සැබෑ ජීවිතයේදී ‘ පොලියානා’ කෙනෙකු මුණගැසුනෙමි
පොලියානාට අපි කරපු එක ප්‍රතිකාරයක් හරිම වේදනාකාරී එකක්. ඒක අනිත් ළමයින්ට කරනකොට එයාලා හොඳටම රිදිලා අඬනවා. අපි ඒක කළේ හැම අඟහරුවාදා දවසකම උදේ වරුවෙයි.
ඒත් මම පොලියානා ගාවට යද්දි එයා ඉවසගෙන හිටියා. එයා හිනාවෙලා මාව පිළිගත්තා. මම ඇහුවා ඒ ඇයි කියලා…එයා කිව්වේ මොකද්ද දන්නවද? “
“මට රිදෙන්නේ නැත්තේ නෑ. ඒ වගේම මං මේකට හොඳටම බයයි. ඒත් එක දෙයක් ගැන හිතලා මට හොඳටම සතුටු වෙන්න පුළුවන්. ඒ තමා ආපහු ලබන අඟහරුවාදා වෙනකන්ම, ආයේ සතියක් වෙනකන්ම මට මේ වේදනාව විඳින්න ලැබෙන්නේ නෑ. ඒ ගැන හිතුවාම මට සතුටුයි”
කත්‍යානා අමරසිංහ පරිවර්තනය කරපු ‘පොලියානා’ පොත මෑතකදී කියවලා පැත්තකින් තියනකොට මම කියවමින් උන්නෙ ඔය උඩ සඳහන් කරපු සංවාද දෙක. පොලියානා පොත කියවන පළමු වතාව මේක නොවුණත් පොත කියවන මොහොතක් ගානෙ මම පොලියානාත් එක්ක තදින් බැඳෙනවා. මට වුවමනායි පුංචි පොලියානා තරම් පරිණතව ජීවිතය දිහා බලන්න. වෙන්න පුළුවන් නරකම දේ ඇතුළෙත් සතුටුවෙන්න හැකි පුංචිම දෙයක් හරි හොයාගන්න.
ඒ නිසා මේ ගෙවුණ අවුරුදු ගණනාවටම මට කවුරුන් හෝ වගේ විය යුතුයි කියල හැගුණා නම් ඒ තමයි ‘ පොලියානා ‘. සිවිලිමේ උන්න කුඩා මැකිළි පැටවිය දිහා බලාගෙනම මම තවත් කල්පනා කරන්නේ පොලියානා ගැන. ලැබුණ ජීවිතය ප්‍රශ්න නොකර බාරගන්න සතුට කියන දේ ජීවිතය තුළ උත්කර්ෂයට නගන්න හැකි පොලියානා කෙනෙක් හැබෑ ලෝකෙත් ඉන්න බව මට නිරායාසයෙන්ම මතකෙට ආවෙ ඒ වෙලාවේ. පොලියානා කතාන්දරයක එන චරිතයක් පමණක්ම නොවන වග මට මතක් කරල දෙන පොලියානා කෙනෙක් මට සැබෑ ජීවිතයේත් මුණගැහිලා තියෙනවා. හැබැයි පොතේ උන්නු පොලියානා ගැන සවිස්තරාත්මකව දැනගන්න පොත කියවන ඕන කෙනෙක් ට පුළුවන් උනාට , මේ කියන්න යන පොලියානා ගැනනම් ගොඩක් අය දැනගෙන ඉන්න විදියක් නෑ .
ඇගේ නම වාසනා අංජුලා. වාසනා මට මුලින්ම මුණගැහුණේ පාසලේදී . මට ඉහළ පන්තියේ ශිෂ්‍යාවක වුණු ඈ උන්නෙ රෝද පුටුවක. ඇය කවදා ඒ රෝද පුටුවේ ඉඳගත්තාද , කවදා ඒ රෝද පුටුවෙන් නැගිටීවිද ද කියලා ඒ වෙනකොට මම දැනගෙන උන්නේ නෑ. හැබැයි මම වාසනා දකින හැම මොහොතකම වගේ ඇගේ මව ඇයත් සමඟ උන්නා .බොහෝ වෙලාවට මට හිතෙන්න ගත්තා වාසනාට රෝද පුටුවේ හයියට වඩා මවගෙන් ලැබෙන හයිය වැඩි ඇති කියල.
ඇය මේ වෙනකොට විසි තුන් හැවිරිදි යුවතියක්. ඒ වගේම ඇය විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂිකාවක් . ඒත් එක්කම ඇයට උපන් හපන් හැකියාවක් තියෙනවා බොහොම ලස්සනට කවි ගී පබදින්නත්. වාසනා කියන විදියට ඇයට සාහිත්‍ය කුසලතා ඔප් නංවාගන්න වගේම මනස ශක්තිමත් කරගන්නත් ඇගේ කුඩා අවධියේදී ලබපු අත්දැකීම් මනාපිටිවහලක් වෙලා තියෙනවා .
“කතාවක් තියෙනවනේ ළමා කාලය තමයි පුද්ගලයෙක්ව නිර්මාණය කරන්නෙ කියලා. මම හිතනවා ඒ කතාව මගේ ජීවිතයටත් සෑහෙන්න බලපාලා තියෙනවා කියලා. පුංචි කාලේ අපි ඉඳලා තියෙන්නේ නුවර පැත්තේ ගමක. ඒක හරියට ඉතිහාස කතන්දරවල තියෙන බොහොම ලස්සන ගම්මානයක් වගේ. ඒ ගමෙන් ලබපු සුන්දර අත්දැකීම් එක්ක තමයි මං හිතන්නේ මට මේ ලිවීම කියන දේ පිහිටලා තියෙන්නේ.”
