම කුවේණි එයා විජය
එයා මට ආශාවෙලා
මාව බැන්දා
දරු දෙන්නෙක් දීලා එයා පැන්නා
අදත් අපි ඒ වගේමයි, අසරණයි
ඔක්කොම අපිව දාලා යනවා’
මම මේ කවිය හයියෙන් කියෙව්වා. උපාධියක් කරන දුවෙකුගේ තියෙන මානසික මට්ටම මේ දුවලටත් තිබීම ගැන මට හරිම ආඩම්බරයක් ඇතිවුණා. මං ඒ දුවව නැගිට්ටවලා අනෙක් අය ලවා අත්පොලොසන් දීලා ඒ අයගේත් ගෞරවය අරගෙන දුන්නා. ඒ සිද්ධිය වෙනකොට අපට ඩොලර් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි අද අපිට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අද අපට ඩොලර් ගේන්න උදව්වෙන ප්‍රබලම ශ්‍රම බළකාය තමයි මේ දුවලා. හැබැයි ඒ පංතියේ දුවලට ඒ පංතියෙන්ම කුවේණිට සිද්ධවෙච්ච වගේ අසාධාරණයක් වෙන එක මහ අපරාධයක්. ඉතින් ඒ දුවගේ කවිය අගය කරලා මං කිව්වා අපේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දෙන් දුවලට තාක්ෂණික අධ්‍යාපනයක්, ලිංගික අධ්‍යාපනයක් ලැබුණේ නැහැ. හැබැයි දුවලට පුළුවන් තමන්ට ළංවෙන්න බැරිවෙච්ච ලෝකය දුවලගෙ දරුවන්ට උදාකරලා දෙන්න කියලා.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ව්‍යාපාරය ආරම්භ වුණේ සිරිමා මැතිනියගේ කාලයේ. ප්‍රේමදාස මහත්තයා ඒක දීපව්‍යාප්ත කරා. මේ කම්හල් නොතිබුණානම් වැඩිදුර අධ්‍යාපනය නොලැබූ අපේ දුවලට සල්ලි හොයන්න ඇඟ විකුණනවා හැර වෙන කරන්න දෙයක් නෑ කියලා මම ඒ දේශනයේදී කිව්වා. ප්‍රේමදාස ඇඟලුම් කම්හල් අරඹනකොට සමහර අය විවේචනය කරා අපේ කෙල්ලෝ ලවා සුද්දියන්ට ජංගි මස්සනවා කියලා. ඒත් මේ දුවලගේ සේවය අද ‘අත්‍යවශ්‍ය සේවයක්.’ බලන්න අද අපිට පිහිටට ඇවිත් තියෙන්නේ අප එදා පහත් කරලා සලකපු ඇඟලුම් සේවය. මං ඊටපස්සේ මගේ දේශනය කරගෙන ගියේ අර දුවගේ කවිය පදනම් කරගෙන. දුවකගේ පුතෙකුගේ ගෞරවය වෙනුවෙන් ඔබ හිමිකරගත යුතු ජීවිතාවබෝධය මං ඒ දූලට පැහැදිලි කරා. දුවලගෙ පැලැන්තියේ ඉස්සර හිටපු දුවලා කවදාවත් ඉස්කෝලෙ ගිහින් නැහැ. ඒත් ඒ අය ව්‍යවහාරික බුද්ධියෙන් ජීවිතය බේරගත්තා. නිවැරදි කරගත්තා. මාත් එක්ක මේ දේශනයට ගියා මගේ කවි කියන අනුෂ්ක කියන තරුණයා. මං එයාට කිව්වා මෙන්න මේ කවිය කියන්න කියලා.
