ඉවුම් පිහුම්

අඹ චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය:

* කුඩාවට කපා ගත් පැසුණු අඹ 500g ක්
*සීනි 300-400g ක්
* වතුර කෝප්ප 1ක්
* විනාකිරි කෝප්ප භාගයක්
* ඉඟුරු අඟලක කැබැල්ලක්
* සුදුලූනු බික් 4-5ක්
* මිරිස් කුඩු තේ හැඳි එකහමාරක්
* කරදමුන්ගු 3-4ක්
* කරාබු නැටි 6ක්
* අඟලක පමණ කුරුදු පොතු කැබල්ලක්
* ලුණු තේ හැඳි 1ක්

සාදන ක්‍රමය:

භාජනයක් ලිපේ තබා (මැටි හට්ටියක් නම් වඩාත් හොඳයි) එයට අඹ කැබලි ටික හා තලාගත් ඉඟුරු, සුදුලූනු ටික දමා අඹ කැබලි වැසෙන ප්‍රමාණයට වතුර එක්කර පියන වසා මද ගින්දරේ තැම්බෙන්නට හරින්න.

වතුර ටික හිඳුන පසු අඹ කැබලි ටික තැම්බී ඇත්දැයි බලා ඉතිරි කළමනා සියල්ලම එක් කර අඩු ගින්දරේ හැඳි ගාමින් මිශ්‍රණය තරමක් උකු වන තුරු උයාගන්න. ඉස්ම මදක් හිඳෙන තුරු තබා ලිපෙන් බාගන්න.

උණුවෙන්ම ජීවාණුහරණය කල බෝතල් වලට දමා සීල් කරන්න. අවුරුද්දක් පමණ තබා ගත හැක.

* බෝතල් ජීවාණුහරණය කිරීම.

හොඳින් සෝදා පිරිසිදු කළ බෝතල් සහ මූඩි ගන්න.

මුලින්ම පිරිසිදු බෝතල් හා මූඩි වෙන් වෙන්ව භාජනයකට දමා බෝතල් වැසෙන්නට වතුර දමන්න.

මෙම වතුර භාජනය ලිපේ තබා වතුර උතුරන විට නටන වතුරේ විනාඩි 10-15ක් පමණ හොඳින් තම්බාගන්න.

දැන් බෝතල් අඩුවක් ආධාරයෙන් (තම්බා පිරිසිදු කරගත් අඩුවක්) වතුරෙන් ඉවතට ගෙන පිරිසිදු රෙදි කැබැල්ලක් මත වතුර බේරෙන්නට තබන්න.

මෙම බෝතල් හොඳින් වියලීම අවශ්‍යවේ. අපි ආහාර පුරවා ගන්නේ මෙම වියළි බෝතල් වලටයි.