ගමේ සුන්දර ජීවිතයක් ගත කරමින් උන්නු වාසනාවට නගරයට සංක්‍රමණය වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ බොහොම අනපේක්ෂිත විදියට. ඒ තමන් කිසිම විදියකින් බලාපොරොත්තු නොවුණු කටුක අත්දැකීමකුත් එක්ක. මේ කියන කාලවකවානුව වෙද්දි වාසනා දෙක වසර පාසල් ශිෂ්‍යාවක් . මේ කියන උදෑසන වාසනා තමන්ගේ අම්මා එක්ක පාර අයිනෙ හිටගෙන ඉදලා තියෙන්නෙ පාසලට යන බස් රථයක් එනකන්. හැබැයි එදා මොකක්දෝ අවාසනාවකට වාසනා ඉන්න තැනට ළඟා වුණු බස් රථයෙ තිරිංග වැඩ කළේ නෑ. රියදුරුගෙ පාලනයෙන් ගිලිහුණු බස් රථය එදා පුංචි වාසනාවත් ඇගේ අම්මාවත් යට කරගෙන කිලෝමීටරයක් පමණ දුර ගෙවාගෙන ගියාටත් පස්සෙයි නතර වෙලා තිබුණෙ .
අවුරුදු හතක් තිස්සේ දුවල පැනලා ඇවිදපු කකුල් දෙකෙන් මින් ඉස්සරහට තමන්ට පලක් ප්‍රයෝජනයක් නැහැයි කියලා දැනුනාම මනුස්සයෙක්ගේ මුළු ලෝකයම කඩාගෙන වැටෙනවා . පුංචි සංධියේ උන්නු වාසනාට එදා ඒ දැනුණු හැඟීම ඇය විස්තර කළේ මෙහෙම .
“ගමක ඉඳලා නගරයකට සංක්‍රමණය වුණේ මගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ . ගමේ තිබ්බ සංස්කෘතියයි නගරයේ තිබ්බ සංස්කෘතියයි ගොඩක් වෙනස් කියලා තේරුනේ මට බෙහෙත් කරන්න රාගමට ආවම. අපි අඳින ඇඳුම පැළඳුමේ ඉඳන් කනබොන දේ වෙනකන් නගරයේදී වෙනස් වෙන්න ගත්තා. මට ඒ අත්දැකීම විස්තර කළොත් එහෙම හරියටම කියන්න පුළුවන් මම කවදාවත් දැකපු නැති වෙනමම ලෝකයකට ගියා වගේ හැඟීමක් තමයි එදා දැනුනේ කියලා.”
ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මම තුන වසරෙදි විතර ආයේ ඉස්කෝලේ යන්න පටන් ගත්තා. එතකොට පුංචි කාලේ හිටපු මගේ ගුරුවරු යාලුවෝ ඒ අනතුර මට විතරක් වෙච්ච දෙයක් විදිහට දැක්කේ නැහැ . එයාලගේ යාළුවෙක්ට වෙච්ච දෙයක් විදියට එයාලගේම කෙනෙක්ට වුණ දෙයක් විදියට තමයි එයාලා ඒක දැක්කෙ.”
ඔය අතරේ වාසනාගේ අම්මා වාසනාත් එක්ක නිබඳ සෙවනැල්ලක් වෙලා හිටපු හින්දම ඇය තමන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නේ නැතුව ඉස්සරහටම තමන්ගේ ඉගෙනීම් කටයුතු සිදු කරලා තියෙනවා. ඒ අනුව තමයි පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ විශිෂ්ට ප්‍රතිඵලයක් අරගෙන ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇතුළත් වෙලා තියෙන්නේ. ඉන් පස්සෙත් ඇය තමන්ගේ ඉතිරි අධ්‍යාපන කඩඉම් වලින් විශිෂ්ට ලෙස සමත් වෙලා තියෙනවා .
“මේ වෙද්දි මම ඉන්නෙ මගේ පළවෙනි උපාධිය කරන ගමන් . පොඩි කාලේ ඉදන් බැලුවම මගේ අධ්‍යාපනය සම්බන්ධව කඩඉම් කීපයක් තියෙනවා. ශිෂ්‍යත්වෙ පාස් වෙලා ලොකු ඉස්කෝලෙකට යන්න ලැබිච්ච එක, සාමාන්‍යපෙළට ඒ නමයක් ගත්තු එක, උසස් පෙළ පළමු වරම රජයේ විශ්ව විද්‍යාලයකට සුදුසුකම් ලබපු එක. ඉතිං ඔය හැම දෙයක්ම සාර්ථක කරගන්න මගේ අම්මත් ලොකු ශක්තියක් වුණා.”
ජීවිතයේ තමන්ට නැතිවෙන හැමදේම ගැන අසුභවාදීව හිතන අවාසනාවන්ත මිනිසුන් වෙනුවට , නැතිව ගිය හැමදේකම අනියත බව අවබෝධ කරන් ජීවිතය දිහා සුබවාදීව බලන්න හැම කෙනෙකුටම බැහැ . ඒ අතින් වාසනා වගේ යුවතියන් මේ ලෝකෙට වාසනාවක් කියලයි මට හිතුණේ.
පවනි වාසනා