‘අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ
වසාගෙන දෙතන අතකින් කිමද නගෝ
හිමියා නැති ගමන් තනිමග කිමද නගෝ
අම්බලමේ ඉඳලා අපි යම්ද නගෝ’
කොල්ලා මේ කවිය ලස්සනට ගායනා කරා. කවියේ තිබුණේ පාර අයිනේ අම්බලමක හිටපු පුතෙක් පාරේ තනියම යන දුවෙකුට කියපු කවියක්. ඔහු හිතුවේ ඇය රෙදිපොට උස්සාගෙන යන්නේ, පපුව අත ගගා යන්නේ, තනියම යන්නේ කාවහරි ලිංගිකව පොළඹවන්න කියලා. ඒ හින්දා ටිකක් නැවතිලා යමු කියලා ආරාධනා කළා. මෙන්න එතකොට ඒ දුව ඒකට පිළිතුරු කවියක් කියනවා.
‘අල්ලාගෙන නෙරිය මඩ ගෑවෙන හින්දා
වසාගෙන දෙතන බිලිඳුගෙ කිරි හින්දා
බාල මස්සිනත් පස්සෙන් එන හින්දා
යන්නම් අයියණ්ඩි ගම රට දුර හින්දා’
අකුරු නූගත් උපාධියක් නැති ඒ දුව තරුණයාට කිව්වේ අමුතු කතාවක්. නෙරිය ඔසවාගෙන යන්නෙ රෙද්දේ මඩ ගෑවෙන හින්දා. පපුව අල්ලාගෙන යන්නේ කිරි එරිලා හින්දා. ඒ මදිවට බාල මස්සිනත් ළඟ ළඟ එනවලු. ඉතින් ඇය ඔහුට සහෝදරත්වයෙන් කිව්වා අපේ ගම රට දුරයි මම යන්නම් කියලා. ඇය ඉතා බුද්ධිමත්ව තරුණයා මගහැරලා ගියා. අම්බලමේ සීමාව පහුවුණ ගමන් මෙන්න ඒ දුව තුන්වැනි කවියත් කියනවා.
‘අල්ලාගෙන නෙරිය මඩ ගෑවුණෙත් නැතී
වසාගෙන දෙතන බිලිඳුගෙ කිරිත් නැතී
බාල මස්සිනෙක් පස්සෙන් එනුත් නැතී
බිලිඳෙකු තියා මා දීගෙක ගියෙත් නැතී’
මේ කවියේ තේරුම මං කියලා දෙන්න ඉස්සර දූලා පුතාලා අත්පොලොසන් දුන්නා. ඉතින් මං කිව්වා පාසල් අධ්‍යාපනය බිඳවැටුණට ව්‍යවහාර ලෝකය ජයගන්න ඉව හැමෝටම දීලා තියෙනවා කියලා. අර කුවේණි ගැන ‘චිට්’ එක එව්ව දුව වගේ.
මේ කවි කියූ දුවලා ඉස්කෝලේ ගිය අය නෙවෙයි. ජීවිතය තමන්ම කියවගත්ත අයගේ පරම්පරාව. ඔන්න එතකොට මට තවත් ‘චිට්’ එකක් ආවා. ‘අනේ සර් දේශනය ඉවරවෙලා ටිකක් ඉන්න, මට සර්ට කියන්න දෙයක් තියෙනවා’ කියලා. මං ඒක කියෙව්වෙ නැහැ. ඒ ළමයා හම්බවෙයිනේ කියලා මම දේශනය කරගෙන ගියා. ඔන්න මම ආයෙත් අනුෂ්ක ලක්සිරිට කතා කරා කවියක් කියන්න.
‘කෙකටිය මලේ වක යාදෝ නොයාදෝ
බෝඹු ඉදල දලු දාදෝ නොදාදෝ
කැලණි ගඟේ ඔරු යාදෝ නොයාදෝ
කලුගෙ නගා මෙහි ඊදෝ නොඊදෝ’
ඔන්න එක තරුණයෙක් කසාද බැන්දා. බිරිඳට බබෙක් ලැබෙන්නත් ආවාට පස්සේ ඇගේ තනියට බිරිඳගේ නංගි එක්කරගෙන ආවා. දැන් අක්කටත් පහසුයි තරුණයාටත් පහසුයි. බිරිඳ එහෙ මෙහෙ වෙන වෙලා බලලා තරුණයා පුංචි නෑනට ඉව අල්ලන්න පටන්ගත්තා. ඒත් පුංචි නෑනාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. බිරිඳ ඉන්න නිසා ඍජුව කතා කරන්නත් අමාරුයි. ඔහු ගෙදර හැමෝටම ඇහෙන්න මේ කවිය කිව්වා. ඒක තේරුණේ පොඩි නෑනට විතරයි. බිරිඳ හිතුවේ සැමියා විනෝදෙට කවි කියනවා කියලා. ඔහු පළමුවෙන් ඇහුවේ මොකද නංගි වේලිච්ච බෝඹු ලීයක් වගේ, දලු දාන්න බැරිද? මේ බෝඹු ලී කියන්නේ කමත අතුගෑමට ගන්න ශක්තිමත් දැව විශේෂයක්. මොකද ඔයා කෙකටිය මල වගේ කුද ගහගෙන ඉන්නේ? ගඟේ ඔරු පදින්න බැරිද? මගේ මේ වැඩ හින්දා අපිව දාලා ඔයා යනවද? තම මස්සිනාගේ ලිංගික ප්‍රේරණය පුංචි නෑනාට තේරුණා. ඉස්කෝලේ නොගිය අකුරු නූගත් පුංචි නෑනා දුන්න උත්තරය බලන්නකෝ.
‘බෝඹු ඉදල දලුලන්නේ වැස්සකටයි
කෙකටිය මලේ වක යන්නේ පැද්දකොටයි
කැලණි ගඟේ ඔරු යන්නේ පැද්දකොටයි
කලුගෙ නගා මෙහි ඉන්නේ නෑකමටයි’
ඇය අක්කට නොතේරෙන්න මස්සිනාට තේරෙන භාෂාවෙන් උත්තර දුන්නා. තමන් මෙහි ආවේ අක්කාට උදව්වට මිස බබා හම්බවෙනතෙක් මස්සිනා සැනසීමට නොවන බවත් ඇය කිව්වේ අක්කාගේ විවාහය නොකඩා තමනුත් බේරෙමින්.
ඉතින් දේශනය ඉවර වුණාට පස්සේ අර මං කලින් කිව්ව ‘චිට්’ එක ලිව්ව එක්කෙනා මං අසලට ආවා. මං හිතුවේ තරුණ දුවෙක් කියලා. බලද්දි එයා මැදි වයසට කිට්ටු කෙනෙක්.
“සර්, සර්ට කියන්න දෙයක් මට තියෙනවා. මං මේ කම්පැනියේ දැන් වසර ගණනාවක්. මං මේකෙ වැඩ කරන අවදියේ මගේ මහත්තයා මාව දාලා පැනලා ගියා. මං මගේ දුව හදාගත්තා. ඉගැන්නුවා. ඒ ඔක්කොම කළේ මේ කම්පැනියේ ආධාරවලින්. සර් මගේ දුව දැන් වෛද්‍යවරියක්. ඒත් එයා මට කිව්වා සේවය නතර කරන්න එපා, දිගටම වැඩට යන්න. අපි කෑවේ බිව්වේ ඉගෙනගත්තේ ඔතනින්. ඒ අය අම්මව එලවනකල් වැඩට යන්න. ඉතින් සර් මේ ආයතනවල අලුත් ළමයි මාසෙන් මාසෙට ෆැක්ටරියෙන් ෆැක්ටරියට පනිනවා. මං ජීවිත කාලෙටම වැඩ කළේ මෙතන. මීටපස්සේ ෆැක්ටරිවලට ගියාම මේ කතාව කියන්න. අපි ඉගෙන නොගත්තට අපේ දුවලට පුතාලට ලෝකය ගොඩනගන්න මේ ෆැක්ටරිවලින් පුළුවන්. මමත් විජයට රැවටුණා. ඒත් මං ජීවිතය නසාගත්තෙ නැහැ. මමත් දිනලා දුවත් දිනලා. මගේ මිනිහට මෙහෙ එන්න බැරිවුණා. පිළිකාවක් හැදිලා හිඟන්නෙක් වගේ මැරිලා ගිහින්.”
අත්තනායක එම්. හේරත්